Loading...
Linux වෙනුවෙන් අඩිතාලම දැමූ Richard Stallman

‌අද අපි කතා කරන්න යන්නෙ විශේෂ පුද්ගලයෙක් ගැන. Software කියන්නේ නිදහසේ භාවිතා කරන්න සහ ඒවා තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න වගේම බෙදාහදාගන්න නිදහස තිබිය යුතු දෙයක් කියලා ලොකු හඬක් නැඟුව සහ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බොහොම වටින කෙනෙක් ගැන. අද අපි නොමිලේ භාවිතා කරන Linux පාදක මෙහෙයුම් පද්ධති බිහි වෙන්න පාර කැපුව අති සුවිශේෂී චරිතයක් ගැන. ඒ තමයි Richard Stallman (රිචඩ් ස්ටෝල්මන්).

මේ වගේ ලිපියක් කියවන්න ගොඩක් අය කම්මැලි නිසා මම උපරිම උත්සාහ කරනවා මේක රසවත් වෙන විදියට ලියන්න. උත්සහය සාර්ථක වේවිද, අසාර්ථක වේවිද කියලා නම් මම දන්නෙ නෑ. එහෙනම් අපි කතාව ආරම්භ කරමු.

රිචඩ් ස්ටෝල්මන් උපන්නෙ 1953 අවුරුද්දෙ, මාර්තු 16 වැනිදා නිව්‍ යෝක් නඟරයේදී. ඇමරිකන් කාරයෙක් වුණත් රිචඩ් ට තිබුණෙ යුදෙව් සම්භවයක්.  පොඩි කාලෙ ඉඳන්ම මේ අපි වගේ පරිගණක වල හරි ආසාවක් මෙතුමාටත් තිබිලා. රිචඩ් කොලු ගැටයා කාලෙ ජනප්‍රිය වුණ IBM 7094 පරිගණකය ක්‍රියා කරවන ආකාරය ගැන ලියවුණ පොත (මැනුවල් එක) ඒ කාලෙ මෙතුමා කියවලා.

IBM 7094 Console

පසුකාලෙක මෙතුමා Rockefeller විශ්වවිද්‍යාලයේ ස්වේච්ඡා විද්‍යාගාර සහයකයෙකු විදියට වැඩ කරලා තියෙනවා. හැබැයි මේක පරිගණක විද්‍යාගාරයක් නම් නෙවෙයි, ජීව විද්‍යාව සම්බන්ධ විද්‍යාගාරයක්. ඒ අතරම, රිචඩ් තරුණයා, ගණිතය, භෞතික විද්‍යාව වගේ විශයයන් ගැනත් බොහොම ඇල්මක් දක්වලා තියෙනවා. රිචඩ් ට උගන්නපු මහාචාර්ය වරයා හිතලා තියෙන්නෙ රිචඩ් කවදා හරි හොඳ ජීවවිද්‍යාඥයෙක් වේවි කියලා.

රිචඩ් මුලින්ම පරිගණකයක් එක්ක වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ IBM New York Scientific Center එකේදි. රිචඩ් ස්ටෝල්මන් උසස් පාසලේ (High School එකේ) අධ්‍යාපනය ලබපු කාලෙ (එතකොට එයාට අවුරුදු 17යි.) එයා FORTRAN ක්‍රමලේඛ භාෂාවෙන් සංඛ්‍යාත්මක විශ්ලේෂණ කරන්න පුළුවන් පරිගණක වැඩසටහනක් ලියන්න සම්බන්ධ වෙලා තියෙනවා, සති කීපයකින් ඒ වැඩේ අවසන් කරපු රිචඩ් කියලා තියෙනවා "මම දිවුරලා කියනවා ආයෙ නම් කවදාවත් FORTRAN නම් පාවිච්චි කරන්නෑ, වෙන පරිගණක භාෂා එක්ක බැලුවම ඒකට පරිගණක භාෂාවක් කියලා කියන්න වත් වටින්නෑ" කියලා. ඊට පස්සෙ එයා APL භාෂාව යොදාගෙන Text Editor එකක් සහ  IBM සමාගමෙන් හඳූන්වා දුන්න පරිගණක භාෂාවක් වුණ  PL/I  භාෂාව වෙනුවෙන් preprocessor එකක් ක්‍රමලේක කළා කියලයි සඳහන් වෙන්නෙ.

