Loading...
Android Fastboot Commands ඉගෙනගනිමු

අපි Android Modifications, Developments ගැන අරන් එන ලිපි පෙළේ අලුත්ම ලිපිය අරගෙනයි මේ ආවෙ.

අද අපි යන්නේ ප්‍රධාන සහ නිතර අවශ්‍ය වෙන Fastboot commands ටිකක් ගැන ඉගෙනගන්න. මේ Commands ටික පාවිච්චි කරන්න නම් කලින් අපි කතා කරපු විදියට device එක fastboot mode එකේ තියෙන්න ඕන. ඒ වගේම device එක USB කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කරලා, drivers සහ tools ස්ථාපනය කරලා, ADB/Fastboot tools වලින් CLI අතුරුමුහුණතට පිවිසිලා ඉන්න ඕන. මේ දේවල් අපි සවිස්තරාත්මකව කලින් කතා කළා.

හොඳයි, එහෙනම් අපි දැන් යමු මොනාද මේ Commands කියලා එකින් එක විමසලා බලන්න.

fastboot devices

මේ කෝඩ් එක රන් කරලා පුළුවන් සාර්ථකව සම්බන්ධ වෙලා තියෙන උපාංග බලාගන්න. මේ command එක රන් කළාම ඔයාගෙ Android device එක පෙන්නන්නේ නැත්නම්, ඔයා සාර්ථවකව උපාංගය සම්බන්ධ කරගෙන නෑ. බොහෝ විට drivers වල දෝෂයක් හෝ කේබලයේ දෝෂයක් වෙන්න පුළුවන්.

Reboot

මේකෙන් පුළුවන් ෆෝන් එක සාමාන්‍ය විදියට reboot කරගන්න.

fastboot reboot

Recovery එකට reboot කරගන්න

මේකෙන් කරන්නෙ recovery එකට බූට් කරන එක.

fastboot reboot recovery

Blootloader එකේ තත්වය පරීක්ෂා කරගන්න

fastboot oem device-info

මේකෙන් පුළුවන් Bootloader එකේ තත්වේ, ඒ කිව්වේ ලොක්ද, අන්ලොක් ද කියන එක බලාගන්න. Bootloader එක unlock නම්, True කියලා output එකක් එයි, lock නම් False කියලා output එකක් එයි.

Bootloader එක Unlock කරගන්න

fastboot oem unlock

මේකෙන් Bootloader එක අන්ලොක් වෙනවා Nexus devices වගේ bootloader එක unlock කරන්න ඉඩ දෙන උපාංග වල නම්. ඒත් සාමාන්‍යයෙන් Bootloader එක unlock කරන්න මෙහෙම ලේසියෙන් බෑ.

උදාහරණයක් විදියට Sony ෆෝන් එකක් නම්, එයාලට ඔයාගෙ IMEI එක දීලා, වගකීම් සහතිකය අවලංගු කරලා, එයාලගෙන් Key එකක් එහෙමත් නැත්නම්, ඔයාගෙ ෆෝන් එකේ bootloader එකටම විශේෂිත වුණ code එකක් ලබාගන්න ඕන.

fastboot -i 0x0fce oem unlock 0x<YOUR UNLOCK CODE>

බොහෝවිට මේ කමාන්ඩ් එක ෆෝන් එකේ නිෂ්පාදකයා අනුව වෙනස් වෙනවා.

Partitions format කරගන්න

fastboot format:<file-system> <partition>

මේ කමාන්ඩ් එක තියෙන්නේ මොකටද කියලා බැලූ බැල්මටම වැටහෙනවා ඇති. මේ කමාන්ඩ් එක යොදාගෙන පුළුවන් අපිට පාටිෂන් වෙන වෙනම ෆෝමැට් කරගන්න, අපිට අවශ්‍ය file system එකකින්. වර්තමානයේ Linux මෙහෙයුම් පද්ධති වල නිතර භාවිතා වෙන ෆයිල් සිස්ටම් එක තමයි ext4 නොහොත් Fourth Extended File System. මේකෙන් තමයි අපි Android වලත් පාටිෂන් ෆෝමැට් කරන්නේ. පහළ උදාහරණයෙන් වැඩේ පැහැදිලි කරගන්න.

fastboot format:ext4 data

මේ කමාන්ඩ් එකෙන් පුළුවන් ext4 ක්‍රමයට data පාටිෂන් එක format කරගන්න. ඔයා පාවිච්චි කරන දුරකථනයට මේ කමාන්ඩ් එක run කළොත් වෙන්නෙ device එක reset වෙන එකයි. ඒ නිසා මේ commands වලදි පරිස්සමින්.

