Loading...
Gemini සමඟින් අලුත් වුන Google Maps

දශකයකට වැඩි කාලයකට පසු Google Maps වෙත ලැබුණු විශාලතම යාවත්කාලීන කිරීම මේ වන විට නිකුත් වී තිබෙනවා. Gemini AI තාක්ෂණය මඟින් බලගන්වා ඇති මෙම නව විශේෂාංග හරහා සිතියම් භාවිතය වඩාත් පහසු සහ සජීවී අත්දැකීමක් බවට පත් කර තිබෙන බව දක්වන්න පුලුවන්.

ප්‍රධාන නව අංගයන්:

  • Ask Maps: search bar එකට පහළින් දැන් නව AI බොත්තමක් දැකිය හැකි අතර ඒ ඔස්සේ ඔබට සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් අසනවාක් මෙන්, "වැඩිහිටි අයට පහසු විවේකී සංචාරයක් සඳහා සුදුසු තැන් මොනවාද?" වැනි සංකීර්ණ ප්‍රශ්න ඇසිය හැකියි. එය මිලියන ගණනක ස්ථාන සහ Reviews විශ්ලේෂණය කර ඔබට ගැලපෙනම පිළිතුර ලබා දෙනවා.
  • Immersive Navigation: රිය පදවන විට මාර්ගය ත්‍රිමාණ (3D) අයුරින් දැකගත හැකි වන අතර මෙහිදී ගොඩනැගිලි, පදික මාරු, රථවාහන සංඥා සහ නැවතුම් සලකුණු ඉතා පැහැදිලිව පෙන්වන බැවින් නුපුරුදු මාර්ගයක වුවද විශ්වාසයෙන් ගමන් කළ හැකි වනවා.
  • විනිවිද පෙනෙන ගොඩනැගිලි: උස ගොඩනැගිල්ලක් නිසා ඉදිරියෙන් ඇති හැරවුමක් නොපෙනී යන අවස්ථාවලදී, එම ගොඩනැගිල්ල විනිවිද පෙනෙන (Translucent) ලෙස සිතියමේ දිස්වනවා. එවිට ඔබට ඉදිරි මාර්ගය පැහැදිලිව දැකගත හැකියි.
  • ස්වභාවික හඬින් මගපෙන්වීම: "මීටර් 500කින් වමට හරවන්න" වැනි යාන්ත්‍රික උපදෙස් වෙනුවට, මිතුරෙකු පවසන ආකාරයේ වඩාත් ස්වභාවික උපදෙස් දැන් ලබා ගන්න පුලුවන්.
  • ගමනාන්තය කලින්ම දැකබලා ගැනීම (Destination Previews): ඔබ යා යුතු ස්ථානයට ළඟා වීමට පෙර, එම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව සහ අවට ඇති වාහන නැවැත්වීමේ ස්ථාන Street View හරහා පූර්ව දර්ශනයක් ලෙස දැකගත හැකියි.
  • විකල්ප මාර්ග සැසඳීම: විකල්ප මාර්ග පෙන්වීමේදී ඒවායේ ඇති වාසි සහ අවාසි ද දැන් Google Maps පෙන්වනවා. උදාහරණයක් ලෙස, "මෙම මාර්ගය විනාඩි 5ක් වේගවත් නමුත් මෙහි මාර්ග ගාස්තු (Tolls) අය කෙරේ" වැනි විස්තර ලබා දෙනවා.

භාවිතා කළ හැකි රටවල්

දැනට මෙම විශේෂාංග ඇමරිකාව සහ ඉන්දියාව වැනි රටවල Android සහ iOS පරිශීලකයින් සඳහා නිකුත් කරමින් පවතින අතර, ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලට ද ව්‍යාප්ත වීමට නියමිත වන බව දක්වන්න පුලුවන්.

මීට අමතරව Google Maps Icon එක සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර පරණ තද පාට වෙනුවට Gemini AI එකේ පාටවල් එකතු වුණු අලංකාර "Gradient" පෙනුමක් ලබා දීමටත් මේත් සමඟ Google සමාගම කටයුතු කර තිබෙනවා.

Source: blog.google