Loading...
භානුක රාජපක්ෂට ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි ක​ල Skinfold යෝග්‍යතා පරීක්ෂණය ගැන ඔබ දැනගත යුතු සියළු ​දෑ

මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා බහට ලක්වෙන කතාවන් අතරේ ප්‍රධානතම කාරණාවක් වන්නේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානු​ක රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති නවතම යෝග්‍යතා පරීක්ෂණ අතුරින්, skinfold පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙ​න් ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලිය අහිමිවීම යන කරුණුයි.

බොහොමයක් තැන් වල යෝග්‍යතා පරීක්ෂණ අසමත් වීම නිසා තරඟාවලි අහිමිවීම ගැන කතා කරත් බොහොමයක් තැන්වලදී මේ පරීක්ෂන මොනවාද යන්න පිළිබඳව පැහැදිලිව සටහන් කර නෑ. ඉතිං Android වැඩකාරයෝ අපි හිතුවා ඔයාලට මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් අරගෙන එන්න.

මොනවද මේ යෝග්‍යතා පරීක්ෂ​ණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් අගාධයට යන අතරතුරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත දැඩි නීති රීතීන් සහ නව පාලන පද්ධතියක් හදුන්වාදීමට කටයුතු කෙරුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එකතු වී සිටින සියළුම ක්‍රීඩකයන් කිලෝමීටර 2ක දුරක් නියම කර ඇති කාලයක​දී ධාවනය කර අවසන් කිරීම සහ skinfold යන ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ දෙකකින් සමත් වීම අනිවාර්ය කෙරුණා. ඒ අනු​ව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් ගිවිසු​ම් ගතව සිටින ක්‍රීඩකයන් 60දෙනාම ජාතික කණ්ඩායම සමඟින් ක්‍රිකට් තරඟාවලි සඳහා ඉදිරිපත් වීමට නම් මෙම පරීක්ෂ​ණ දෙකම සමත්වීම අනිවාර්ය වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් යෝග්‍යතා පරීක්ෂණයන්ට මුහුණ දෙමි​න්

2021 වර්ෂයේදී හදුන්වා දුන් මෙම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ වල කිලෝ මීටර 2 විනාඩි 8කුත් තප්පර 35ක ධාවන කාලයක් ඇතුලතදී නිමා කල යුතුව පැවති අතර skinfold පරීක්ෂණයෙහි අගය 80ක්ව පැවතිය යුතු වුනා. මේ වන විට එම පරීක්ෂණ ද්විත්වයෙහිම අගයන් පහත දමා ඇති අත​ර කිලෝ මීටර දෙකක දුර විනාඩි 8කුත් තප්පර 10ක කාලයකින් නිමා කල යුතු වන අතර skinfold අගය 80 සිට 70 දක්වා පහත දමා තිබෙනවා.

මොකක්ද මේ Skinfold කියන්නේ?

Skinfold පරීක්ෂණය කියන්නේ තරමක් පැරණි යෝග්‍යතා පරීක්ෂණයක් වුවත් තවමත් පොදුවේ බොහොමයක් ක්‍රීඩාවන් වලදී භාවිතා වන යෝග්‍යතා පරීක්ෂයකි. මෙහිදී සිදු වන්නෙ යම් ක්‍රීඩකයෙකුගේ ශරීර සංයුතිය (body composition) සහ ශරීරයේ ඇති මේද මට්ටම (body fat percentage) මැනීමයි. මෙහිදී ශරීරයේ ඇති විශේෂිත ස්ථානයන් කිහිපයක ඇති ශරීරයේ මේද මට්ටම මැනීමෙ​න් skinfold thickness එකෙහි අගය ලබා ගනු ලබනවා.

සරලව මෙම පරීක්ෂණය හරහා සිදු කෙරෙන්නේ සමට යටින් ඇති මේද තට්ටුවෙහි ප්‍රමාණය මැන ගැනීමයි. මෙහිදී මැනීමට ලක්වන ශරීර කොට​ස subcutaneous adipose tissue ලෙසි​න් හදුන්වනු ලබනවා. Skinfold යෝග්‍යතා පරීක්ෂණයේ අගය ගණනය කරනු ලබන්නේ එම පරීක්ෂණය හරහා ලැබෙන අගයන් මඟින් වන අතර, මෙ​ම අගය ඇස්තමේන්තු ගත අගයකි. එමෙන්ම මෙම අගය ක්‍රීඩකයාගේ වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස්වනවා.

Skinfold එක ගණනය කරන්නේ කොහොමද?

Skinfold එක ගණනය කිරීමේදී ප්‍රධාන වශයෙ​න් ක්‍රීඩකයෙකුගේ ශරීරයේ දකුණු පස ඇති ස්ථානයන් 7ක මිනුම් ලබා ගැනී​ම සිදු කරනු ලබනවා. ඒ සඳහා විශේෂිත වූ උපකරණයක් භාවිතා කරනු ලබන අතර එහි ඡායාරූපයක් පහත දැක්වෙනවා.

