Loading...
වැඩි මිල​ට සබන් මිලදී ගන්න​වා වෙනුවට අඩු මුදල​ට ගෙදරදීම සබන් සාදා ගන්නේ කෙසේද?

ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා මේ වන විට හරියට නාගන්න වත් බැරිවෙන විදියට සබන් කැටයක මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කඩදාසි නැති වෙලේ Digital අවුරුදු ලිත දුන්නා වගේම බොහෝ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න Try කරන Android වැඩකාරයෝ Team එකේ අපි හිතුවා මේ ප්‍රශ්නෙටත් විසඳුමක් ලබා දෙන්න, විසඳුමකටත් වඩා හොඳ Business Idea එකක් කිව්වොත් හරියටම හරි. ස්වයං රැකියාවක් විදියට ගත්තත් බොහොම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් තමයි මේ සබන් නිෂ්පාදනය හඳුන්වා දෙන්න පුළුවන්.

‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌සබන් යනු කුමක්ද?

සබන් යනු තෙලක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය. සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ Total Fatty Matter (TFM) අගයයි. TFM අගය ගැන වැඩි විස්තර අපි ඔබට මීට පෙර අරගෙන ආවා. TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට Fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා. ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා.

සබන් දීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?‌‌

  1. පිරිසිදු පොල් තෙල්‌‌(කලවම් තෙල් ගන්න එපා,පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්නත් එපා)
  2. කෝස්ටික් සෝඩා (NaOH)‌‌‌‌‌‌‌
  3. පිරිසිදු වතුර
  4. සුවඳ කාරකයක්
  5. සබන් අච්චු (සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප් වගේ ඒවා)
  6. මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් හා Hand mixer හෝ Beater එකක්

‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌සබන් සෑදීමේදි සැලකිලිමත් විය යුතු දේ මොනවාද?

  1. මේක හරිම පහසු වැඩක්.හැබැයි මේක හදනකොට පරිස්සම් වෙන්න අවශ්‍ය දේවලුත් තියෙනවා. කෝස්ටික් සෝඩා ප්‍රබල භෂ්මයක්, අතේ ගාගන්න එපා, අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ, ගොඩක් ගාගත්තොත් අතේ හම යයි.
  2. අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.
  3. කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ හොඳින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.

ඔයා​ට ඒවගේ ම තමන්ට කැමති ඖෂධ ද්‍රව්‍ය බ්ලෙන්ඩ් කරලා වුණත් මේකට එකතු කරන්නත් පුලුවන්.

සබන් හදන්නේ කොහොමද?

සබන් කැටයක් මූලිකව,සරලව  හා ගුණාත්මකව නිර්මාණය කරගන්නා ආකාරය ගැන තමයි ඔබට අරගෙන එන්නේ. මේකෙ ටිකක් සංකීර්ණ වැඩේ තමයි කෝස්ටික් සෝඩා හරියට කිරා ගන්න එක.

ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒ නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකක තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ.

  • සබන් මිශ්‍රණ අනුපාතය-තෙල් ග්‍රෑම් 540
  • සෝඩා ග්‍රෑම් 97
  • වතුර ග්‍රෑම් 242 යි

මේ අනුපාතයට හරියටම දාන්න ඒක ගොඩක් වැදගත්.

  1. ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.
  2. තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.
  3. සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.
  4. විනාඩි 10ක් විතර බීට් කරලා, අච්චු වලට වක් කරලා වහලා තියන්න.
  5. දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරණ කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.

මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ Moisturizing සබන්. ඇඟේ ගාන්න හොඳයි. කඩේ තියෙන සබන් බයෙන් බයෙන් ඇඟේ ගාන්න දැන් අවශ්‍ය නෑ. ගෙදරදිම තමන්ට කැමති විදියට හදාගන්න පුළුවන්.

මේ විදිහට අපි අපිට අවශ්‍ය දේවල් නිවසේදීම, රට තුලදීම නිපදවා ගන්න ගත්තොත් බහුජාතික සමාගම් වල න්‍යාය පත්‍ර වලට, ඔවුන්ගේ අධික මිල වලට යට වෙලා තීරන ගන්න ඕනේ නෑ වගේම හැමදේම පිටරටින් එනකන් බලාගෙන ඉන්න ඕනෙත් නෑ.

මේ ලිපිය කියවන ඔයාට විද්‍යාව තාක්ෂණය පිළිබඳ ගැටළු තියෙනවා නම් ඒවා විසඳගන්න අපි ඔයාලට Forum එක හදලා තියෙනවා. සෙට් වෙන්න අපේ Forum එකටත්.

Source: My Business