Loading...
මහ පාරේ යන දැක්කොත් අනිවාර්‍යෙන් දෙපාරක් හැරිලා බැලෙන තේජාන්විත ඩිෆෙන්ඩර් එක - Land Rover Defender 110

1948 ඇම්ස්ටර්ඩෑම් මෝටර් ෂෝ එකේදි තමයි මේ defender කියන දැවැන්තයා ජනතාව අතරට යන්නෙ. මේ රථ වල ප්‍රධාන වශයෙන් defender-90 සහ defender-110 ලෙස මාදිලි දෙකක් තියනවා. මේ 110 ලෙස හඳුන්වන්නෙ long wheelbase මොඩල් එක. ලංකාවෙදිත් මේ මාදිලි දෙකම බලාගන්න පුලුවන් උනත් වඩාත්ම ජනප්‍රිය defender 110 මාදිලිය. ලංකාවේ ලොකු කුඩා සියලුම දෙනා වගේ මෙම ඩිෆෙන්ඩර් රථ හඳුනනවා. එයට හේතුව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන්ගේ ආරක්ෂකයින් බොහෝ විට ගමන් කරන්නේ මෙම රථ වල වීමයි.

වසර 67 ක අඛණ්ඩ නිෂ්පාදනයෙන් පසු 2016 වර්ෂයේදී ඩිෆෙන්ඩර් රථ නිෂ්පාදනය නවතා දමනවා. නමුත් 2020 වසරේ සිට නවීනතම තාක්ෂණයන්ගෙන් සහ ආරක්ෂක විශේෂාංග වලින් සමන්විත ඩිෆෙන්ඩර් රථයක් එළි දක්වා තිබෙනවා. කෙසේ වෙතත් අපි අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙකු අතර තවමත් උන්මාදයක්ව පවතින පැරණි ඩිෆෙන්ඩර් 110 රථය පිළිබඳවයි.

මුලින්ම අපි මේකෙ පිටත පෙනුම ගැන කතා කරමු. මේක ලැඩර් ෆ්‍රේම් එකක් උඩ ඇලුමීනියම් වලින් සාදා තිබෙන රථයක්. එතරම්ම curves දකින්නට ලැබෙන්නේ නෑ. ගොඩක්ම කොටු ස්වභාවයක් තමයි තියෙන්නෙ. මෙහි පිටත බොහෝ කොටස් රිවට් මගින් තමයි සම්බන්ධ කරලා තියෙන්නෙ. ඉදිරිපස සාමාන්‍ය හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් සහ පාර්කින් ලයිට් වෙන වෙනම ලබා දීලා තියනවා. මේවා සියල්ලම හැලජන් ලයිට්ස්.

මෙහි බොනට් එක තරමක් බරින් වැඩියි. Side mirrors වලට සහ දොරවල් වලට power options ලැබෙන්නෙ නෑ. දොරවල් වල සාමාන්‍ය door-handles තමයි තියෙන්නෙ. තරමක් විශාල windows ලබා දීලා තියනවා. නමුත් මෙහි ආසන වල පිහිටීම නිසා ඇතුලට සිටියදී ඉතාමත්ම හොඳ මට්ටමේ view එකක් ගන්න අපහසුයි. අපි ඒ ගැන වාහනය ඇතුළ ගැන කතා කරද්දි බලමු. මෙහි සාමාන්‍ය windows වලට අමතරව ඉහලින් fitted glass දෙකක් රථයේ දෙපැත්තෙන්ම බලා ගන්න පුලුවන්. මේ නිසා පෙර සඳහන් කල අපහසුව තරමක් දුරට අවම කරගන්න පුලුවන්. රථයේ පිටුපසත් සාමාන්‍ය කොටු පෙනුමක් තමයි තියෙන්නෙ.

