නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ විවිධ මූල්‍ය වංචා සඳහා ජංගම දුරකථන සබඳතා අවභාවිත කිරීම වැළැක්වීමේ අරමුණින්, ශ්‍රී ලංකාව තුළ SIM කාඩ්පත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සුදානම් වනවා. නව ක්‍රමවේදය යටතේ අලුතින් SIM පතක් ලබාගන්නා සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා සජීවී ඡායාරූපයක් (Live photograph verification) ලබාගැනීම අනිවාර්ය කරනු ඇත.
මෑත කාලීනව නීතිවිරෝධී ක්‍රියාකාරකම් රැසක් සඳහා අවිධිමත් ලෙස ලබාගත් SIM කාඩ්පත් භාවිත කිරීම ඉහළ ගොස් ඇති බවට පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අංශ දක්වන අතර මෙරට තුළ මේ වන විට සක්‍රීය SIM සබඳතා මිලියන 30කට ආසන්න සංඛ්‍යාවක් පවතින බැවින්, නව පාරිභෝගිකයන්ගේ අනන්‍යතාව වඩාත් විධිමත්ව තහවුරු කරගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් ඔවුන් දක්වනවා.
දැනට පවතින ක්‍රමවේදය අනුව එක් ජාතික හැඳුනුම්පතක් (NIC) භාවිත කරමින් එක් සේවා සපයන ජාලයකින් SIM පත් 5 බැගින්, ප්‍රධාන ජංගම දුරකථන ජාල 3ක් ඔස්සේ උපරිම වශයෙන් SIMපත් 15ක් දක්වා ලබාගැනීමට පුද්ගලයෙකුට හැකියාව පවතිනවා.
මෙම නීති දැඩි කිරීමේ මූලික ඉලක්කය අපරාධ සහ වංචනික ක්‍රියා පාලනය කිරීම පමණක් වන අතර, සාමාන්‍ය පාරිභෝගිකයන්ට මින් කිසිදු අපහසුතාවක් හෝ බාධාවක් ඇති නොවන බව බලධාරීන් සහතික කරනවා.
Source: www.newswire.lk








