Loading...
Raspberry Pi කියන්නෙ මොකක්ද?

ගොඩක් අය මේ නම අහලා ඇති. මමත් මේ ගැන උනන්දු වුණා ළඟකදි. හැමෝගෙම දැනගැනීම පිණිස මම හොයාගත්ත දේවල් ටිකක් මෙහෙම ලියන්න තීරණය කළා.

Raspberry Pi කියන්නෙ Single-Board Computer එකක්, ඒ කිව්වෙ පරිගණකයක ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කොටස් ටික එකම බෝඩ් එකක අන්තර්ගත කරපු කුඩා ප්‍රමාණයේ පරිගණකයක්. ප්‍රමාණයෙන් කුඩා වුණත් මේකෙ කරන්න පුළුවන් දේවල් නම් පොඩි නෑ.

මේ පරිගණක develop කරන්නෙ එක්සත් රාජධානියේ Raspberry Pi Foundation එකෙන්. දියුණු වෙමින් පවතින, දුප්පත් රටවල ළමයින්ට පරිගණකයක් මිළදීගන්න අපහසු නිසා එයාලට කරන උපකාරයක් විදියට තමයි මේ අඩු මිල Raspberry Pi පරිගණක නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ. නමුත් මේක දැන් නම් දියුණු නොදියුණු හැමෝ අතරම ගොඩක් ජනප්‍රියයි. මොකද මේ Raspberry Pi එක යොදාගෙන ගොඩක් දේ කරන්න පුළුවන් නිසා.

මේ පරිගණකයක් අපි කඩෙන් සල්ලි දීලා ගත්තොත්, අපේ අතට හම්බෙන්නෙ මෙන්න මේ වගේ සර්කිට් බෝඩ් එකක් විතරයි.

මේ සර්කිට් බෝඩ් එක පරිගණකයක් බවට පත් කරගන්න එක ඔබට බාරයි!

Raspberry Pi පරිගණක මේ වෙනකොට ප්‍රධාන සංස්කරණ පහකින් හඳුන්වාදීලා තියෙනවා. ඒවා තමයි,

  • Raspberry Pi
  • Raspberry Pi 2
  • Raspberry Pi Zero
  • Raspberry Pi 3
  • Raspberry Pi 4

මේවාගේ ෆීචර්ස් වල ආකාරයට මේවා තවත් අනු කොටස් වලට බෙදෙනවා. මේවායෙන් අලුත්ම එක තමයි Raspberry Pi 4 කියන්නෙ. Raspberry Pi 4 පරිගණකයත් අනු කොටස් හතරකින් එනවා. ඒ, 1GB RAM සහිත, 2GB RAM සහිත, 4GB RAM සහිත සහ 8GB RAM සහිත ආදී වශයෙන්.

ඔයාට මේ Raspberry Pi එකක් මිළට ගන්න ඕන නම් Raspberry Pi Foundation එකෙන් කෙළින්ම මිළදීගන්න බැහැ. ඒක කරන්න වෙන්නෙ Reseller කෙනෙක් හරහා තමයි. ලංකාවෙ මුදලින් නම් මේවගෙ අලුත් වර්ෂන් එකේ 4GB එඩිෂන් එක රුපියල් 15,000කට අඩුවෙන් මිළට ගන්න පුළුවන්.

හොඳම කොටස තමයි, මේක කඩෙන් ගත්ත ගමන් අපිට පාවිච්චි කරන්න බෑ. මේක DIY (Do It Yourself) වර්ගයේ පරිගණකයක් නිසා මේකට අවශ්‍ය උපාංග කීපයකුත් වෙනම මිළට ගන්න වෙනවා. ඒ වගේම ඒවා සම්බන්ධ කරගන්නත් වෙන්නෙ අපිටම තමයි.

Raspberry Pi 4 එකක් පණගන්වන්න නම් අපිට ඕන කරනවා Raspberry Pi එකට අමතරව,

  • USB-C Power Supply cable එකක්
  • Hard Disk එක විදියට භාවිතා කරන්න 32GB වගේ MicroSD කාඩ් එකක්.
  • මොනිටරයකට සම්බන්ධ කරන්න අවශ්‍ය නම් Micro HDMI cable එකක් (ඔයාට Laptop එකක් වගේ තියෙනවා නම්, Network එක හරහා desktop share කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. Monitor එකක් අත්‍යවශ්‍ය නෑ.)
  • Heat Sinks හෝ Cooling Fans

ආදී මූලික දේවල් ටිකක් අවශ්‍ය වෙනවා.

මේ Raspberry Pi උපාංග ක්‍රියා කරවන්න Raspberry Pi OS (ඉස්සර මේකට කිව්වෙ Raspbian OS කියලා) Linux පාදක මෙහෙයුම් පද්ධතියකුත් තියෙනවා.

ඔයාට පුළුවන් මේ OS එක ඔයාගෙ Raspberry Pi එකේ Install කරගන්න. ඒ නැත්නම් Ubuntu වගේ OS එකක් වුණත් මේකෙ Install කරගන්න පුළුවන් කියලා තමයි කියන්නෙ.

ඔක්කොම Hardware ටික එකලස් කරගෙන Software ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ Raspberry Pi පරිගණකය භාවිතා කරන්න. පොඩි වුණත් මේක බලසම්පන්න පරිගණකයක්.

දුප්පත් ළමයින්ට විතරක් නෙවෙයි, තමන් තනියෙන් තමන්ගෙ දේ හදාගන්න ආස අයට මේක බොහොම අපූරු උපාංගයක්. මේ උපාංගය හරහා කරන්න පුළුවන් විවිධ projects ගැන වගේම තවත් බොහෝ දේ තියෙන සඟරාවකුත් ඔයාට මෙයාලා ලබාදෙනවා. ඒකෙ නම MagPi. මේ ගැන තවත් තොරතුරු ඕන තරම් ඔයාට අන්තර්ජාලය හරහා ලබාගන්න පුළුවන්. අලුත් දේ හොයාගෙන යන, DIY projects වලට ආස ඔයාට මේක බොහොම අපූරු අවස්ථාවක්.

තවත් ලිපියක් එක්ක මුණගැහෙමු!