Loading...
වසර 200කට පෙර නිමැවුනු ලොව ප්‍රථම විදුලි මෝටර් රථයේ සිට අද වෙන තුරු EV වල ගම​න

ලෝකේ පළවෙනිම Electric Vehicle (EV) එක නිෂ්පාදනය කරේ අවුරුදු 200 කට විතර කලින් කියලා කිව්වොත් පිළිගන්නවාද? තවත් විදියකින් කිව්වොත් පෙට්රල්, ඩීසල් වගේ ඛනිජ තෙල් භාවිතා කරලා වාහන දුවන්නත් සෑහෙන කාලෙකට කලින් තමයි ලෝකේ පළවෙනි විදුලියෙන් ධාවනය කෙරෙන රථයක් නිර්මාණය වුණේ. 1828 අවුරුද්දේ තමයි ලෝකේ පළවෙනි Electric Vehicle එක නිර්මාණය කරන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ විදුලි වාහන සංකල්පය අලුතින් ආපු එකක් කියලා. ඇත්තටම එහෙම නෑ. අවුරුදු 200 කට කලින් ඉඳන්ම විදුලි වාහන සංකල්පය තිබිලා තියෙනවා. ඒක නිකංම සංකල්පයක්ම නෙමේ. ඒ සඳහා මොඩ්ල් වාහනත් නිර්මාණය කරලා තියෙනවා.

1900ට කලින් ආපු EV

1828 දී හංගේරියානු ජාතික Ányos Jedlik විසින් තමයි විදුලි මෝටරයකින් බල ගැන්වෙන ලෝකේ පළවෙනි EV එක නිර්මාණය කළේ. මේක ඉතා කුඩා මිනිසුන් සඳහා නිර්මාණය වූ මොඩ්ල් කාර් එකක්. Prototype එකක් කියන්නත් පුළුවන්. 1830-50 කාලයේ තමයි මේ සඳහා පර්යේෂන වැඩි වශයෙන් ආරම්භ වෙලා තියෙන්නේ. 1832-39 අතර කාලයේදී සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන් රැගෙන යා හැකි EV එකක් නිර්මාණය වෙන්නේ ස්කොට්ලන්ත ජාතික Robert Anderson අතින්.

1835 දී නෙදර්ලන්ත මහාචාර්ය Sibrandus Stratingh විසින් තවත් කුඩා electric car එකක් නිර්මාණය කරනවා. 1881 වෙනකොට ප්‍රංශ ජාතික Gustave Trouvé විසින් රථයේ බලයෙන්ම නිපදවෙන විදුලියෙන් ධාවනය වන මිනිසුන් රැගෙන යා හැකි EV එකක් නිර්මාණය කරනවා. 1859 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ Gaston නිර්මාණය කළ නැවත නැවත චාජ් කළ හැකි ලෙඩ් ඇසිඩ් බැටරිය වැඩි දියුණු කිරීමෙන් තමයි මේ රථය නිර්මාණය වෙන්නේ. 1884 දී ඉංග්‍රීසි ජාතික Thomas Parker විසින් ඉතා තවත් EV රථයක් නිර්මාණය කරනවා. මේ රථය රීචාජ් කළ හැකි හයි කැපෑසිටි බැටරියකින් යුක්තයි.

1888 දී ජර්මන් ජාතික Andreas Flocken විසින් පළවෙනි EV car එක නිෂ්පාදනය කරනවා. මෙතනදි පළවැනි විදුලි කාරය කිව්වේ කලින් නිර්මාණය කළ රථ වලට කාර් කියලා හඳුන්වන්න පුළුවන් ද බැරිද කියන එක වෙනම කතාවක්. මොකද ඒව කරත්ත වගේ ලයින් එකේ රථ නිසා. 1890 න් පස්සේ වගේ නාගරික ප්‍රදේශවල විදුලියෙන් ධාවනය වන රථ ජනප්‍රිය මට්ටමක පැවතුනා. 1897 දී ඇමෙරිකාවේ විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා වන Electric Vehicle Company එක ස්ථාපිත වෙනවා.

