Loading...
Android උපාංග වල ඇති Partitions

Android Development වලට ආස අයට මේ ලිපිය වැදගත් වේවි.

ජංගම දුරකථන ඉතිහාසය වෙනස්ම මඟකට ගෙන ඒමට සමත් වුණ "ස්මාට් ජංගම දුරකථන - Smartphone" කියන්නෙ කුඩා පරිගණක බව අපි හැමෝම දන්නා කරුණක්. සාමාන්‍ය පරිගණකයක තියෙන සියළු මූලික උපාංග ස්මාට් ෆෝන් එකක කුඩාවට ඇතුළත් වෙලා තියෙනවා.

Android නමින් හඳුන්වන Linux කර්නලය මත ගොඩනැඟුණු ජංගම උපාංග සඳහා වූ මෙහෙයුම් පද්ධතිය නිසා ස්මාට් ජංගම දුරකථන වල මිළ අඩු වී සාමාන්‍ය ජනතාව අතරටත් ආවා. ඒ වගේම, Android යනු විවෘත කේත එනම් Open Source ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් නිසා ලොව වටා සිටින මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ට, developers ලාට එම කේතය අධ්‍යනය කිරීමටත්, එම කේතය පාදක වූ විවිධ ආකාරයේ මෙහෙයුම් පද්ධති (Custom roms) නිර්මාණය කිරීමටත් ඉඩ ලැබුණා.

Linux කර්නලය මත පදනම් වූ framework එකක් ලෙස ක්‍රියා කිරීම නිසා, Android මෙහෙයුම් පද්ධතියටත් ඇත්තේ සාමාන්‍ය Linux මෙහෙයුම් පද්ධතියක ඇති හැඩහුරුකම් ය. අද අපි කථා කිරීමට බලාපොරොත්තු වන Partitions ද ඇත්තේ පෙර කී ආකාරයට Linux පාදක මෙහෙයුම් පද්ධතියක ආකාරයටයි.

ඔබ දන්නා පරිදි, ඔබ භාවිතා කරන Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයටත් Partitions වර්ග තිබෙනවා. උදාහරණ ලෙස,

  • System partition (EFI System Partition / BIOS system partition
  • Microsoft Reserved partition (MSR
  • Primary partitions (Windows partitions, data / utility partitions
  • Recovery partition
  • Extended partition
  • Logical partitions (Windows partitions, data / utility partitions)

මේවායින් සමහරක්, පරිගණකය භාවිතා කරන ඔබට නොපෙනුණත්, සමහර ඒවා ඔබට File Explorer හරහා බලාගත හැකියි. Windows මෙහෙයුම් පද්ධතියේ නම්, C අකුරෙන් ඇරඹී primary/logical පාටිෂන් නම් කිරීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වන්නේ මෙම C partition එකට යි.

එනමුත්, Linux ආභාෂය සහිතව එන Android මෙහෙයුම් පද්ධතියේ ඇත්තේ මීට වඩා බොහෝ සෙයින් වෙනස් වූ Partition ක්‍රමවේදයක්. සාමාන්‍ය Linux පාදක මෙහෙයුම් පද්ධතියක ඇති බොහෝ Partitions වර්ග ඔබට Android මෙහෙයුම් පද්ධතියෙන් ද දැකබලාගත හැකියි.

අපි මෙම ලිපියෙන්, Android මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන partitions මොනවාදැයි සහ ඒවායේ ගබඩා කරන්නේ කුමන ආකාරයක දත්ත දැයි විමසා බලමු, මෙම දැණුම Android Development සහ Modifications සඳහා බොහෝ ප්‍රයෝජනවත් වේවි.

