Loading...
Computer Malware ගැන දන්න සිංහලෙන්

Malware/Malicious Software එකක් කියන්නේ යම්කිසි පරිගණකයක්, සර්වර් එකක් හෝ පරිගණක නෙට්වර්ක් එකකට හිතාමතාම හානියක් සිදු කරන්න හදන Software(මෘදුකාංග) වලට තමයි. මේ මැල්වෙයා ප්‍රධාන වශයෙන් Virus, Worms, Trojan Horse, Ransomware, Adware, Phishing වගේ කොටස්වලට තමයි බෙදෙන්නේ. අපි මේ ලිපියෙන් කතා කරමු කොහොමද මේ මැල්වෙයා වැඩකරන්නේ, කොහොමද මේවගෙන් බේරිලා ඉන්නේ කියන එක ගැන.

හොඳයි, මං උඩදි කිව්වානේ මේ මැල්වෙයා කොටස්වලට බෙදෙනවා කියලා අපි දැන් මේ කොටස් ගැන එකින් එක වෙන වෙනම කතාකරමු.

1. Computer Virus (පරිගණක වෛරස්)

මේවා පරිගණක වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ පිටපත් පරිගණකය තුල පතුරවනවා. මේ වෛරස් පරිගණක ජාල වලින්ද, බාහිර ආචයන උපාංග (External Storage Devices) වලින් හෝ විද්‍යුත් තැපැල් ඇමුණුමක් (Email Attachment) විදියට පරිගණක ආක්‍රමණය කරනවා. මේවා පරිගණකයේ දත්ත, මෘදුකාංග, දෘඪාංග (Hardware) වලට හානි කරන අතර හැම පරිගණක වෛරස් එකක්ම සම්බන්ද වෙන්නේ පරිගණකයේ ක්‍රියාකාරි ලේඛන (Executable files) එක්ක තමයි. ඒ කියන්නේ මේ වෛරස් එකක් තමන්ගේ පරිගණකයට ඇතුල් උනාට පස්සෙ හැම වෙලාවෙම පරිගණක පද්ධතිය ඇතුලේ සක්‍රීයව පවතිනවා.

2.Computer Worms (පරිගණක වර්ම්ස්)

මේ කම්පියුටර් වර්ම්ස් අපි උඩ කතාකරපු වෛරස් වලට සමාන විදියට තමයි වැඩකරන්නේ. නමුත් මේ වර්ම්ස් වලට තනිවම ක්‍රියාත්මක වීමේ හා පැතිරීමේ හැකියාවක් තියෙනවා. මේවා Email Attachments, Fake Websites වගේ ඒවා හරහා පරිගණක ආක්‍රමණය කරනවා.

3. Trojan Horse (ට්‍රෝජන් අශ්වයා)

ග්‍රීකයන් විසින් ට්‍රෝයි රාජ්‍යය යටත් කරගන්න යොදාගත්ත ලීයෙන් තැනූ අශ්වයා නිදසුන් කරගෙන තමයි මේ මැල්වෙයා එක නම් කරලා තියෙන්නේ.
මේවා අව්‍යාජ බවක් පෙන්නුම් කරන නමුත් ඉතා හානිකර මෘදුකාංග වර්ගයක්. මේවා පරිශීලකයා (User) නොදැනුවත්වම පරිගණකයට සම්බන්ධ වෙනවා. අනවශ්‍ය විදියට විවෘත වෙන පරිගණක කවුළු හා වෙනස් වෙන වැඩතල (Desktops) ඇති කරමින්ද, ලේඛන මකාදමමින්, දත්ත සොරකම් කරමින් පරිශීලකයා අපහසුතාවයට පත් කරනවා. හැබැයි මේ ට්‍රෝජන් අපි උඩදි කතා කරපු පරිගණක වෛරස් හා වර්ම්ස් වගේ බෝවිමක් සිදු කරන්නේ නෑ.