ඒ කාලයේ ඇමරිකාවේ කාර් වලින් 38% ක් විතර EV වාහන ධාවනය වෙලා තියෙනවා.නමුත් 1900 න් විතර පස්සේ පෙට්‍රෝලියම් ලෝකයට විවෘත වීම, internal combustion එන්ජිම වැඩිදියුණු වීම එක්ක මේ විදුලි රථවලට තිබූ ඉල්ලුම අඩු වුණා. ඇත්තම කිව්වොත් රථවල බැටරි චාජ් වීම,විදුලි බැටරි දියුණු කිරීම වගේ දේවල් වලට අවධානය අඩු වුණා. ඒ වගේම internal combustion එන්ජිම් සහිත වාහනවලින් ඉතා වේගවත්, ජවයක් ලබා ගැනීමට හැකි වීම මිල අඩු වීම වගේ කාරණා එක්ක විදුලි වාහන කෙරෙහි තිබූ ජනප්‍රියභාවය සහ EV රථ දියුණු කරන්න තිබු අවධානය ලෝකයෙන් අඩු වෙලා ගියා.

EV වල යලි ආගමන​ය

නැවත වරක් විදුලි වාහන ගැන කරලියට එන්නේ 60'-70' දශකය වෙනකොට පරිසර දූෂණය වීමේ මාතෘකාව එක්ක. ඒ කාලේ General Motors EV1, Baker Electric වගේ EV රථ කෙරෙහි අවධානයක් යොමු වුණත් ලෝකයට ඒ ගැන ලොකුවට දැනුනේ නෑ. 1990 දශකය වන විට GM EV1 සහ Toyota RAV4 EV රථ කෙරෙහි අවධානයක් යොමු වුණත් ගැටළු සහිතව සීමිත ප්‍රමාණයක් තමයි මේවා නිර්මාණය වෙන්නේ.

විදුලි රථ වල විශාල පරිච්චේදයක් පෙරලෙන්නේ 2000 න් පස්සේ. මේකට විශාල වශයෙන් දායක වෙන්නේ Toyota සමාගම නිෂ්පාදනය කළ Toyota Prius Hybrid රථය. Internal Combustion Engine එකකින් සහ Electric motor එකකින් ක්‍රියාත්මක වෙන මෙම දෙමුහුන් (HEV) රථය ලෝකේ කා අතරත් ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. අද වෙනකොට EV රථ වල ප්‍රධාන ස්ථානය විදියට ක්‍රියාත්මක වෙන Tesla Motors ආයතනය 2003 දී ආරම්භ වෙනවා. ඒ අනුව ඔවුන් 2008 දී පළවෙනි Electric Sports car එක විදියට අති නවීන Tesla Roadster රථය හඳුන්වා දෙනවා. 2010 වෙද්දී නිසාන් සමාගම විසින් Nissan Leaf රථය පළවෙනි මහා පරිමාණ EV රථ නිෂ්පාදකයා වශයෙන් එළියට දානවා. එදිනෙදා භාවිතයට පහසු වීමත් ඒකත් ජනප්‍රිය වෙනවාවෙනවා.

අද වෙනකොට ටෙස්ලා ආයතනය Tesla Model S, 3, X, Y වශයෙන් විවිධ මාදිලියෙන් සෑම අංශයකින්ම වැඩි දියුණු කරන ලද EV රථ එළියට දාලා තියෙනවා. ඊට අමතරව Benz, BMW, Audi වගේ මෝටර් රථ වාහන නිෂ්පාදන ආයතන කිහිපයක්ම EV රථ නිෂ්පාදනයට අත ගහලා තියෙනවා. 2010 න් පස්සේ වගේ මේ විදුලි රථ කෙරෙහි අවධානය වැඩි වුණා. පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම වගේ, විවිධ රජයන් විසින් EV රථ භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දීම අද වෙනකොට වැඩි වෙලා තියෙනවා.

