Loading...
DNA Digital Data Storage සමගින් අනාගතය කොහොම වෙයිද?

මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ගමන් හොයලා බලපු මාතෘකාවක් ගැන කරුණු කීපයක් ඔයාලා හැමෝම එක්ක බෙදා හදා ගන්න හිතුවා. DNA Digital Data Storage කිව්වම ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු දෙයක් නෙවෙයි වෙන්නැති. මොකද මටත් මේ මොකද්ද කියන එක ගැන ඊයේ පෙරේදා වෙනකන්ම හරි අවබෝධයක්රි තිබුණේ නැහැ.

ඉතින් DNA Digital Data Storage ගැන අහලා තියන අයට ඒ ගැන දැණුම වර්ධනය කරගන්නත් ඒ ගැන නොදන්න අයට ඒ ගැන දැනගන්නත් මේ ලිපිය උදව් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි මෙහෙම පටන් ගමු.

මොකද්ද මේ DNA Digital Data Storage කියන්නේ?

හැමෝම දන්න විදියට මිනිස්සෛ සිරුරේ සෛලවල, එහෙමත් නැත්නම් ශාක සෛලවල තොරතුරු ගබඩා වෙන්නෙත් හුවමාරු වෙන්නෙත් රසායනික ක්‍රියාවලියක් තුලින්. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෛලවල තියෙන DNA හරහා. මිනිස් සිරුරේ සහ ශාක වල තොරතුරු මේ විදියට DNA වල ගබඩා වෙද්දී මේ ලෝකයේ භාවිතා වෙන අතිවිශාල ප්‍රමාණයක් වූ දත්ත සහ තොරතුරුත් මේ DNA භාවිතයෙන් ගබඩා කරන්න ක්‍රමවේදයක් සොයන්න ඒ පිලිබඳ පර්යේෂණ කළ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.

ඉතින් එහි ප්‍රතිපලයක් විදියට තමයි අපි එදිනෙදා ලෝකයේ භාවිතා කරන දත්ත ගබඩා කරන්නත් මේ DNA යොදාගන්න පුලුවන් කියන දේ ඔවුන් සනාථ කර ගන්නේ. ඒ විදියට DNA යොදාගෙන අපේ පරිගණක ලෝකයේ දත්ත ගබඩා කරන මාධ්‍යට තමයි මේ DNA Digital Data Storage කියලා කියන්නේ.

DNA වල දත්ත ගබඩා කරන ක්‍රියා දාමය මොන වගේද?

ඇත්තෙන්ම DNA වල අපි කෘතිමව දත්ත ගබඩා කරනවා කියලා කියන්නේ හිතන තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. DNA එකක් A, T, C සහ G ලෙස හඳුන්වන නියුක්ලියෝටයිඩ 4 කින් සමන්විත වෙනවා. මේ නියුක්ලියෝටයිඩ 4 තුළ තමයි අනුක්‍රමිකව දත්ත ගබඩා වෙන්නේ. තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන මේ ක්‍රියාවලිය සිදු වෙන ආකාරය ගැන කෙටියෙන්ම කියනවානම් මෙහෙදී සිදු සංස්ලේෂණය කරන ලද DNA කෙඳි වල (synthesized strands of  DNA) ද්විමය දත්ත (binary data) encode කිරීම සහ decode කිරීම තමයි සිද්ද වෙන්නේ.

DNA Digital Data Storage භාවිතයේ වාසි මොනවාද?

DNA Digital Data Storage වෙත වත්මන් ලෝකයේ අවධානය යොමු වීමට බලපාන කරුණු රාශියක්ම තියෙනවා. පලවෙනි දේ තමා DNA 1g ක් තුළ 215 PetaBytes, ඒ කියන්නේ GB මිලියන 215 ක දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න තරම් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කාරණය දැනට ලෝකයේ ඉහළ නගිමින් තියෙන දත්ත ගබඩා කිරීමට අවශ්‍ය storage capacity ඉල්ලුමට හොඳ විසඳුමක් වෙනවා.

ඒවගේම තමයි එතරම් විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්නත් වැයවන DNA 1g ක් ලබා ගන්න physical space එක, එහෙමත් නැත්නම් භෞතික ඉඩ ප්‍රමාණය ඉතාමත් කුඩයි. මේ DNA තුළ ඉතාමත් ආරක්ෂිතව අවුරුදු මිලියන ගණනක් වුණත් දත්ත ගබඩා කරල තැබීමේ හැකියාවක් තියෙනවා. මේ සියලු කරණා නිසාවෙන් තමයි DNA Digital Data Storage වෙත මේ වෙනවිට ඉතාමත් ඉහළ අවධානයක් වොමු වෙලා තියෙන්නේ.

මේ සියලු කරුණු වලට අමතරව තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ DNA වල ඉතාමත් සුවිශේෂී විශ්ලේෂණාත්මක සහ පරිගණකමය හැකියාවන් අන්තර්ගතයි. ඒ නිසා DNA storage medium එකක් විදියට පමණක් භාවිතා කිරීමෙන් ඔබ්බට ගිහින් තවත් බොහෝ සංකීර්ණ කාර්යයන් පහසු කරගැනීමේ ක්‍රමවේදයක් විදියට යොදාගන්නත් පර්යේෂණ කරමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ DNA තාක්ෂණය පරිගණක ලෝකයේ බොහෝ අපූරු වෙනස්කම් සිදු කරන දවස වැඩි ඈතක නොවන බව නම් විශ්වාසයි.

මේ කෙටි ලිපිය හරහා DNA Digital Data Storage ගැන යම් අදහසක් ලබා ගන්න පුලුවන් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ ගැන තවත් කරුණු හොයලා බලන්නත් අමතක කරන්න එපා.