විශ්වවිද්‍යාලයේ සහ MIT එකේ ජීවිතය

පසුව රිචඩ් ඇතුළු වෙනවා සුප්‍රසිද්ධ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක් වෙලා හිටිය කාලෙ රිචඩ් ගණිතය පැත්තෙන් බොහොම දක්ෂයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසාම එතුමා ඉඳලා තියෙන්නෙ ගොඩක් සතුටෙන්. ඒ සතුට එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ මෙහෙමයි, "මගේ ජීවිතේ පළවෙනි වතාවට, මට දැනුණා හාවර්ඩ් වල මට මගේ ගෙදර හමුවුණා කියලා."

1971 අවුරුද්ද වෙනකොට රිචඩ් හිටියේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ. එතකොට රිචඩ් ට අවුරුදු 18ක් විතරයි. ඒ වෙනකොටත්, තාක්ෂණවේදය පිළිබඳ මැසචුනෙට්ස් ආයතනයේ (Massachusetts Institute of Technology - MIT) කෘතීම බුද්ධි විද්‍යාගාරයේ (Artificial Intelligence Laboratory) ක්‍රමලේඛ ශිල්පියෙක් විදියට වැඩ කරන්න එතුමාට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ කෘතීම බුද්ධි පරීක්ෂණාගාරය තමයි පසු කලෙක Computer Science & Artificial Intelligence Lab හෙවත් පරිගණක විද්‍යා සහ කෘතීම බුද්ධිය පිළිබඳ විද්‍යාගාරය විදියට නම් කළේ.

MIT Campus

ඒ කාලෙ "Hackers" යනුවෙන් හඳුන්වාගත්ත, පරිගණක කේත කියන්නෙ නිදහසේ ඕන කෙනෙක්ට අරගෙන, තමන් කැමති විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන දෙයක් ය, කියන දේ දැඩි ලෙස විශ්වාස කරපු පරිගණක ක්‍රමලේඛ ශිල්පීන්ගේ එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්නත් ඒ කාලෙ රිචඩ් ට පුළුවන් වෙලා තියෙනවා. ඒ සමාජයේදි රිචඩ් ව හඳුන්වලා තියෙන්නෙ, එතුමා පරිගණක ගිණුම් වල භාවිතා කරපු RMS කියන ඔහුගේ නමේ මුලකුරු තුනෙන්. (Richard Matthew Stallman) 1974 අවුරුද්දේ, එතුමා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගන්නවා.

රිචඩ් ට මුලින් හිතිලා තියෙන්නේ හාවර්ඩ් වලම ඉඳලා භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කරන්නයි. නමුත් පරිගණක ක්‍රමලේඛ ශිල්පයට තිබුණ ආසාව නිසා ඒක අතරමඟ නතර කරලා MIT AI Laboratory එකේ දිගටම වැඩ කරන් යන්න පටන් අරගෙන. එතුමා 1975 ඉඳන්, පර්යේෂණ සහකාර වරයෙක් විදියට වැඩ ආරම්භ කළා.

1977 දි Gerry Sussman ගේ ප්‍රධානත්වයෙන් සහ රිචඩ් ගේ සහභාගීත්වයෙන් කෘතීම බුද්ධි පිළිබඳ තාක්ෂණික කරුණු අඩංගු පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුණා. අදටත් ඒ පත්‍රිකාවේ අඩංගු කරුණු බොහෝ වැදගත් කියලයි සැලකෙන්නේ.

AI laboratory එකේ හිටිය "හැකර්" සාමාජිකයෙක් හැටියට රිචඩ්, Incompatible Timesharing System (ITS) මෙහෙයුම් පද්ධතියේ Text Editor එකක් වුණ TECO සහ තවත් text editor එකක් වුනු Emacs මෘදුකාංග නිර්මාණයට දායක වුණා. Lisp machine යනුවෙන් හැඳින්වුණු පරිගණක වල මෙහෙයුම් පද්ධති නිර්මාණයටත් එතුමා දායක වෙලා තියෙනවා. මෙතනදි කතා වුණ Emacs text editor එක අදටත් නොමිලේ දෙන Text editor එකක් විදියට ප්‍රකටයි.

