Loading...
එළියට බහින්නත් බය මේ දවස් වල phone එක වතුරට වැටුනොත් කොහොමද phone එක බේර ගන්නේ?

1. ඉක්මනට වතුරෙන් එලියට ගන්න.

වැටුනා නේද ෆෝන් එක, දැන් ඉතින් ”අනේ අනේ” කියා කියා ඉන්නේ නැතුව ඉක්මනට වතුර තියෙන තැනින් එලියට ගන්න. සම්පුර්ණයෙන් වතුරෙ ගිලුනා නම් වහාම ෆෝන් එකේ තියෙන බැක් කවර්ස් එහෙම ගලවන්න (Seal type ෆෝන් එකක් නෙවෙයි නම් පමණක්.). එහෙම කරලා හොඳින් පළපුරුදු කාර්මිකයෙක් ලවා chemical wash එකක් කරවන්න පුලුවන්නම් වටිනවා. අපි විසින් ගලවනවාට වඩා.

එහෙත් එහෙම කරන්න කල් යනවා නම් වෙන කරන්න දේකුත් නැති නම් කරන්න වෙන්නේ මෙන්න මේ දේවල් තමා.

වෙන ෆෝන් එකක් නැතිනම්… කරුණා කරලා තමන්ගේ පෙම්වතියට බිරිඳට දෙමාපියන්ට ඔබේ ෆෝන් එකට වුන දේ කියන්න. එහෙම නැති වුනොත් ඔවුන් කලබල වෙලා ඔබෙන් සද්දයක් නැති වුනාම. ඔබේ ඔලුව කන්න ආවම ඔබට ෆෝන් එක වේලිලා ඔබව වතුරේ ගිලුනා නම් හොඳයි කියලා හිතේවි.

2. චාජ් එකට ගහන්න එපෝ

මොනම හේතුවක් නිසාවත් ෆෝන් එක ගහන්න එපා චාජ් එකට ඇතුලේ සර්කිට් ෂෝර්ට් වෙලා ෆෝන් එක වැලිගම්පිටි යවන්න උවමනා නම් විතරක් එහෙම කරන්න.

3. සැනින් ෆෝන් එක off කරන්න

එවෙලේම ෆෝන් එක ඔෆ් කරන්න සමහර විට ස්විච් එකට වතුර ගිහින් නම් වැඩ නොකරනවා වෙන්නත් පුළුවන්. එහෙම නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි බැක් කවර එක ගලවලා කෙලින්ම බැටරිය ගලවන එක.

4. සිම් එක ගලවන්න

බොහොම වෙලාවට ඔබ ෆෝන් එක බේරගන්න උවමනා වෙන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි. සමහර වෙලාවට ඔබේ සිම් එකේ තියෙන කොන්ටැක්ට්ස් ඔබේ ෆෝන් එකට වඩා වටිනවා වෙන්න පුළුවන්. සමහර විට අමතක කරන්න බැරි අය ගෙන් ආපු sms එහෙම archive වෙලා තියෙන්න එහෙම ඉඩ තියෙන නිසා සිම් එක ගලවා ගන්න එක වටිනවා.

5. ෆෝන් එකේ ගලවන්න පුළුවන් ඔක්කොම ගලවන්න

අපි වතුරෙන් ෆෝන් එක එලියට ගත්තා, ෆෝන් එක ඔෆ් කළා, සිම් එක ගැලෙව්වා, දැන් කරන්න තියෙන්නේ ෆෝන් එකේ ගලවන්න පුළුවන් ඔක්කොම ගලවන්න. මොකද ගලවන්න පුළුවන් කියන්නේ ඒ කොටස් වලට වතුර යන්න ඉඩ තියෙනවා කියන එකයි. සිම් එක, මෙමරි කාඩ් එක, බැටරිය, බැක් කවර් එක, සමහර පරණ ෆෝන් වල කී පෑඩ් එකත් ගලවන්න පුළුවන්. එහෙම ඒවා නම් එහෙම කලත් කමක් නැහැ.

6. පිස දමන්න

පුළුවන් හැම අස්සක් මුල්ලක් නෑරම හොඳ කපු රෙදි කෑල්ලක් අරගෙන පිහ දාන්න, කපු රෙද්දට හොඳට වතුර උනන ගතිය තියෙන නිසා මේ වැඩේට සුදුසුම ඒක තමා.

7. හෙයා ඩ්‍රයර්? “වානා”, වැකියුම් ක්ලිනර්? “හා”

මොනම වෙලාවකවත් හෙයා ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්න එපා ඔබේ ෆෝන් එක වියලවන්න. වතුරෙන් කරන තරම්ම බලවත් හානියක් ඔබේ ෆෝන් එකට හෙයා ඩ්‍රයර් එකකින් කරන්න පුළුවන්. සර්කිට් වල තියෙන්නේ හරිම සංවේදී තන්තු කොටස් නිසා මේ ගැන ගොඩක් ම අවධානය යොමු කරන්න.

