Loading...
Windows 11 මත Android Apps ධාවනය කිරීමේ හැකියාව Windows Insider පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කරයි

මෑතකදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය පොදු භාවිතාව සඳහා නිකුත් කිරීම සිදු කෙරුණා. මීට මාස කිහිපයකට පෙරදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය එලිදක්වන අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය මත ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් එමියුලේටර් එකක් භාවිතා කිරීමකින් තොරව ධාවනය කිරීමේ හැකියාව ලබා දෙන බවයි.

නමුත් එම එලි දැක්වීමේ ප්‍රකාශ කල ආකාරයට වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන අවස්ථාවේදී කිසිදු පුද්ගලයෙකුට අන්ඩ්‍රොයිඩ් යෙදුම් ධාවන කිරීමේ හැකියාව නම් හිමි වුනේ නෑ. නමුත් මේ වන විට Redmond firm විසින් නිකුත් කර ඇති ලේඛනයකට අනුව මේ වන විට වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය සඳහා Windows Subsystem for Android පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

Windows 11​හි Microsoft Store මත Android Apps දැක්වෙන ආකාර​ය

මේ වන විට වින්ඩෝස් 11 Insiderහි රැදී සිටින පරිශීලකයන්ට මේ ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වින්ඩෝස් 11 මත ධාවනය කිරීමේ හැකියාව ලබා දී ඇති අතර ඒ සඳහා Amazon Store එක භාවිතා කිරීමට සිදුවනවා.

මේ සඳහා ඇමසන් සමාගම සමඟින් එකතු වූ මයික්‍රෝසොෆ්ට් සමාගම තෝරාගත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 50ක් මඟින් මෙම පරීක්ෂා කිරීම සිදු කිරීම මූලික වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම යෙදුම් 50 අතරට Lords Mobile, June’s Journey, ස​හ Coin Master වැනි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා වන ක්‍රීඩාද, Kindle වැනි කියවීමේ යෙදුම්ද, Lego Duplo World හෝ Khan Academy Kids වැනි කුඩා ළමුන් සඳහා වන යෙදුම්ද ඇතුලත් වනවා.

වින්ඩෝස් සංවර්ධනය කරන කණ්ඩායම පවසන ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් හරහා පැමිණෙන නොටිෆිකේශන්ස් සියල්ලම Windows Action Center හරහා නැරඹීමේ හැකියාව ඇති අතර වින්ඩෝස් යෙදුම් භාවිතා කරන අතර තුරේදීම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්ද භාවිතා කිරීමේ හැකියාව හිමිවනු ඇත.

Windows apps භාවිතා කරන අතරතුරේදී Android apps භාවිතා කල හැකි ආකාර​ය

එහි ප්‍රථම පියවර ලෙස Windows Subsystem for Android හි Preview users ලාට අද සිට Amazon Store එක හරහා Android Apps භාවිතා කිරීමට ලබා දී තිබෙනවා. මෙම Apps සියල්ලම පරිශීලකයන් හට ලබා ගැනීමට හැකි වන්නේ Microsoft Store එක හරහා වීම විශේෂත්වයක්.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 11 මත ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ධාවනය කිරීම සඳහා වෙනමම වන subsystem එකක් නිර්මාණය කර තිබෙනවා. එය Android Open Source Project සහ Linux Kernel එකකින් සමන්විත වන අතර බලගැන්වෙන්නේ Android 11 සංස්කරණයෙනි. මෙම subsystem එක Hyper-V Virtual Machine එකක් මත ධාවනය වන අතර එය Windows subsystem for Linux ආකාරයටම ක්‍රියාකරනු ලබන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධති සංවර්ධකයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම subsystem එක සඳ​හා AMD, Intel සහ Qualcomm ප්‍රොසෙසර්ස් සහය දක්වන අතර ඒ සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම Intel සමාගමේ සහයෝගය මත ARM සඳහා පමණක් වන ඇන්ඩ්‍රොයි​ඩ් යෙදුම් AMD සහ Intel මත ධාවනය වන පරිගණක මත ධාවනය වන ආකරයට සංවර්ධනයට මූලිකත්වය ගෙන ඇත.

Source: The Verge, XDA Developers