Loading...
iPhone පරිශීලකයින්ට ශ්‍රී ලංකා CERT ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබ iPhone එකක් භාවිත කරන්නේ නම්, වහාම අවධානය යොමු කළ යුතු වැදගත් ආරක්ෂක පණිවිඩයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් නිකුත් කර තිබෙනවා.

කිසිදු Link එකක් Click නොකර හෝ QR Code එකක් Scan නොකර, පරිශීලකයාගේ කිසිදු අන්තර්ක්‍රියාවකින් තොරව WhatsApp ගිණුම් පිටස්තරයන් සතු කරගත හැකි Zero-Click WhatsApp Takeover Attack නමැති සූක්ෂ්ම සයිබර් ප්‍රහාරයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවට CERT ආයතනය අනතුරු අඟවනවා.

මොකක්ද මේ Zero-Click ප්‍රහාරය?

සාමාන්‍යයෙන් සිදුවන Phishing ප්‍රහාරවලදී යම් Link එකක් Click කිරීමට හෝ OTP අංකයක් ලබා දීමට සිදුවුවත්, මෙහිදී වන්නේ තරමක් වෙනස් දෙයක්.

  • කිසිදු Click එකක් අවශ්‍ය නැත: ඔබ නොදැනුවත්වම WhatsAppහි ඇති දුර්වලතාවක් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රහාරකයින් ගිණුමේ පාලනය අත්පත් කරගනු ලබනවා.
  • ගිණුම් අවභාවිතය: ගිණුම් හරහා හිතමිතුරන්ට පණිවිඩ යවමින් මුදල් ඉල්ලා සිටීම සහ Admin ලෙස සිටින WhatsApp Groups වල පාලනය හැකර්වරුන් විසින් ලබාගැනීම සිදු වනවා.
  • Linked Devices වල පෙන්නුම් නොකිරීම: Linked-Device Synchronization හි ඇති දෝෂයක් මතු කරමින් මෙය සිදුකරන බැවින් WhatsApp Settings හි Linked Devices යටතේ කිසිදු සැකකටයුතු උපකරණයක් දිස් වන්නේ ද නැහැ.

වැඩිපුරම අවදානම කාටද?

මෙම ප්‍රහාරය විශේෂයෙන්ම Apple iOS 16.7.12 ට වඩා පැරණි සංස්කරණ (iOS versions below 16.7.12) සහිත iPhone උපකරණ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන බව සොයාගෙන තිබෙනවා.

ආරක්ෂිතව සිටීමට ශ්‍රී ලංකා CERT උපදෙස්

ඔබේ iPhone එක සහ WhatsApp ගිණුම ආරක්ෂා කරගැනීමට නම්,

  1. ඔබේ iPhone හි iOS සංස්කරණය සහ WhatsApp App එක වහාම නවතම සංස්කරණයට Update කරගන්න.
  2. WhatsApp Settings වෙත ගොස් අංක 6ක PIN එකක් සහිත Two-Step Verification විශේෂාංගය Enable කරගන්න.
  3. සංවේදී සහ වැදගත් Chats සඳහා Chat Lock පහසුකම යොදන්න.
  4. WhatsApp මගින් හිතවතෙකු මුදල් ඉල්ලා සිටියහොත්, වෙනත් සන්නිවේදන මාර්ගයකින් (උදා: දුරකථන ඇමතුමකින්) ඒ පිළිබඳව තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක වන්න.

මූල්‍යමය වාසි තකා සිදුකරන මෙවැනි ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඔබේ ජංගම දුරකථනය සහ Apps නිරන්තරයෙන් නවතම සංස්කරණයට Update කර තබා ගැනීම ඉතාමත් වැදගත් වනවා.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: newswire.lk