Loading...
ඩිමෙන්ෂියාව කලින් හඳුනාගත හැකි නව ‘Brain Health’ විශේෂාංගයක් Galaxy Watch සඳහා ලබා දීමට සූදානම් වේ

Samsung සමාගම සිය Galaxy Watch සහ Smartphone භාවිතා කරමින් ඩිමෙන්ෂියාව (Dementia) සහ ඇල්සයිමර් (Alzheimer) වැනි රෝගී තත්ත්වයන්ගේ මුල් ලක්ෂණ හඳුනාගත හැකි නවතම 'Brain Health' විශේෂාංගය CES 2026 ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. මෙය හුදෙක් ශාරීරික සුවතාවය මැනීමට එහා ගිය, පරිශීලකයාගේ මානසික සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරන වැදගත් තාක්ෂණික දියුණුවක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

මෙම විශේෂාංගය ක්‍රියා කරන්නේ කෙසේද?

ඔවුන් පවසන පරිදි කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් ඔබගේ එදිනෙදා හැසිරීම් රටාවන් විශ්ලේෂණය කිරීම හරහා මොළයේ ක්‍රියාකාරිත්වයේ සිදුවන සියුම් වෙනස්කම් මෙමගින් හඳුනා ගන්නා අතර ඒ ඔස්සේ මෙම රෝගී තත්වයන් පිළිබන්දව පුරෝකතන ලබා දීමට සුදානම් වනවා.

මෙහිදී ඇවිදීමේ රටාව, හඬ විශ්ලේෂණය, නින්දේ තත්ත්වය සහ දෛනික උපාංග භාවිතය ආදිය විශ්ලේෂණයට ලක් කරන අතර ඒ අනුව ඔබ ඇවිදින වේගය, පියවර තබන ආකාරය සහ ශරීරයේ සමබරතාවයෙහි සිදුවන වෙනස්කම් Galaxy Watch එකේ ඇති සංවේදක මඟින් නිරීක්ෂණය කරනවා. තවද ඔබ Bixby සමඟ කතා කරන විට වචන පටලැවීම, කතා කරන වේගය වෙනස් වීම හෝ අසාමාන්‍ය ලෙස නැවතීම වැනි ලක්ෂණ AI මඟින් හඳුනා ගනු ලබනවා. නින්දේ ගුණාත්මකභාවය සහ නින්දේදී සිදුවන අසාමාන්‍ය බාධා කිරීම් මොළයේ සෞඛ්‍යය සමඟ සසඳා බලනවා. මීට අමතරව ටයිප් කරන වේගය, පණිවිඩ එවන රටාවන් සහ යෙදුම් (Apps) භාවිතා කරන ආකාරය ද මෙහිදී විශ්ලේෂණයට ලක් වනවා.

මුල් අවධියේ අනතුරු ඇඟවීම සිදු කරන අතර රෝගයක් ඇති බවට නිශ්චිතවම රෝග විනිශ්චය නොකරන අතර ඒ වෙනුවට සිදුවිය හැකි අවදානමක් ගැන පරිශීලකයාට සහ පවුලේ අයට කලින් අනතුරු අඟවනවා. එවිට නියමිත වේලාවට වෛද්‍ය සහාය ලබා ගැනීමට අවස්ථාව ලැබේ. තවද මීට අමතරව මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ මතකය පරීක්ෂා කරන ක්‍රීඩා සහ පුහුණු වැඩසටහන් ද මෙමගින් ලබා දෙනවා.

මෙම සියලු සංවේදී දත්ත Samsung Knox ආරක්ෂණ පද්ධතිය හරහා දුරකථනය තුළම සැකසෙන බැවින්, පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළු ඇති නොවන බව සමාගම අවධාරණය කර තිබෙනවා.

ලබා ගත හැක්කේ කවදාද?

Samsung විසින් දැනටමත් මෙම තාක්ෂණය වෛද්‍ය ආයතන සමඟ එක්ව සායනික පරීක්ෂණවලට ලක් කර තිබෙන අතර මුලින්ම Beta අනුවාදයක් ලෙස තෝරාගත් රටවල් කිහිපයකට නිකුත් කිරීමට නියමිත වනවා. ඒ අනුව බොහෝ විට ඉදිරි මාස කිහිපය තුළ Galaxy Watch 8 සහ නවතම Galaxy S26 දුරකථන මාදිලි හරහා භාවිතයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

Source: www.androidauthority.com www.sammyfans.com