Emacs Dired buffers

පරිගණක විද්‍යාගාරයේ තියෙන පරිගණක වලට ඇතුළුවීම අවහිර කරනවට රිචඩ් කැමති වුණේ නෑ. ඒ කාලෙ රිචඩ් වැඩ කරපු පරිගණක විද්‍යාගාරයට අරමුදල් සැපයුණේ DARPA එකෙන්. ඒක රජයෙන් ක්‍රියාත්මක වුන ආරක්ෂක අංශය එක්ක සම්බන්ධ ආයතනයක්. ඒකෙන් ක්‍රියාත්මක වුණ ව්යාපෘති තිබුනේ පිවිසීම අවහිර කළ, එහෙමත් නැත්නම් මුරපදයක් යෙදූ ගිණුමක් හරහා ඇතුළුවෙන්න පුළුවන් විදියටයි. 1977 දි මේ විදියට මුරපද ක්‍රමයක් හඳුන්වාදුන්නට පස්සෙ රිචඩ් කළේ ඒ මුරපද විකේතනය (decode) කරන්න,  ක්‍රමයක් හොයාගත්ත එක. (හැකර් කෙනෙක්ම තමා ඉතින්)

ඊට පස්සෙ රිචඩ් කළේ ඒ මුරපද ටික අදාළ ගිණුම් හිමි අයටම සාමාන්‍ය text එකක් ආකාරයෙන් යවලා එයාලගෙ පාස්වර්ඩ් ටික අයින් කරලා දාන්න කියලා ඉල්ලපු එක. ඒ මොකද කිව්වොත් ගිණුමක් හරහා පද්ධතියට ලොග් වුණාම ඒ ලොග් වෙලා ඉන්න කවුද කියලා හඳුනාගන්න හැකි නිසා. එහෙම ගිණුමක් නොමැතිව පද්ධතියට ඇතුළත් වුනාම නිර්ණාමිකත්වය (anonymity) ආරක්ෂා වෙන නිසා. (දැන් අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය, නිර්ණාමිකත්වය ආරක්ෂා කරගන්න අපි සටන් කරනවා වගේ රිචඩ් මහත්තයටත් ඒ පිස්සුව ඒ කාලෙ තිබිලා)

කොයික වෙතත්, එහෙම ඉල්ලපු අයගෙන් ඒකට එකඟ වෙලා තියෙන්නෙ 20% දෙනෙක් විතර පිරිසක් විතරයි. ඒ නිසා අන්තිමේදි මුරපද ක්‍රමය ම දිනලා. නමුත් ඒ කරපු දේ ගැන නම් අවුරුදු ගාණකට පස්සෙත් රිචඩ් කතා කරන්නෙ හරි ආඩම්බරෙන්.

GNU ව්‍යාපෘතියට පාර කැපුණු හැටි

1970 ගණන් වල අග සහ 1980 ගණන් වල මුල් කාලයේ "හැකර්" සංස්කෘතිය බිඳවැටෙන්න පටන් අරගෙනයි තිබුණෙ. ඒකට හේතුව වුණේ මෘදුකාංග නිෂ්පාදන සමාගම් වල තරඟයට ඉන්න තරඟකාරී අනෙක් මෘදුකාංග නිෂ්පාදකයින් තමන්ගේ software ටික අරගෙන එයාලගෙ විදියට වෙනස් කරලා භාවිතා කිරීම. මෙන්න මේ තරඟය නිසා software වල කේතය නිදහස් කිරීම ක්‍රමයෙන් නැවතෙන්න පටන්ගෙනයි තිබුණෙ. මෘදුකාංග වල කතෲ අයිතිය බලාත්මක කරන ඇමරිකා එක්සත් ජනපද කතෲ හිමිකම් පනත 1976 දි එළි දැක්වීමත් එක්ක නිදහස් මෘදුකාංග ඇතිවීම තව තවත් සීමා වෙන්න පටන්ගත්තා.

