Loading...
කෘතිම බුද්ධිය නොහොත් Artificial Intelligence (දෙවන කොටස) - AI තාක්ෂණයෙන් බලගැන්වෙන යෙදවුම්

අප විසින් පෙර ඔබ වෙත ගෙන ආ මෙම ලිපි පෙළෙහි පළමු ලිපිය මගින් මෙම කෘතිම බුද්ධිය පිළිබඳව සාමාන්‍ය අදහසක් ලබාගත හැකිවූ බවට විශ්වාස කරන්නෙමු. එය ඔබ මේ වන විටත් එම ලිපිය කියවා නොමැති නම් මෙම සබැඳිය ඔස්සේ එම ලිපිය කියවන්න.

අප මේ වන විට සාකච්ඡා කරමින් පවතින AI තාක්ෂණයේ තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවයි. මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත මෙම AI තාක්ෂණයේ ක්‍රියාකාරීත්ව පිළිබඳව මූලික මට්ටමේ අවබෝධයක් ලබාගත හැකි අතරම අප එදිනෙදා භාවිතා කරන්නා වූ AI තාක්ෂණය මූලික කරගත් යෙදවුම් කිහිපයක් පිළිබඳව ද විමසා බැලීම සිදුකරයි.

AI පිළිබඳව සාකච්ඡා කරන විට ඉතාම වැදගත් මාතෘකා දෙකක් වන්නේ Machine Learning සහ Deep Learning වේ. මෙහි කෙටි හැදින්වීමක් මගින් ඔබට මෙමගින් සිදුවන ක්‍රියාවලිය පිළිබඳව දළ අවබෝධයක් ලබාගත හැකිවේ.

Machine Learning යනු කුමක් ද?

Machine Learning (ML) සලකන විට එය AI හි ම තවත් එක් කොටසක් වන අතර එමගින් විවිධාකාරයේ වූ ගැටලු නිරාකරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන මාධ්‍යයක් වේ. මෙහිදී යම් පරිශීලකයන් පිරිසක් විසින් අධ්‍යයනය කරනු ලබන ක්‍රියා පටිපාටීන් අධ්‍යයනය කරමින්, එම දත්ත භාවිතා කර සහ අනුකරණය කර ඇල්ගොරිතම (Algorithms) භාවිතා කිරීමට මෙමගින් අවස්ථාව උදාකරනු ලබයි. මෙය වඩාත් නිරවද්‍ය අනාවැකි/විය හැකියාවන් (Predictions) නිර්මාණය කිරීමටද වැදගත් වන මාධ්‍යයකි.

Source: fsm.ac.in

Arthur Samuel ව්සින් 1959 වර්ෂයේදී Machine Learning යන ආකෘතිය ඉදිරිපත් කර ඇති අතර එතැන් පටන් මේ දක්වා ගෙවී ගිය කාලය තුළ විශාල දියුණුවක් මෙම ML තුළ ඇතිවීම අප හට දැකගත හැකිවේ. Arthur Samuel විසින් මේ හා සම්බන්ධව ප්‍රකාශයට පත් කළ පර්යේෂණ වාර්තාවක කොටසක් පහත සඳහන් වේ. එය පරිශීලනය කිරීමට ඔබට අවස්ථාව ඇත.

Deep Learning යනු කුමක් ද?

Source: builtin.com

කෘතිම බුද්ධිය යන සංකල්පයේ උපකුලකයන් වන Deep Learning (DL) සලකන විට එය ලබා දී ඇති තාර්කික දත්ත මත පදනම්ව ඒවා අඛණ්ඩව විශ්ලේෂණය කිරීම සිදුකර මිනිසා විසින් ලබාදෙනු ලබන නිගමනවලට සමාන වන්නාවූද නිරවද්‍ය වූද නිගමනයන් ලබාදීම සිදුකිරීමට වඩා උපකාරී වේ. මෙම ක්‍රියාවලි නිවැරදිව හා කාර්යක්ෂමව සිදුකර ගැනීම සඳහා DL මගින් ස්ථර කිහිපයකින් සමන්විත ඇල්ගොරිතමයක් (Multi-Layered Structure of Algorithms) වන Neural Network භාවිතා කරනු ලබයි.

AI මගින් බලගැන්වෙන යෙදවුම්.

මේ වන විට අප එදිනෙදා සමාජ මාධ්‍ය ඔස්සේ කාලය ගත කරනා විට අපට දක්නට ලැබෙන පුවත් අතර මෙම AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරන ලද යෙදවුම් පිළිබඳව විශාල වශයෙන් දක්නට ලැබේ. එලෙස විවිධ වූ ක්ෂේත්‍රයන් තුළ භාවිතා කරන්නාවූ යෙදවුම් පිළිබඳව මෙම පරිච්ඡේදය ඔස්සේ ඔබ සමග සංවාදයට ගෙන ඒමට සූදානම් වන්නෙමු.

Source: edgy.app

මෙහිදී අප විසින් මෙම තාක්ෂණය භාවිතා කර කාර්යයන් පහසු කරගැනීම සඳහා යොදාගන්නාවූ යෙදවුම් පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කරනු ලබන අතර ඒවා පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම ලිපි පෙළෙහි ඉදිරි ලිපි මගින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. එමෙන්ම මෙහිදි අප විසින් එම යෙදවුම් භාවිතා කිරීමට හැකියාව පවතින සබැඳීන් ඔබ වෙත ලබාදෙන බැවින් නව අත්දැකීමක් ලබාගැනීම සඳහා එම මූලාශ්‍ර පරිශීලනය කිරීමට ඔබට අවස්ථාව ඇත.

