ඊයේ දිනයේදී Android වැඩකාරයෝ අප ඇතුළුව බොහෝ මාධ්‍යන් වාර්තා කර තිබුණේ එළඹෙන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර Number Portability පහසුකම බලාත්මක කිරීමට රජය සහ TRCSL පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මෙය ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් ඊයේ දින (06) පාර්ලිමේන්තුවේදී දුරකථන අංක පෝටබිලිටි (Number Portability) සේවාව සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුර පදනම් කරගනිමින්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම සේවාව නිකුත් කරන බවට සිදු කළ වාර්තා කරනය එම ප්‍රකාශය වැරදිව වටහා ගැනීම නිසා සිදු වි තිබෙන අතර පාර්ලිමේන්තුවේදී එතුමා සඳහන් කරන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී MNP සේවාව නිකුත් වන බව නොව, මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කරගනිමින් මෙම පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍යාංශය සහ දුරකථන සේවා සපයන සමාගම් (Operators) අතර සාකච්ඡා මේ වන විටත් පවත්වමින් පවතින බවයි.
එහිදී අමාත්‍යතුමන් ප්‍රකාශ කළ නිවැරදි කරුණ වන්නේ; දුරකථන ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සැප්තැම්බර් මස අග වන විටත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බවයි. එහිදී සැප්තැම්බර් මස අග යනු අදාළ සමාගම් අතර එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව මිස, සේවාව නිල වශයෙන් ආරම්භ කරන දිනය නොවනවා.










