Loading...
එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා දැඩි කතාබහට ලක්වූත්, ජංගම දුරකථන භාවිත කරන්නන් දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටියා වූත් Mobile Number Portability පහසුකම ලබන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර බලාත්මක කිරීමට රජය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන ඇත.


පාර්ලිමේන්තුව ඇමතු ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ සේවා සම්පාදක සමාගම්වල බලපත්‍ර කොන්දේසිවලට අනුකූලව නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරන බවයි.

Mobile Number Portability යනු කුමක්ද?

දුරකථන පාරිභෝගිකයෙකුට තමන් දැනට භාවිත කරන දුරකථන අංකය කිසිදු වෙනසකට ලක් නොකර, වෙනත් ඕනෑම දුරකථන ජාලයක සේවාවන් වෙත මාරු වීමට ඇති හැකියාවයි.

උදාහරණයක් ලෙස,

  • යම් පාරිභෝගිකයෙකු භාවිත කරන ජාලයේ Coverage එක දුර්වල නම්
  • Data ගාස්තු හෝ ඇමතුම් ගාස්තු අධික නම්
  • නැතහොත් පාරිභෝගික සේවාව පිළිබඳව තෘප්තිමත් නැතොත්

ඔහුට තමන්ගේ පැරණි අංකය ඒ අයුරින්ම තබා ගනිමින්, වඩාත් හොඳ සේවාවක් සපයන වෙනත් සමාගමක සිම්පතකට මාරු විය හැක.

වසර ගණනාවක දීර්ඝ ගමන සහ පසුබිම

ශ්‍රී ලංකාව තුළ මෙම පද්ධතිය ස්ථාපිත කිරීමේ මූලික කටයුතු ආරම්භ වූයේ මීට වසර කිහිපයකට පෙරය,

  • 2020 අගෝස්තු: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් Number Porability සේවාව හඳුන්වා දීමේ මූලික පියවර සහ අධ්‍යයනයන් ආරම්භ කරන ලදී.
  • Lanka Portability සමාගම පිහිටුවීම: රටේ ක්‍රියාත්මක සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ (Dialog, Mobitel, Airtel, Hutch, SLT ආදී) සහභාගීත්වයෙන් Lanka Portability නමැති ඒකාබද්ධ සමාගම පිහිටුවන ලදී.
  • 2021: නියාමන කොමිෂන් සභාව විසින් ජංගම Number Porability සේවාව සඳහා වන මූලික අනුමැතිය ලබා දෙන ලදී.
  • 2022-2023: 2022 වසරේදී ජංගම මෙන්ම ස්ථාවර දුරකථන අංක සඳහාද අදාළ වන තාක්ෂණික හා මෙහෙයුම් රාමුව සකස් කළ අතර, 2023 වසර වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ රීති සහ මාර්ගෝපදේශ සඳහා අවසන් නීතිමය අනුමැතිය ලබා දෙන ලදී.

තවද මේ ආකාරයෙන් 2020 සිටම මේ පිළිබඳව එසැණින් යාවත්කාලීන පුවත් රැසක් Android වැඩකාරයෝ අප විසින් ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති.

කෙසේ වෙතත්, සේවා සම්පාදක සමාගම් අතර පැවති ඇතැම් එකඟතාවල ප්‍රමාදයන් හේතුවෙන් මෙම සේවාව ජනතාව වෙත ලැබීම කල්ගත විය. එම තත්ත්වය නිරාකරණය කරමින් රජය සහ TRCSL ආයතනය මේ වන විට සැප්තැම්බර් මාසය වන විට මෙය බලාත්මක කිරීමට පියවර ගෙන ඇත.


රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේදී විදුලි සංදේශ ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සැප්තැම්බර් අවසානය වන විට MNP සේවාව නිල වශයෙන් ආරම්භ වීමත් සමග, ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර මට්ටමේ නියාමන ප්‍රමිතීන් සහිත රටවල් අතරට එක්වනු ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කෙරෙන තාක්ෂණික මඟපෙන්වීම් සහ පාරිභෝගිකයන් ලියාපදිංචි වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඉදිරියේදී මහජනතාව වෙත දැනුම් දීමට නියමිතය.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: newswire.lk