මෙහි spare-wheel එක සවි කරලා තියෙන්නෙ මෙහි පිටුපස දොරේ. මෙම දොර boot space එක access කරන්න වගේම පිටුපස තෙවන පේලියේ ආසන වලට ඇතුලු වීමටත් හැකිවන ලෙස නිර්මාණය කර තිබෙනවා. පිටුපසත් සියලුම ලයිට් එකම unit එකක් තුල නොමැතිව වෙන වෙනම නිර්මාණය කර තිබෙන්නෙ. අඟල් 15 ක tires ලබා දීලා තියනවා.

ඇතුලත සියලුම කොටස් පාහේ hard plastic වලින් තමා නිර්මාණය කර තිබෙන්නෙ. වැඩි සැපපහසුවක් ලබාගන්න මේක පාවිච්චි කරන්න බැරි තරම්. ඇතුලත පෙනුම සාමාන්‍ය ට්‍රක් රථයක පෙනුමට සමානයි. තරමක් විශාල steering wheel එකක් තියනවා. විශේෂම කරුණක් වන්නේ මෙහි horn එක අනෙකුත් බොහෝමයක් වාහන වල වගේ steering wheel එක මැද දකින්න ලැබෙන්නෙ නෑ. ලේලන්ඩ් බස් එකක වගේ වෙනම පහතින් තියෙන්නෙ.

ඩිෆෙන්ඩර් රථයෙ horn එක සවි කරලා තියෙන්නෙ signal lights ක්‍රියාත්මක කිරීමට ලබා දී තිබෙන lever එක තුලමයි. අනෙකුත් යුරෝප් වාහන වල වගේම මේකෙත් wiper lever එක දකුණු පැත්තෙත් signal lights lever එක වම් පැත්තෙත් බලා ගන්න පුලුවන්. තරමක හොඳ seats තියනවා නමුත් ලොකු සැපපහසුවක් නෑ. මේ seats වලට power options කිසිවක් ලැබෙන්නේ නෑ. Rails උඩ සීමිත ප්‍රමාණයකට ඉදිරියට සහ පසුපසට ගන්න පුලුවන්. දෙවන පේලියේ seats තුනක් බලාගන්න පුලුවන්. Head-rest තුනකුත් ලබා දීලා තියනවා. මැද floor hump එකක් නැති නිසා මැද සිටින මගියාට අපහසුවකින් තොරව ගමන් කරන්න පුලුවන්.

තරමක් හොඳ leg-space එකක් සහ head-room එකක් තියනවා. පිටත පෙනුම ගැන කතා කරද්දි ආසන වල පිහිටීම සම්බන්ධව සදහන් කලා මෙහි ආසන ස්ථනගත කර තියෙන්නෙ ඉදිරිපස ආසන වලට වඩා ටිකක් උසින්. මෙය තෙවන පේලියේ ආසන සඳහාත් මේ අකාරයටම භාවිත කර තිබෙනවා. ඒ කියන්නෙ ෆිල්ම් හෝල් එකක එහෙමත් නැතිනම් ක්‍රීඩා පිටියක වගේ පසුපසට යන්න යන්න ආසන වල උස වැඩි කරලා තියනවා. මේ නිසා තෙවන පේලියේ නම් ගොඩක් උස කෙනෙකුට ගමන් කරන්න ගොඩක් අපහසුයි.

මෙහි සාමාන්‍ය 2-zone air conditioning system එකක් තමයි තියෙන්නෙ..ඒ කියන්නෙ ඉදිරිසට එකක් සහ පසුපසට එකක් වශයෙන්. ඉදිරිපස center console එකේ විතරයි  A/C vents බලා ගන්න පුලුවන් වෙන්නෙ. නමුත් තෙවන පේලියේ ආසන දක්වාම A/C vents ලබා දී තිබෙනවා. Meter console එකේ ප්‍රධාන වශයෙන් analog meters තුනක් තියනවා. Speedo meter එක, rpm (taco) meter එක, සහ එන්ජින් හීට් එක සහ ඉන්ධන ප්‍රමාණය පෙන්වන තනි කුඩා meter එක මෙයට ඇතුලත්. මෙහි power shutter පහසුකම තියෙනවා.