ඒ වගේම 2025-26 න් පස්සේ Formula 1 තරඟත් උපරිම වශයෙන් විදුලියෙන් බල ගැන්වෙන රථ යොදා ගැනීමටත් FIA එකේ අවධානය යොමු වෙලා තියෙනව. සාමාන්‍යයෙන් ඇස්තමේන්තු කරලා තියෙන්නේ 2060 වෙනකොට ලෝකයේ ඛනිජ තෙල් සංචිත හිඟ වෙන බවත්, 2070 වෙනකොට ස්වාභාවික ගෑස් සංචිත නැති වන බවත්, 2090 වෙනකොට ගල් අඟුරු බලය හිඟ වෙන බවත්. ඇත්තටම මෙහෙම කිව්වට 2080 වෙනකන්වත් සමහර විට 2100 වෙනකම් වත් ෆොසිල ඉන්ධන භාවිතයේ තියාගන්න පුළුවන් වෙයි.

1828 වගේ කාලෙක පළවෙනි විදුලි කාරය නිර්මාණය වුණා නම් වසර 200 ක් යනකොට කෙතරම් දියුණුවක් ලබ​ලා තියෙන්න ඕනද කියලා ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පිළිතුර සරලයි තෙල්. අපිට තෙල් තියෙනවා නම් ඒවලින් විශාල ප්‍රමාණයෙන් බිස්නස් කරන්න පුළුවන් වගේම, ලේසියෙන් වඩාත් බලවත් ජවසම්පන්න හා කාර්යක්ෂම ඉන්ජින් නිර්මාණය කරන්න පුළුවන් නම් ආයේ විදුලියට හැරෙන්න යන්නේ ඇයි?

ඊළඟ කාරණය අවුරුදු 200 කට කලින් විදුලි කාර් නිර්මාණය වුණා නම් පරිසර දූෂණය අවම කරන්න ඒ කාලේම පිළියම් යොදන්න තිබ්බනේ කියන කාරණය. මේක කීයටවත් වෙන්නේ නෑ ඒ කාලේ. මොකද තෙල් කියන්නේ මුදල් ආකාරයක්. එච්චර සල්ලි කන්දරාවක් හොයන්න පුළුවන් කම තියෙද්දී ලෝකේ පරිසරය බේරගන්න කව්රුවත් හිතන්නේ නෑ. Money First. ඉතාම හොඳ මට්ටමේ විකල්ප ඉන්ධන භාවිතා වෙන වාහනයක් නිර්මාණය වෙන්න නම් මේ තෙල් සංචිත අවසන් මට්ටමට ළඟා වෙන්න ඕන. ඒව ඉවර වෙනකම් කව්රුවත් ඕකට යොමු වෙන්නේ නෑ. Tesla වගේ ආයතන ඉතාම හොඳ මට්ටමේ වාහන නිර්මාණය කරලා නෑ කියලා නෙමේ මම කියන්නේ. මොකද පරිසර දූෂණය අවම කරන්න විදුලි රථ ඕන වුණා නම් මීට සෑහෙන කාලේකට කලින් විදුලි රථ වල දියුනුවක් ලබාගන්න තිබුණා.

අද වෙනකොටත් වාහන වලට ආදරේ මිනිස්සු කැමති internal combustion engine වලට. මොකද වාහනයක් එලවනවා කියන්නේ තමන්ගේ වැඩ ටික කරගන්න එක විතරක් නෙමේ. එතන පැශන් එකක් තියෙනවා. අදත් V8, V6 engine සද්දයක් එක්ක EV එකක් සසදන මිනිස්සු ඉන්නවා. Exhaust sound එකටත් මාකට් එකක් තියෙනවා. මේ ආකල්ප තව අවුරුදු 20 ක් වත් යනකම් වෙනස් වෙන්නේ නෑ.