4. Ransomware (රැන්සම්වෙයා)

අද කාලේ ගොඩක් කතාබහට ලක් වෙන තවත් එක මැල්වෙයා වර්ගයක්. මේක ගැන සරලවම කිව්වොත් මේවගෙන් කරන්නේ පරිගණකට ඇතුල් වෙලා පරිගණකයේ තියෙන තමන්ගේ පුද්ගලික දත්ත භාවිතයට ගන්න බැරි විදියට Encrypt කරන එක සහ නැවත ඒවා යථාතත්වයට පත්කරගන්න පරිශීලකයාගෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉල්ලීම තමයි සරලවම මේ රැන්සම්වෙයා වලින් කරන්නේ.

5. Adware (අනවශ්‍ය දැන්වීම්)

අනවශ්‍ය දැන්වීම් තමන්ගේ පරිගණකයේ තිරය මත දර්ශනය කරන එක තමයි මේවගෙන් සිදු කරන්නේ. මේවා පරිගණක වෛරස් වගේ හානිකර නොවුණත් පරිශීලකයා මානසිකව පීඩාවට පත්කරනවා.

6. Phishing (ෆිෂින්)

ෆිෂින් ප්‍රහාර කියන්නේ පරිශීලකයා රවටා ඔවුන්ගේ බැංකු ගිණුම්, විද්‍යුත් ගිණුම් ආදියෙහි තොරතුරු ලබාගන්න එකටයි. මේ සඳහා විද්‍යුත් ලිපි, කෙටිපණිවුඩ හරහා පරිශීලකයාට එවන අතර ප්‍රසිද්ධ සමාගමක් හෝ තමන්ගේ මිත්‍රයෙකුගේ නාමයෙන් තමයි පැමිණෙන්නේ. මෙම ව්‍යාජ පණිවුඩයත් එක්ක එන සම්බන්ධකයක් (Link) එකක්ද එවන අතර එම Link එක ක්ලික් කිරීමෙන් හෝ විස්තර පත්‍රිකා පිරවීමෙන් ලබාගන්න තොරතුරු පරිශීලකයන්ගේ මුදල් හා වැදගත් තොරතුරු (උදා- මුරපද) වැනි දේ සොරකම් කරගැනීමට භාවිතා කරනවා.

කොහොමද මේවගෙන් ගැලවෙන්නේ?

හරි, අපි ඔය කතාකරේ පරිගණක මැල්වෙයා කොටස් කීපයක්, ඒවා වැඩ කරන හැටි සහ ඒවගෙන් වෙන හානි ගැන. අපි දැන් කතාකරමු මේ මැල්වෙයා වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලා.

  1. පලවෙනියටම කම්පියුටර් එකට Anti Virus Software එකක් දාගන්න ඒක හැමවිටම යාවත්කාලීන (Update) කරලා තියන්න.
  2. Externel Storage Devices තමන්ගේ පරිගණකයට සම්බන්ධ කරන සෑම අවස්ථාවකම Anti Virus Software එකෙන් Scan කරලා බලන්න.
  3. සෑම විටම නීත්‍යානුකූල වූ මෘදුකාංග (Softwares) භාවිතාකරන්න.

පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කර ඇත්නම්,

  1. සෑමවිටම ආරක්ෂිත වෙබ් අඩවි (Trusted Websites) වලට පිවිසෙන්න.
  2. මෘදුකාංග හෝ වෙනත් දෑ බාගත (Download) කරගැනීමට ආරක්ෂිත වෙබ් අඩවි භාවිතා කරන්න.
  3. Email Attachments විවෘත කරන විටදී සුපරික්ෂාකාරී වෙන්න. සැක සහිත ඊමේල් විවෘත කිරීම හෝ Attachment වල ඇති ලින්ක් ක්ලික් කිරීමෙන් වලකින්න.
  4. Firewalls, Virus Guards, Email Filters භාවිත කරන්න.