Loading...
ඇමතුම්කරුගේ නම දුරකථන තිරය මත ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් ඇරඹිමට ඉන්දියාව සුදානම් වේ

ජංගම දුරකථන පරිශීලකයන් මුහුණ දෙන අනවශ්‍ය ඇමතුම් (Spam calls), සයිබර් මූල්‍ය වංචා සහ පුද්ගල ස්වරූපයන් ව්‍යාජ ලෙස පෙන්වා සිදුකරන තර්ජන මැඩපැවැත්වීමේ අරමුණින්, ඉන්දීය රජය විසින් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ දැවැන්ත නියාමන තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව, එළඹෙන 2026 නොවැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ඕනෑම ජංගම දුරකථන ඇමතුමක් ලැබෙන අවස්ථාවකදී ඇමතුම්කරුගේ ලියාපදිංචි නම දුරකථන තිරය මත ප්‍රදර්ශනය කිරීම (Caller ID Display) අනිවාර්ය කිරීමට ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

Calling Name Presentation (CNAP) නමින් හැඳින්වෙන මෙම නව සේවාව හරහා, Third party apps මත යැපීමකින් තොරව, නිල වශයෙන් සත්‍යාපනය කරන ලද සැබෑ අනන්‍යතාවය දුරකථන තිරය මත ක්ෂණිකව දැකගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවනු ඇත.

මෙතෙක් කල් බොහෝ Smartphone පරිශීලකයන් නොදන්නා අංකවලින් පැමිණෙන ඇමතුම් හඳුනාගැනීම සඳහා Truecaller වැනි Third party apps භාවිත කළද, එමඟින් පෙන්වන නම් සෑමවිටම සියයට සියයක් නිවැරදි හෝ විශ්වාසදායක නොවන බව ඔබ හොදින්ම දන්නා කරුණක්. මේ නව CNAP පද්ධතිය සෘජුවම විදුලි සංදේශ ජාල මට්ටමින් ක්‍රියාත්මක වනවා. ඉන්දියාව තුළ සිදුවන දේශීය ඇමතුම් මෙන්ම, ඉන්දියාව සහ වෙනත් රටවල් අතර හුවමාරු වන ජාත්‍යන්තර ඇමතුම් සඳහාද මෙම රීතිය අදාළ වන පරිදි තාක්ෂණික පියවර සකස් කර තිබෙනවා.

තවද ආයතන, සමාගම් සහ තොග වශයෙන් සබඳතා ලබාගෙන ඇති ආයතන සඳහා සිය ව්‍යාපාරික වෙළඳ නාමය ප්‍රදර්ශනය කිරීමට විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විශේෂ අවසරයක් ලබා දී තිබෙන අතර ව්‍යාජ සමාගම් නාම භාවිත කරමින් මහජනතාව මුලා කිරීම වැළැක්වීම සඳහා දැඩි සත්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා.

ඉන්දියාව තුළ දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බැංකු නිලධාරීන්, රාජ්‍ය ආයතන හෝ නීතිය ක්‍රියාත්මක කරන අංශ ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදෙන වංචාකරුවන්ට හසුවී මූල්‍යමය වශයෙන් දැවැන්ත හානි සිදුකර සිදු කර ගනිමින් සිටින පසුබිමක විදුලි සංදේශ නියාමන අධිකාරිය (TRAI) සහ ආරක්ෂක අංශ විසින් දිගු කලක් තිස්සේ සාකච්ඡා කළ මෙම CNAP පද්ධතිය ක්‍රියාත්මක වීම ඇරඹිම සමඟ, ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් ජනතාව මුළා කිරීමේ ඉඩකඩ විශාල වශයෙන් සීමා වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරනවා.

Source: timesofindia.indiatimes.com