ඊළඟ කාරණය EV වාහන පරිසර හිතාකමි කියන කතාව. මේකේ බාගයක් ඇත්ත. බාගයක් බොරු. මොකද CO2 පිටවීම අඩු වුණාට, මේ වාහන වල බැටරිය නිර්මාණය කරන්න ලිතියම් අයන් වගේ විවිධ රසායනික ද්‍රව්ය ඕන වෙනවා. මේවා නිෂ්පාදනය කරනවා කියන්නෙම පරිසර හිතකාමී කතාවක් නෙමේ. සමහර වෙලාවට බැර ලෝහ පරිසරයට නිරාවරණය වෙන්න පුළුවන්. දැනට EV රථ වල ආයු කාලය ICE (Internal Combustion Engine) වාහන වලට වඩා අඩුයි. මේවා නිසි අයුරින් ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕන.

ඒ වගේම මේවලින් ICE වාහන වලින් බැහැර කෙරෙන උපකරණ වලට වඩා පරිසරයට හානිකර රසායනික හා විද්‍යුත් උපකරණ බැහැර වෙන්න පුළුවන්. ඒ නිසා EV වාහනයක් කියන්නේ 100% ක් පරිසර හිතකාමී වාහනයක් කියන්න බෑ. මොකද නිෂ්පාදන ක්‍රියවලියේ ඉඳන් බැහැර කිරීමේ ක්‍රියාවලිය ගත්තාම සමහර වෙලාවට මෙවලින් පරිසරයට වෙන හානිය වැඩි වෙන්න පුළුවන්. සමහර විට ගත අවුරුදු 150 ක කාලය තුළ ෆොසිල ඉන්ධන වලින් පරිසරයට වුණ හානියට වඩා සියගුණයක හානියක් අවුරුදු 50 ක් වගේ ඇතුලත EV රථ නිෂ්පාදනය සහ බැහැර කිරීම කියන කාරණයන් වලින් වෙන්න පුළුවන් නිසි අයුරින් බැහැර කිරීම වුණේ නැත්තම්.

EV කියන්නේ සම්පූර්ණයෙන්ම වාහනවල අනාගතය නෙමෙයි. නමුත් EV කියන්නේ අනාගත වාහන නිෂ්පාදනයේ එක් කොටසක් විතරක් වෙන්න පුළුවන්. අද වෙනකොට Hydrogen Fuel Cells සහිත වාහන නිෂ්පාදනය වගේම ඒව වැඩි දියුණු කිරීම ආරම්භ වෙලා තියෙනවා. අපිට හිතන්න පුළුවන් අද වෙනකොට HFC වාහන පස්සෙන් හිටියට අනාගතයේ ඉදිරියට එයි කියලා. ඒත් තව අවුරුදු 50 ක් විතර ICE වාහන පදින්න පුළුවන් වෙයි. මොකද ICE වලට ඩීමාන්ඩ් එකක් තියෙනකම්, තෙල් තියනකම් ඒව නිෂ්පාදනය වෙයි.

තාමත් ලෝකේ යුධ කටයුතු වලට භාවිතා වෙන්නේ ෆොසිල ඉන්ධන. විකල්ප ඉන්ධන ඉතා ඉක්මනින් ඉවර වෙනවා නම් මුලින්ම තක්කු බුක්කු වෙන්නේ ලෝකේ බල කඳවුරු වල ඇයො තමන්ගේ හමුදා සන්නාහ සන්නද්ධ මිලිටරි වාහන සහ ෆයිට ජෙට් වලට අවශ්‍ය විකල්ප බලශක්තිය ලබාගන්න. හැබැයි අපි නොදන්නවා වුණාට දැනටත් ඒවට වෙනම පර්යේෂන යනවාත් ඇති. කොහොම වුනත් මට නම් ඉතින් පෞද්ගලිකව EV වාහන අල්ලන්නේ නෑ වැඩිය. තාමත් මම පොඩි කාලේ වගේ බලන් ඉන්නේ "22 වන ශත වර්ෂයේ ෂර්ලොක් හෝම්ස්" කාටුන් එකේ වගේ පියාඹන කාර් වලින් ලෝකේ පිරෙනකම්.