ඔබට ඉක්මනින් වියළවා ගන්න අවශ්‍ය නම් හොඳම විකල්පය තමා වැකියුම් ක්ලිනර් එකක්. හෙයා ඩ්‍රයර් එකකින් කරන්නේ උණුසුම ඇති සුළං පහරක් ෆෝන් එක ඇතුලට යවන එක, එත් වැකියුම් ක්ලිනර් එකකින් කරන්නේ තියෙන කුමක් හෝ දෙයක් ඒ තුලට ඇදගන්න එකයි. ඉතින් පුංචි ජල වාෂ්ප වලටවත් එයින් ගැලවිල්ලක් නැහැ.

හෝව් හෝව් ටිකක් ඉන්න.

මෙතනින් එහාට තියෙන ටික කරන්න ඕනේ ඔයාට ඔයාග ෆෝන් එක රෙපයාර් කරගන්න එලියට යන්න විදිහක් නැති නම් විතරයි. ආරක්ෂාකාරීව එළියට ගිහිං ෆෝන් එක හදාගන්න පුළුවන් තත්වයක් තියෙනව නම් හත් වෙනි පියවරෙන් පස්සේ කරන්න තියෙන්නේ හුරේ රන් එකේ ෆෝන් එකත් අරගෙන ටෙක්නීශියන් කෙනෙක් ගාවට ගිහිං රෙපයාර් කරගන්න එක.

8. හාල් වල ඔබන්න

මේක ගැන අපේ ෆෝන් තියෙන යාළුවො දන්නවා ඇති. ඔබේ ෆෝන් එක අර අපි ඉස්සරින් කිව්වා වගේ ගලවලා කෑලි වලට ගෙදර සහල් පෙට්ටියේ හෝ සහල් පැකට් එකක උනත් කමක් නැහැ. බස්සලා තියන්න දවසක් වරු දෙකක් උනත් අවුලක් නැහැ. වැඩිපුර තියන තරමට ජල වාෂ්ප උරා ගන්න එක වැඩි වෙනවා. ගොඩක් අය එහෙම කියද්දී සමහර සයිට් වල මේ විසඳුමට ප්‍රශ්නාර්ථයක් එකතු කරලා තිබ්බා. පොඩ්ඩක් මෙතනින් කියවලා බැලුවට ඒ ගැන පාඩු නැතිවෙයි.

9. අව්වේ තියන්න ද? “හා”, ඒත් පරිස්සමට

අව්වේ තියන්න, ඒත් අතපය පිච්චෙන තද අව්වේ තියන්න එපා. එහෙම එකකින් වෙන්නේ අපි හෙයා ඩ්‍රයර් එකකින් වෙන හානියම තමා. ඒ නිසා මද පවනේ වේලෙන්න තිබ්බත් පාඩුවක් වෙන්නේ නැහැ.

10. ඊට පොඩ්ඩකට කලින්

සමහර ෆෝන් වල සමහර කොටස් තියෙනවා ඒ කොටස් වලට වතුර කාන්දු වෙලා නම් එතනින් පෙන්නුම් කරනවා තිබෙන වර්ණයේ වෙනසක් ලෙස.

නිද:- සාමාන්‍යයෙන් බැටරියකට වතුර කාන්දු වුනොත් එහෙම එයින් පෙන්නුම් කරනවා උඩ තිබෙන කොන්ටැකට් පින් වලට එහා පැත්තෙන් තියෙන සුදු පැහැති කුඩා ස්ඵටිකයෙහි වර්ණය වෙනස් වීමෙන්. ඉතින් බොරු කියන්න ගිහිල්ල අහුවෙන්නනං එපා!


වැදගත් !

මේ ඔක්කොම කරලත් ෆෝන් එක ඔන් කලාම ෆෝන් එක පිස්සු සෙල්ලම් දානවා නම් කරුණා කරලා ඔබ ෆෝන් එක ගත්තු වෙළඳ නියෝජිතයටම කියලා සේවා කරගන්න එකම තමා හොඳම. බොරු කියන්න යන්න එපා. ඇත්තම කියන්න. සමහර විට ජලයෙන් වෙන කරදර වලට ඔබේ ඔවුන්ගේ වගකීමේ සහතිකය මගින් ආවරණය නොකරන්න ඉඩ තියෙනවා. එහෙත් ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි උපදෙසක් ගැන විමසා සිටින්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.