Google සමාගම සිය නවතම Budget Smartphone එක වන Pixel 10a නිල වශයෙන් නිවේදනය කර තිබේ. "Made by Google" YouTube Channel එක හරහා නිකුත් කරන ලද තත්පර 15ක කෙටි වීඩියෝවක් මගින් මෙම නව දුරකථනය හඳුන්වා දී ඇති අතර, එහි කැපී පෙනෙනම වෙනස ලෙස සම්පූර්ණයෙන්ම Flat Back Camera Design එක හඳුන්වා දිය හැකිය.
මෙම නිවේදනයත් සමඟ බොහෝ දෙනා බලාපොරොත්තු වූවාට වඩා කලින් Pixel 'A' ශ්‍රේණියේ නව සාමාජිකයා වෙළෙඳපොළට පැමිණීමට සූදානම් බව තහවුරු වී ඇත.
නව Design එක සහ Camera පද්ධතියේ වෙනස
Pixel 10a හි ඇති සුවිශේෂීතම අංගය වන්නේ එහි Camera Module එකෙහි සිදුවී ඇති වෙනසයි. පසුගිය වසරේ නිකුත් වූ Pixel 9aහි කැමරාව වටා කුඩා Bump එකක් දක්නට ලැබුණද, මෙවර Pixel 10a හි ඇති Dual Camera System එක දුරකථනයේ පසුපස මතුපිට සමඟ සම්පූර්ණයෙන්ම Flat වන සේ නිර්මාණය කර ඇත. මෙය දුරකථනයට ඉතා Minimalist පෙනුමක් ලබා දෙයි.
Google සමාගම නිකුත් කළ වීඩියෝවෙහි මෙම දුරකථනය Iris ලෙස හැඳින්වෙන නිල්-දම් පැහැයට සමාන වර්ණයකින් යුක්තව දර්ශනය වේ. මීට අමතරව Obsidian, Berry, Fog සහ Lavender යන වර්ණවලින්ද මෙම දුරකථනය ලබාගත හැකි වනු ඇතැයි වාර්තා වේ.
Specifications
Google සමාගම මෙතෙක් නිල වශයෙන් දුරකථනයේ Specifications නිකුත් කර නොමැති වුවද, බොහෝ ආරංචි මාර්ග අනුව Pixel 10a හි Specifications කිහිපයක් මෙසේය,
- Display: අඟල් 6.3 ක OLED තිරය, 120Hz refresh rate එකක් සහ 2000 nits දක්වා Max Brightness
- Processor: මෙහි Google හි Tensor G4 ChipSet එකේ වැඩිදියුණු කළ සංස්කරණයක් අඩංගු වීමට බොහෝ දුරට ඉඩ ඇත.
- Memory & Storage: 8GB RAM සමඟ 128GB හෝ 256GB Storage එකකින් යුක්ත වනු ඇත.
- Camera: මෙහි Main Camera එක 48MP සහ Ultra-Wide Camera එක 13MP වනු ඇතැයි සැලකේ. Front Camera එක 13MP වේ.
- Battery: 5,100mAh ධාරිතාවයකින් යුත් බැටරියක් සහ 23W Fast Charging මෙයට ඇතුළත් විය හැකිය.
Software Features
"A phone with more in store, in store soon" යන තේමාව යටතේ හඳුන්වා දෙන මෙම දුරකථනය, නවතම AI තාක්ෂණයන්ගෙන් සමන්විත වනු ඇත. විශේෂයෙන්ම Gemini Live සහ Circle to Search වැනි පහසුකම් Budget Phones සඳහාද ලබා දීම Googleහි අරමුණයි.
මීට අමතරව, මෙම දුරකථනය Android 16 සමඟින් නිකුත් වීමට ඉඩ ඇති අතර, වසර 7ක කාලයක් පුරා OS Updates සහ Security Updates ලබා දීමට Google සමාගම පොරොන්දු වී ඇත.
මිල සහ ලබාගත හැකි දිනය
Pixel 10a සඳහා වන Pre-orders පෙබරවාරි 18 වනදා සිට Google Store හරහා ආරම්භ වීමට නියමිතය. මෙහි මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවද, එය ඇමරිකානු ඩොලර් 499ත් 549ත් අතර පරාසයක පවතිනු ඇතැයි අනුමාන කෙරේ.
Samsung Galaxy S26 මාලාව සහ Appleහි අපේක්ෂිත iPhone 17e මාදිලිය වෙළෙඳපොළට පැමිණීමට පෙර Google සමාගම සිය Pixel 10a හඳුන්වා දීම හරහා Mid Range Smart Phone වෙළෙඳපොළ තුළ විශාල තරගයක් ඇති කිරීමට සූදානම් වන බව පෙනේ.
Source: 9to5google.com








