ලොව පුරා මෙන්ම ශ්රී ලංකාව තුළත් අතිශය ජනප්රිය Charging Accessories සන්නාමයක් වන Anker සමාගම විසින් ඔවුන්ගේ Power Bank මාදිලි කිහිපයක පවතින බරපතල නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ඒවා නැවත කැඳවීමට (Product Recall) පියවර ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම ලංකාවේ පුද්ගලයින් කිහිප දෙනෙකුත් මේ මාදිලියන් නිසා යම් සිදුවීම්වලට ලක් වු බවට සමාජ ජාල ඔස්සේ වාර්තා කර තිබුණා. පසුගිය සතියේ දිනක අප වෙබ් අඩවියේ ලේඛකයෙකු ලෙස කටයුතු කරන අශාන් වැලිවිටිගොඩ සහෝදරයා සතු Anker Power Bank එකක් ක්ෂණිකව ගිනි ගැනීමට ලක්වු අතර, ඔහු කළ සොයා බැලිමේදී තහවුරු වී ඇත්තේ එයද සමාගම විසින් නිල වශයෙන් recall කිරීමට ලැයිස්තුගත කළ මාදිලියක් බවයි. ඔබත් Anker Power Bank එකක් භාවිතා කරන්නේ නම් හෝ අලුතින් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මෙම මාදිලි පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම අත්යවශ්ය වනවා.


Image Source - Ashan Welivitigoda
මෙයට හේතුව කුමක්ද?
Anker සමාගම නිවේදනය කරන ආකාරයට, බාහිර සැපයුම්කරුවෙකුගෙන් (third-party supplier) ලබාගත් Lithium-ion Battery Cellsවල පවතින දෝෂයක් නිසා මෙම Power Bank නැවත කැදවා තිබෙනවා. එනම් මේ Battery Cells තුළ පවතින දෝෂ හේතුවෙන් Short circuit එකක් ඇතිවීමේ අවදානමක් පවතින අතර, එමඟින්:
- බැටරිය අධික ලෙස රත් වීම (Thermal runaway)
- බැටරිය පිපිරීම හෝ ඇතුළත ඇති රසායනික ද්රව්ය කාන්දු වීම
- ක්ෂණිකව ගිනි ගැනීම් හෝ දැඩි දුමාරයක් පිටවීම
වැනි බරපතල අනතුරු සිදුවිය හැකි බවට සමාගම අනතුරු අඟවා තිබෙනවා.
බලපෑමට ලක්වූ Anker Power Bank මාදිලි
පහත දැක්වෙන මාදිලි අංක (Model Numbers) සහිත Power Bank සඳහා මෙම recall එක අදාළ වෙනවා:
- Anker Power Bank (20,000mAh, 22.5W, Built-In USB-C Cable) — Model: A1647
- Anker MagGo Power Bank (10,000mAh, 7.5W) — Model: A1652
- Anker Power Bank (10,000mAh, 22.5W) — Model: A1257
- Anker Zolo Power Bank (20,000mAh, 30W, Built-In USB-C and Lightning Cable) — Model: A1681
- Anker Zolo Power Bank (20,000mAh, 30W, Built-In USB-C Cable) — Model: A1689

ඔබගේ Power Bank එකේ යට හෝ පිටුපස මුද්රණය කර ඇති කුඩා අකුරු පරීක්ෂා කිරීමෙන් Model Number එක මෙන්ම Serial Number (SN) එක නිවැරදිව හඳුනාගත හැක.
ඔබ සතුව මෙම මාදිලියක් තිබේ නම් කළ යුත්තේ කුමක්ද?
- වහාම භාවිතයෙන් ඉවත් වන්න: අදාළ Power Bank එක භාවිතා කිරීම, එයින් අනෙක් උපාංග charge කිරීම හෝ Power Bank එක charge කිරීමට තැබීම වහාම නවත්වන්න.
- ආරක්ෂිත ස්ථානයක තබන්න: ගිනි ගන්නා සුළු ද්රව්ය, ලී බඩු හෝ ඇඳ ඇතිරිලි ආශ්රිත ස්ථානවලින් ඈත්ව, සිසිල් සහ වාතාශ්රය ඇති ආරක්ෂිත ස්ථානයක මෙය තබන්න.
- මිලදී ගත අලෙවිසැල සම්බන්ධ කරගන්න: ඔබ Power Bank එක වගකීම් සහතිකයක් (Warranty) සහිතව මිලදී ගත්තේ නම්, වහාම ඔවුන් අමතා මෙම recall තත්ත්වය දැනුම් දී Replacement හෝ Refund ක්රියාවලිය පිළිබඳව විමසන්න.
- සාමාන්ය කුණු කූඩයට නොදමන්න: Lithium-ion බැටරි අඩංගු උපාංග සාමාන්ය කසළ සමඟ බැහැර කිරීමෙන් කුණු ලොරි හෝ අපද්රව්ය කළමනාකරණ ස්ථානවල ගිනි ගැනීම් සිදුවිය හැකි බැවින්, E-waste විධිමත් ලෙස බැහැර කරන ස්ථානයකට යොමු කරන්න.
නිල මූලාශ්ර සහ Recall Links
ඔබගේ උපාංගය මෙම Recall එකට ඇතුළත් දැයි සත්යාපනය කරගැනීමට සහ Anker වෙතින් ඉදිරිපත් කර ඇති නිල ක්රියාමාර්ග පරීක්ෂා කිරීමට පහත නිල සබැඳි භාවිතා කළ හැක:
- Anker Global Recall Claim Form:
Anker Recall Verification (Global)
(මෙම පිටුවට පිවිස ඔබගේ Power Bank එකේ 16-digit Serial Number එක ඇතුළත් කිරීමෙන් එය recall එකට අදාළ batch එකක නිෂ්පාදනයක්ද යන්න තහවුරු කරගත හැක.) - Anker නිල Product Recalls තොරතුරු පිටුව:
Anker Official Product Recalls Portal - Anker Customer Support ඊමේල් ලිපිනය:
support@anker.com
එමෙන්ම Anker Soundcore මාදිලි කිහිපයක් තුළත් විවිධ ගැටලු වාර්තා වෙමින් පවතින නිසා මෙවැනි නිශ්පාදන මිලදී ගැනිමේදි වඩාත් සැළකිලිමත් වන ලෙස පාරිභෝගික ඔබට වැඩිදුරටත් අප මතක් කර සිටිනවා.









