ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිත කරන ChatGPT, මෙතෙක් කල් වෙළඳ දැන්වීම්වලින් තොර සේවාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි. එහෙත් නවතම තීරණයත් සමඟ පරිශීලකයන් ලබාගන්නා පිළිතුරු යටින් "Sponsored Links" ලෙස නම් කරන ලද වෙළඳ දැන්වීම් දැකගත හැකි වනු ඇත.
කෙසේ වෙතත්, OpenAI සමාගම අවධාරණය කරන්නේ මෙම වෙළඳ දැන්වීම් මගින් ChatGPT ලබාදෙන පිළිතුරුවල ගුණාත්මකභාවයට හෝ අන්තර්ගතයට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. සරලවම කිවහොත්, මුදල් ගෙවා ප්‍රචාරණය වන දැන්වීමක් නිසා ChatGPT සිය තීරණය හෝ තොරතුරු වෙනස් නොකරන බව සමාගම සහතික වෙයි.
දැන්වීම් ප්‍රදර්ශනය වන්නේ කා හටද?
මෙම නව දැන්වීම් ක්‍රමය සියලුම පරිශීලකයන් සඳහා එකසේ බලපාන්නේ නැත. OpenAI විසින් හඳුන්වා දී ඇති නව ප්‍රමිතීන්ට අනුව:
- නොමිලේ භාවිත කරන පරිශීලකයන් (Free Tier): මොවුන් හට අනිවාර්යයෙන්ම දැන්වීම් ප්‍රදර්ශනය වේ.
- Go Plan පරිශීලකයන්: මසකට ඩොලර් 5ක මුදලක් ගෙවන Lowest-cost plan එක භාවිත කරන්නන්ටද දැන්වීම් පෙන්වනු ඇත.
- Plus, Pro, Business, Enterprise, Education: මසකට ඩොලර් 20ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන පරිශීලකයන් සඳහා දැන්වීම් ප්‍රදර්ශනය නොවේ.
එබැවින්, Ad-free අත්දැකීමක් අවශ්‍ය අයෙකුට අවම වශයෙන් Plus Subscription එකක් ලබා ගැනීමට සිදු වනු ඇත.
එක් සුවිශේෂී අවස්ථාවක්
OpenAI සමාගම නොමිලේ සේවාව ලබාගන්නා පරිශීලකයන් සඳහා එක් සහනයක් ලබා දී ඇත. එනම්, තමන්ට දැන්වීම් අවශ්‍ය නොමැති නම් එම පහසුකම අක්‍රීය කළ හැකිය. එහෙත් එහි පිරිවැය ලෙස, දිනකට පරිශීලකයාට ලබාගත හැකි messages සංඛ්‍යාව සීමා කිරීමට සමාගම පියවර ගනු ඇත.
Privacy
Digital Advertising හිදී පුද්ගලික දත්ත පිළිබඳව පවතින ගැටලුව ChatGPT සම්බන්ධයෙන්ද පැන නැගී ඇත. මේ පිළිබඳව OpenAI පවසන්නේ වෙළඳ දැන්වීම්කරුවන්ට ලබා දෙන්නේ Aggregated data පමණක් බවයි.
පරිශීලකයන්ට ලැබෙන වාසි කිහිපයක් පහත දැක්වේ:
- දැන්වීම් ඉවත් කිරීම.
- Feedback: අදාළ දැන්වීම පිළිබඳ අදහස් දැක්වීමේ හැකියාව.
- පරිශීලකයාගේ Past chats පදනම් කරගෙන දැන්වීම් පෙන්වීම අක්‍රීය කිරීමේ හැකියාව
- දැන්වීම් සඳහා භාවිත කළ දත්ත මකා දැමීමට පරිශීලකයාට අවසර ඇත.
වඩාත්ම වැදගත් කරුණ වන්නේ, පරිශීලකයන් ChatGPT සමඟ සිදුකරන සංවාදවල අන්තර්ගතය වෙළඳ දැන්වීම්කරුවන් වෙත ලබා නොදෙන බව OpenAI සහතික වීමයි.
දැන්වීම් සීමා කර ඇති ක්ෂේත්‍ර සහ වයස් සීමා
සදාචාරාත්මක හේතූන් මත ඇතැම් පරිශීලකයන් සහ මාතෘකා දැන්වීම් ප්‍රදර්ශනයෙන් බැහැර කර ඇත. ඒ අනුව:
- වයස අවුරුදු 18ට අඩු පරිශීලකයන් සඳහා දැන්වීම් පෙන්වනු නොලැබේ.
- සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය සහ දේශපාලනය වැනි සංවේදී මාතෘකා ඔස්සේ සිදුකරන සංවාදවලදී දැන්වීම් ප්‍රදර්ශනය නොකිරීමට OpenAI සමාගම තීරණය කර ඇත.
තවමත් මෙම විශේෂාංගය අත්හදාබැලීමේ මට්ටමේ පවතින බැවින්, සියලුම Free සහ Go පරිශීලකයන්ට ක්ෂණිකව දැන්වීම් දර්ශනය නොවනු ඇත.
වෙළඳ දැන්වීම් හඳුන්වා දීම හරහා OpenAI සමාගම උත්සාහ කරන්නේ සිය මිල අධික යටිතල පහසුකම් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ආදායම් මාර්ග සොයා ගැනීමටයි. කෙසේ වෙතත්, මෙය පරිශීලක අත්දැකීමට කිනම් ආකාරයක බලපෑමක් කරනු ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතය.
Source: theverge.com