නමුත් මෙහි ඉදිරිපස සඳහා අනෙක් සාමාන්‍ය වාහන වලට වඩා වෙනස් ආකාරයටයි මෙහි power shutter switches තියෙන්නෙ. ඒ center console එකේමයි. පසුපස මගීන් සඳහා power shutter option එක ලැබෙන්නේ නෑ. Manually තමයි shutter එක control කරන්න ඕනෙ. ග්ලව් බොක්ස් එකක් ලැබෙන්නේ නෑ. මේක real off-road වාහනයක් නිසා ඒ වෙනුවට arm handle එකක් ලබා දීලා තියනවා. Front passenger ට මේක use කරන්න පුලුවන්. Manual gear lever එකක්, off road selector lever එකක් සහ handbrake එකක් ලබා දීලා තියනවා.

මේක full time four wheel drive වාහනයක්. නමුත් මෙහි අනෙකුත් off-road වාහන වල වගේ off-road options බොහෝමයක් ඇතුලත් වන්නේ නෑ. center diff-lock එකක් විතරයි බලාගන්න පුලුවන් වෙන්නෙ.මෙහි ලීටර 2.2 සහ ලීටර 2.4 ලෙස turbo diesel එන්ජින් බලා ගන්න පුලුවන්. 4 speed manual සහ 5 speed manual ලෙස මෙහි transmission පද්ධති දෙකක් සහිත කාණ්ඩ බලාගන්න පුලුවන්.

ප්‍රධාන වශයෙන් මෙහි අවාසි කිහිපයක් තියනවා. ලොකුම ආවාසිය මෙන්ම භයානක කරුණ වන්නේ මෙහි එක air-bag එකක්වත් නොමැති වීමයි. ඊට අමතරව ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට ලක් වුවහොත් අනතුරේ බලපෑම රථය ගන්නේ නැති තරම් එහි සම්පූර්ණ බලපෑම සිදුවන්නේ ඇතුලත සිටින මගීන්ටයි. ඊට අමතරව රියදුරු අසුන B-pillar එකට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබෙන්නෙ. එම නිසා රථය පදවන විට අත දොරේ වදිනවා, safety options කිසිවක් නෑ. ABS සහ Traction control පද්ධතියක් විතරයි බලාගන්න පුලුවන් වෙන්නෙ.

විශේෂිතවම මෙහි වාසියක් ලෙස දක්වන්නට පුලුවන් වන්නේ off-road හැකියාව ඉතාමත් ඉහල තලයක පැවතීම සහ වසර ගණනාවක් පැරණි රථයක් වුවත් මෙයට තිබෙන ඉල්ලුම අඩු නොවීමයි.

මේක SUV එකක් උනත් අනෙක් බොහෝමයක් SUV's වගේ luxury features කිසිවක් නෑ. ආරක්ෂාව අතිනුත් මෙය ඉතාමත් පසුගාමී රථයක්. නමුත් ඩිෆෙන්ඩර් කියන්නෙ වෙනම සංස්කෘතියක්. මේකට ආදරේ කරන්නන් ලොකු සැපපහසුවක් බලාපොරොත්තු වෙන්නෙ නැති තරම්. ඩිෆෙන්ඩර් රථ නිෂ්පාදනය කරලා තියෙන්නෙත් සැපපහසුවට ගමන් කිරීමට වඩා ඕනෑම අසීරු ස්ථානයක ගමන් කිරීමට හැකි වන ලෙසයි. මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම off-road vehicle එකක්. හොඳ රළු පෙනුමක් සහිත මෙයට ඇති ආකර්ෂණය එදා සිට අද දක්වාම තවමත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවතිනවා.