Loading...
පැරණි වීඩියෝ AI බලයෙන් HD තත්වයට පත් කරන YouTube "Super Resolution" විශේෂාංගය

ලොව විශාලතම වීඩියෝ වේදිකාව වන YouTube විසින් සිය Video නැරඹීමේ සමස්ත අත්දැකීම ඉහළ නැංවීම සඳහා Artificial Intelligence යොදා ගනිමින් නව තාක්ෂණික පෙරළියක් සිදුකර තිබෙනවා. ඒ, Low-Resolution යුත් පැරණි Video ස්වයංක්‍රීයව HD (High-Definition) තත්ත්වයට පරිවර්තනය කිරීමේ "Super Resolution" නම් විශේෂාංගයක් හඳුන්වා දීමත් සමඟිනුයි.

මෙමගින් Creatorsලාට තම පැරණි Video නැවත සංස්කරණය කර Reupload කිරීමේ අවශ්‍යතාවකින් තොරවම, නරඹන්නන්ට පැහැදිලි දසුනක් ලබා දීමට හැකි වනු ඇත. තාක්ෂණික විශ්ලේෂකයන්ට අනුව, මෙය YouTube විසින් මේ දක්වා සිදු කළ වඩාත්ම දියුණු AI යෙදුම්වලින් එකක් ලෙස සැලකන්න පුලුවන්.

Image Source - blog.youtube

මෙම නව Super Resolution තාක්ෂණය වීඩියෝ Upscale කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදවලට වඩා වෙනස් අයුරින් ක්‍රියා කරන අතර සාමාන්‍ය Upscaling ක්‍රමවේදවලදී Video එකක Pixels සරලව දිගු කිරීමෙන් හෝ පිටපත් කිරීමෙන් තිරය පුරවා ගන්නා අතර, එහිදී රූපයේ පැහැදිලිතාවය සහ තියුණු බව අඩුවනවා. නමුත් YouTube හි AI ක්‍රමවේදය මඟින්,

  1. Upscaling: මුලින් 1080p විභේදනයට වඩා අඩුවෙන් උඩුගත කර ඇති Video ඉලක්ක කර ගනිමින්, AI විසින් ඒවායේ ඉහළ විභේදන අනුවාදයන් ස්වයංක්‍රීයව ජනනය කරයි.
  2. SD සිට HD දක්වා: ආරම්භක අවධියේදී Standard Definition (SD) තත්ත්වයේ Video HD (1080p) තත්ත්වයට පරිවර්තනය කෙරේ.
  3. අනාගත ඉලක්කය: මෙම තාක්ෂණය අනාගතයේදී 4K දක්වාම Video Upscale කිරීමට සහය දැක්වීම YouTube හි ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා.
  4. සැකසීම: මෙම AI ක්‍රියාවලිය YouTube හි සියලුම Surface (TV, Mobile, Web) හරහා ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම Smart TV වැනි විශාල තිර සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ. විශාල තිරවලදී අඩු විභේදනයකින් යුතු වීඩියෝවල පික්සල් වැඩි වී අපැහැදිලි බවක් ඇතිවීම මෙමගින් වළක්වයි.

මීට පෙර ඇතැම් අවස්ථාවලදී YouTube Shorts වැනි අන්තර්ගතයන් සඳහා AI මඟින් ස්වයංක්‍රීයව රූප වැඩි දියුණු කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් නිර්මාණකරුවන්ගේ විවේචනයට ලක් වූ බැවින්, මෙම Super Resolution විශේෂාංගය සමඟ සමාගම පූර්ණ පාරදෘශ්‍යභාවයකින් සහ පාලනයකින් යුතු වන බව දක්වා තිබෙනවා.

YouTube විසින් සහතික කර ඇත්තේ, නිර්මාණකරුවන්ගේ මුල් Original Video Files සහ ඒවායේ Original Resolutions නොවෙනස්ව තබා ගන්නා බවයි. Super Resolution යනු නරඹන්නන්ට තෝරා ගත හැකි අතිරේක විභේදනයක් පමණක් වෙනවා. එමෙන්ම නිර්මාණකරුවන්ට අවශ්‍ය නම්, AI මඟින් සිදු කරන මෙම වැඩි දියුණු කිරීමේ විශේෂාංගයෙන් ඉවත්වීමට සම්පූර්ණ අවස්ථාව හිමි වේ ව්න අතර එමඟින්, ඔවුන්ගේ අන්තර්ගතයේ මුල් Visual Tone හෝ Aesthetics පවත්වා ගැනීමට අවස්ථාව ලැබෙනවා. AI මඟින් Upscale කරන ලද Video, Settings Menu එකේදී "Super Resolution" යනුවෙන් පැහැදිලිව ලේබල් කරනු ඇති අතර එමඟින් නරඹන්නන්ට අවශ්‍ය නම්, AI වැඩි දියුණු කළ Video හෝ Original Video එක තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා.

Source: blog.youtube