Skinfold එක මැනීම සඳහා භාවිතා කරන්නේ මෙහි දැක්වෙන Skinfold Caliper නම් උපකරණය​යි

මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා ශරීරයේ ඇති මාංශපේෂීන්ට උඩින් ඇති සම ඉදිරියට ඇද, එය ඉහත දක්වා ඇති උපකරණය හරහා මැනීම සිදු කරනු ලබනවා. මේ ආකරයට ඉදිරියට ඇදි සමෙහි ගණකම මිලිමීටර් වලින් මැනගත් පසු එය වාර්තා කරගනිමින් එහි මධ්‍යනය අගය ලබා ගනු ලබනවා.

නිවැරදිව Skinfold පරීක්ෂණයක් සිදු කිරීමේදී සම රඳවා ගත් යුතු ආකාර​ය

මෙම මිණුම් ලබා ගැනීම සඳහා ඉහත සඳ​හන් කල ආකාරයට පොදු​වේ ප්‍රධාන ස්ථානය​න් 7ක් භාවිතා කරන අතර ඇතැම් විටෙක ඒවාට අමතරව වෙනත් ස්ථානයන්හිද මිණුම් ලබා ගැනීම සිදු කෙරෙනවා. පොදුවේ මිණුම් ලබා ගන්නා ස්ථානයන් පහත පරිදි වනවා.

  • Abdomen: නාභියට පසෙකින් ඇති ස​ම
  • Midaxilla: බදෙහි ඇති මධ්‍යම රේඛා​වේ ඇති ස​ම
  • Pectoral: පපු පෙදෙසෙන් දකණු අතර ආසන්නව ඇති ස​ම
  • Quadriceps: ගාතයෙහි උඩට වන්නට ඇති මැද ස​ම
  • Subscapular: උරහිසෙහි ඇති අස්ථිය අවසාන වන ස්ථානය අසල ඇති ස​ම
  • Suprailiac: බදෙහි ඇලයට වන්නට ඇති පෙද සෙහි ස​ම
  • Triceps: අතෙහි උඩ බාහුවේ පිටුපසට වන්නට ඇති පෙදෙසෙහි සම

ශරීරයෙහි ඇති මේද ප්‍රතිශතය ගණනය කිරී​ම

Skinfold පරීක්ෂණයේ මිණුම් කටයුතු සිදුකල පසු ඒවා ප්‍රතිශතයන්ට පරිවර්ථනය කිරීම සිදු කල යුතු වනවා. එම කාර්යය පහසු කිරීම සඳහා මේ වන විට මෘදුකාංග වල සහය ලබා ගැනීම සිදු කෙරෙනවා.

නමුත් මෙහිදී සඳහන් කල යුතු ප්‍රධානතම කාරණාව වන්නේ මේ ආකාරයට ලබාගත් මිණුම් වලින් අදාල ප්‍රතිශතයන් ලබා ගැනීම සඳහා එකිනෙකට වෙනස් වූ සමීකරණයන් කිහිපයක් පවතිනවා. ඇතැම් විට ඒවායෙන් ලැබෙන ප්‍රථිපලයන් එකිනෙකට වෙනස් වීමේ හැකියාවද පවතිනවා. මෙම හේතුව නිසා මේ වන විට ලොව සම්මත ලෙස භාවිතා වන්නෙ Jackson සහ Pollock විසින් නිර්මාණය කරන ලද සමීකරණයන්‍ ය. ඒ හරහා Skinfold එක ගණනය කිරීම සඳහා පහත ඇති online body fat calculator දෙක භාවිතා කල හැකියි.

ඔබටත් ඔබගේ Skinfold එක මැන ගැනීමට අවශ්‍ය නම් පහත calculator එක භාවිතා කල හැකි නමුත් එහිදී ඉහත කී පොදුවේ මිණුම් ලබාගන්නා ස්ථානයන්හි මිණුම් ඇතුලත් කිරීම නොමැති නිසා 100%ක්ම නිවැරදි Skinfold අගය ලබා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

Skinfold පරීක්ෂණයෙහි නිරවද්‍යභාව​ය

මෙහිදී ප්‍රධාන වශයෙන්ම සඳහන් කල යුතු කාරණාව වන්නේ මෙම පරීක්ෂණය සඳහා භාවිතා කරන Skinfold Caliper උපකරණය, මැනීම සිදු කරන්නාගේ නිපුණතාවය, පරීක්ෂණයට ලක්වන්නාගේ ශරීරයේ ඒ වන විට ඇති ජල ප්‍රමාණය මත එම පරීක්ෂණයේ ප්‍රථිපලයන් වෙනස්වීමේ හැකියාව පවතිනවා.

නමුත් එකම Skinfold Caliper එක භාවිතා කරමින්, පෙර මැනීම සිදු කල පුද්ගලයාම විසින් මැනීම සිදු කරන්නේ නම් වඩාත් නිරවද්‍ය (100% නිවැරදි ප්‍රථිපලයක් නොව) ප්‍රථිපල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

නමුත් මේ වන විට ලොව ඇති තාක්ෂණයත් සමඟ Skinfold පරීක්ෂණය යල්පැන ගිය පරීක්ෂණය ක්‍රමයක් බවට පත් වෙමින් පවතිනවා. මේ වන විට ලොව වඩාත්ම ප්‍රචලිත ක්‍රමය වන්නේ Electrical Impendance නම් ක්‍රමවේදයයි.

Sources: DAPA Measure Toolkit, Nutritional Assessments, Science Direct, Verywell Fit