Amazon Alexa

Alexa පිළිබඳව අසා නොමැති පුද්ගලයෙකු නොමැති වන තරමටම මෙම යෙදවුම ලොව පුරා ඉතාම ජනප්‍රිය වේ. Smart Speaker සලකන විට Amazon Alexa ප්‍රධානම මට්ටමේ යෙදවුමක් වන අතර ඉදිරියේදී ඇමෙරිකාව තුළ 75% ක පමණ පිරිසක් සඳහා මෙම Smart Speaker භාවිතය ප්‍රචලිත වීම සිදුවිය හැකි බවට අනුමාන කරනු ලබයි. AI තාක්ෂණය මගින් බලගැන්වෙන මෙම මෙවලම මේ වන විට Smart House Concept එක සඳහා ද භාවිතා කිරීම සිදුකරනු ලබයි.

Amazon Alexa (Source: wired.com)
Amazon Alexa හි ක්‍රියාකරීත්වය පෙන්නුම් කරනු ලබන වීඩියෝවක්. 

Chatbots

ඔබ දිනපතා අන්තර්ජාලයේ ගැවසෙන Website පරිශීලනය කරනු ලබන විට අත්දැකීමට හැකිවන පහසුකමක් වන්නේ Chatbot වේ. එය බොහෝ දෙනා භාවිතා කිරීමට යම් පසුගාමී කැමැත්තක් දැක්වූවද එය ඉතාමත් ඵලදායී සහ විශ්වාසවන්ත පහසුකමක් වේ. Starbucks, Sephora වැනි ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාර පවා භාවිතා කරන්නාවූ මෙම Chatbots මගින් පාරිභෝගිකයා වෙත යම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සහ ප්‍රශ්න සම්බන්ධව දැනගැනීමට හැකියාව පවතී. මෙමගින් ඉතා කඩිනමින් ප්‍රතිචාර ලබාගත හැකිවේ. එමෙන්ම මෙම Chatbot නිර්මාණය කිරීම සඳහා ද ඔබට මේ වන විට විශාල ප්‍රමාණයක මූලාශ්‍ර පවතින අතර එමගින් ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පරිශීලනය කළ හැක.

Image Tagging

ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙක් නම්, YouTube වැනි මාධ්‍යයක් භාවිතා කිරීමේදී ඔබට නරඹන වීඩියෝවට සමාන වන තවත් වීඩියෝ නැවත නැවතත් දැකගැනීමට හැකියාව ලැබේ. එයට හේතුව වන්නේ Algorithms භාවිතා කර මෙම යෙදවුම තුළ ස්ථාපනය කර ඇති සේවාවන් හේතුවෙනි. ඒ හා සමානවම මේ වන විට E-commerce තුළ ද මෙම Image Recognition භාවිතා කර තම පාරිභෝගිකයන්ට ඔවුනගේ කැමැත්තට අනුරූප වන තවත් භාණ්ඩ හෝ සේවාවන් නිරූපණය කිරීම සිදුකරයි.

Spam Filters

ඔබ විසින් එදිනෙදා email පරීක්ෂා කරන්නේ නම් ඔබට දැකගත හැකිවන අංගයක් වන්නේ Spam Folder එක වේ. එහි පවතින්නේ යම් spam emails වන අතර එය AI මගින් ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් හරහා පෙන්නුම් කරනු ලබයි. එමගින් පරිශීලකයන් සඳහා ඔවුනගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ හැකිවේ.

Facial Recognition

පාඨක ඔබ මේ වන විට භාවිතා කරන දුරකථනය හෝ Laptop පරිඝණකය සඳහා Face Unlock පහසුකම ඇති බවට බොහෝ විට දැනුවත් ඇති බව මා විශ්වාස කරමි. මෙම Face Unlock පහසුකම ඔබ වෙත සැපයීම සඳහා මූලික වී ඇති තාක්ෂණය වන්නේ Facial Recognition තාක්ෂණයයි.

මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක ආරක්ෂණ පද්ධති සඳහා ද විශාල වශයෙන් භාවිතා කරනු ලබන මෙම තාක්ෂණය මගින් ඔබ සිටින් ස්ථානය කුමක් වුවත් ඔබගේ මුහුණෙන ලබාගන්නා දත්ත මත පදනම්ව ඔබව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම ඔබගේ මුහුණේ වූ සංකලනයන් මගින් ඔබ මේ වන විට සිටින්නාවූ මට්ටම නැතහොත් තත්ත්වය පිළිබඳව ඩ අධ්‍යනය කළ හැකිවේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න.

Facial Recognition තාක්ෂණය පිළිබඳව විස්තර කෙරෙන වීඩියෝවක්.

ඉහත ඔබවෙත ගෙන ආ උදාහරණ ඔබට එදිනෙදා හමුවන AI මත පදනම්ව නිර්මාණය කළ යෙදවුම් සහ සේවාවන් වන අතර මීට අමතරව විවිධ අංශයන් තුළ මෙම AI භාවිතයන් වැඩි වශයෙන් සිදුවේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අපගේ ඉදිරි ලිපි සමග රැඳී සිටින්න.

Sources: www.sas.com csuglobal.edu www.fsm.ac.in www.ibm.com builtin.com edgy.app www.techtarget.com www.investopedia.com builtin.com cloud.google.com