Recovery image එක flash කරගන්න

fastboot flash recovery <recovery.img>

මේකෙන් කරන්නේ රිකවරි එකක් ෆ්ලෑෂ් කරන එක. ඩිවයිස් වලට අලුත් OS දානවා නම් (ROM flashing), zip flashing වගේ advanced වැඩ කරන්න නම් කස්ටම් රිකවරි එකක් ඕන. ඒ ගැන වැඩි විස්තර අපි පසුවට කතා කරමු. <recovery.img> කියන තැනට එන්න ඕන ඔයා අලුතින් flash කරන්න යන Recovery එකේ නම. ඔයා හදන්නේ TWRP Recovery එක දාන්න නම් මෙන්න මේ වගේ එකක් තමයි කෝඩ් එක.

fastboot flash recovery twrp-3.0.1.2-falcon.img

Kernel එක flash කරගැනීම

fastboot flash boot <boot.img>

මේකෙන් කරන්නේ Boot පාටිෂන් එකට ඩිස්ක් ඉමේජ් ෆයිල් එකක් ෆ්ලෑෂ් කරන එක බව ඔයාලට පේනවා ඇති. කලින් පෝස්ට් එකේදි  අපි කථා කළා /boot පාටිෂන් එකේ තියෙන්නේ Kernel එක සහ ramdisk එක කියලා. දැන් තේරෙන්න ඕන ඔයාගෙ ෆෝන් එකට කර්නල් එක ෆ්ලෑෂ් කරනකොටයි මේ කමාන්ඩ් එක run කරන්නේ කියන දේ.

ඔතන <boot.img> වෙනුවට ඔයා ෆ්ලෑෂ් කරන්න යන Kernel එකේ image file එකේ නම තමයි දෙන්න ඕන. මෙන්න මේක උදාහරණයක්.

fastboot flash boot xt1032-kernel.img

අපි සාමාන්‍යෙන් Custom Kernel flash කරන්නේ මේ විදියට නෙවෙයි, Recovery එක හරහා. මේ විදියට සාමාන්‍යයෙන් කරන්නෙ Stock kernel එක, එහෙමත් නැත්නම් දුරකථන නිෂ්පාදකයා විසින් ඔයාගෙ device එක වෙනුවෙන් නිර්මාණය කරපු kernel එක flash කරගන්න එකයි. Recovery එක damage වුණ වෙලාවක මේ commands වැදගත් වෙනවා.

ROM එක නොහොත් Android System එක flash කරගැනීම

fastboot mode එකේ ඉඳන් Stock ROM එක ෆ්ලෑෂ් කරන්නෙ මෙහෙමයි, මුලින්ම අපි ඩිවයිස් එක සුද්ද කරන්  (wipe) ඉන්න ඕන. ඒකට මෙන්න මේ command එක run කරන්න ඕන.

fastboot -w

ඊට පස්සෙ අපි කමාන්ඩ් එකක් ගහනවා ROM එක ෆ්ලෑෂ් වෙන්න.

fastboot update <path/rom.zip>

ROM එකක් අපිට එන්නේ සාමාන්‍යයෙන් zip එකක් විදියට. (img file එකක් හදලා flash කරන අවස්ථා තියෙනවා.) අන්න ඒ zip එක තමයි අර කලින් කමාන්ඩ් එකෙන් ෆ්ලෑෂ් වෙන්නේ. උදාහරණයක් ගනිමු.

fastboot update /rom/stock-lollipop-xt1032.zip

මේ ක්‍රමයට අපිට කස්ටම් රොම් එකක් ඉන්ස්ටෝල් කරන්න අමාරුයි. කස්ටම් රොම් එකක් ඉන්ස්ටෝල් වෙද්දි වෙන සමහර Process මේ විදියට Handle කරන්න බැහැ කියලා සරලව කියන්න පුළුවන්. අපි ඒවා කරන්නේ Recovery එකට boot කරගෙන recovery අතුරුමුහුණත හරහා.

හොඳයි, මං හිතන්නෙ දැන් Fastboot commands ගැන හොඳ දැනුමක් ඔයාටත් තියෙනවා. මම ආයෙත් කියන්න ඕන, මේ දේවල් මම කියලා දුන්නත් ඔයා කරන මොනයම් හෝ modification එකක් නිසා ඔයාගෙ phone එකට වෙන ඩැමේජ් එක ගැන මම වගකියන්නෙ නෑ. මේක මම විතරක් කියන දෙයක් නෙවෙයි. Custom ROMs developers ලා පවා මේ කරුණ මුලින්ම කියලා තමයි පසුව අනික් දේවල් ටික කියන්නෙ. ඒ නිසා තමන්ගේ වටිනා device එක modify කරන්න කලින්, හොඳට හොයලා බලලා වැඩ පටන්ගන්න.

ගිහින් එන්නම්, ඔබට ජය!