/boot

මේ Partition එකේ ගබඩා කරන්නේ Kernel එක සහ ramdisk එක. Ramdisk යනු කර්නලය විසින් boot time එකේ, එනම් උපාංගය on වන අවස්ථාවේ භාවිතා කරන, මෙහෙයුම් පද්ධතිය load වීමේදී ආරම්භ වන පළමු process එක වන /init daemon process එක සහ උපාංගයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සැකසුම් ගොණු (config files) කීපයක් කබඩා කර ඇති කුඩා ඉඩ ප්‍රමාණයක්. Android උපාංගයක එක් විශේෂ කොටසක් වෙන Bootloader කේතය තියෙන්නෙත් මේ Partition එකේමයි.

/recovery

මේ Partition එකේ ගබඩා වෙන්නේ Recovery එක. Recovery එක කියන්නෙත් Bootable partition එකක්. Recovery එකට Boot කිරීමෙන් මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් කිරීම, දත්ත මකා දැමීම ඇතුළු දේවල් රැසක් කරන්න පුළුවන්.

/system

මේකේ තමයි  Kernel එක සහ ramdisk එක හැර සම්පූර්ණ Android OS එක වගේම System apps ටික ගබඩා වෙලා තියෙන්නේ. (Kernel එක සහ ramdisk එක කියන්නෙත් OS එකේම කොටස්, ඒවා ගබඩා තියෙන්නේ /boot පාටිෂන් එකේ, වෙනමමයි)

/data

මේ කොටසේ ගබඩා වෙන්නේ අදාළ උපාංගය භාවිතා කරන පුද්ගලයා නිසා ගබඩා වෙන දත්ත. User විසින් install කරන apps, Messages, App වල data, user සිදු කරන settings වල වෙනස්කම් ආදී නොයෙක් දත්ත මෙහි ගබඩා වෙනවා. මේ partition එක wipe කිරීම, එහෙමත් නැත්නම් මකා දැමීමට අපි කියනවා Factory Reset එහෙමත් නැත්නම් Master Reset කරනවා කියලා.

/cache

කෑෂ් මෙමරි ගැන ඔයාලා දන්නවා ඇති. අපි නිතර භාවිතා කරන දත්ත මේකේ ගබඩා කරලා තියාගන්නවා, ඉක්මනින් ඒවට පිවිසෙන්න. ඕන නම් මේක ක්ලියර් කරලා දාන්න පුළුවන් මුකුත් අවුලක් වෙන්නෑ. ගොඩක් ෆෝන් වල මේක /data පාටිෂන් එක ඇතුළෙම ගබඩා කරලා එවනවා.

/misc

මේ කොටසේ ගබඩා වෙන්නේ පද්ධතියේ සංකීර්ණ settings. ඉංගිරිසියෙන් කිව්වොත් Miscellaneous System Settings. මේකෙ ගබඩා වෙලා තියෙන්න පුළුවන් Carrier and Region Settings (CID) වගේ ඒවත්. දෘඪාංග සම්බන්ධ සැකසුම් එහෙමත්. මේ partition එකේ ගබඩා වෙන්නේ, මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපාන සංවේදී දත්ත.

/sdcard

මේ කොටසේ ගබඩා වෙන්නේ User විසින් උපාංගයට ඇතුළත් කරන පින්තූර, වීඩියෝ, ගීත ආදී නොයෙක් files. මේ කොටසේ දත්ත user ට පහසුවෙන් මකන්න පුළුවන්, ඒ වගේම ඉඩ පිරෙනකන් ඕනම විදියකට තැන්පත් කරන්නත් පුළුවන්. Memory Card එකක් සහිත දුරකථන වල /sdcard2 වගේ නමකින් තවත් partition එකක් මෙහෙයුම් පද්ධතිය විසින් හදාගන්නවා. ඒකත් මේ partition එකෙන්ම වෙන කාර්යය තමයි කරන්නෙ.

Android උපාංගයක partitions ගැන අවබෝධයක් දැන් ඔයාලටත් ඇති. ඉදිරියේදී Android මෙහෙයුම් පද්ධතියේ ඇතුළාන්තය ගැන තවදුරටත් කථා කිරීමේ බලාපොරොත්තුවෙන්, ගිහින් එන්නම්. ඔබට ජය!