රිචඩ් විසින් තරයේ විශ්වාස කරපු කරුණ වුණ යම් මෘදුකාංගයක් තියෙනවා නම් ඒක භාවිතා කරන්නාට ඒකේ කේතය තමන්ට අවශ්‍ය හැටියට වෙනස් කරගත හැකි විය යුතුය කියන දේ එන්න එන්නම නැති වෙමින් තිබුණෙ. ඔයාලා දන්නවනෙ, එහෙම කෝඩ් එක නොපෙන්වා, closed code විදියට ආව මෘදුකාංග සමාගම් කොච්චර සල්ලි උපයා ගත්තද කියන එක (වින්ඩෝස් වගේ) ඉතින් මොන සමාගමද කැමති පාඩු ලබන්න? හැමෝම වගේ ඒ කාලෙ වෙද්දි තේරුම්ගනිමින් හිටියෙ ලාභ උපයන්න නම් closed code ම තමයි හරියන්නෙ කියන එක.

රිචඩ් වැඩ කරපු AI Lab එකේ ඉස්සර තිබිලා තියෙන්නෙ Xerographic Printer එකක්, ඒ ප්‍රින්ටර් එකට මොනා හරි ප්‍රින්ට් කරන්න භාර දුන්නම, ප්‍රින්ට් කිරීම අවසන් වුණාට පස්සෙ ඒ වෙලාවෙ නෙට්වර්ක් එකට ලොග් වෙලා ඉන්න අයට බලාගන්න පුළුවන් විදියට "ප්‍රින්ට් වෙලා ඉවරයි" කියලා මැසේජ් එකක් යන විදියටත්, ප්‍රින්ටර් එක හිර වුණාම වගේ දේවල් වලදි user ලව දැණුවත් කරන්නත් පුළුවන් විදියට ඒ ප්‍රින්ටර් එකේ කේත සටහන රිචඩ් විසින් මොඩිෆයි කරලා තිබුණා. පස්සෙ 1980 දි එතනට අලුත් Xerox 9700 ප්‍රින්ටර් එකක් අරන් ඇවිල්ලා, ඒකෙන් අර කලින් විදියේ මැසේජ් යැවීමක් සිදු වෙලා නෑ.

Source code එක වෙනස් කරලා ඒකෙනුත් මැසේජ් යවන්න පුළුවන් විදියට හදන්න පුළුවන් කම තිබුණත්, ඒකෙ කෝඩ් එක මොඩිෆයි කරන්න "හැකර්" ටීම් එකේ කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. ඒකෙන් හැමෝම වගේ ලොකු අපහසුතාවකට පත් වෙලා, ප්‍රින්ටර් එක තියෙන්නෙ වෙනම තට්ටුවක වීම නිසා මේ වැඩේ තවත් දුෂ්කර වෙලා. අන්න ඒ විදියට රිචඩ් ඇතුළු "හැකර්ස්" ලා ප්‍රායෝගිකවම පෙන්නලා තියෙනවා මොකක් හරි මෘදුකාංගයක් තියේ නම් ඒක තමන්ට ඕන හැටියකට modify කරන්න පුළුවන් වීමේ වාසිය මොකක්ද කියන එක.

රිචඩ් තර්ක කරමින් පෙන්වාදුන්නේ මොකක් හෝ software එකක් තියේ නම් ඒක තමන්ගේ යාළුවෝ අතර බෙදා හදාගන්න, ඒක හදලා තියෙන්නෙ කොහොමද කියලා අධ්‍යනය කරන්න, තමන්ට අවශ්‍ය විදියට ඒ කේතය වෙනස් කරගන්න වගේ දේවල් කරන්න පරිශීලකයාට ඉඩ දිය යුතුය කියන එක. ඒ වගේ දේවල් තහනම් කිරීම සදාචාර සම්පන්න නොවන දෙයක් බවයි එතුමාගේ මතය වුණේ. එතුමාගේ තර්කය වුණේ, Software හැම එකක්ම නොමිලේ ලබාදිය යුතුයි කියන දේ නොවෙයි. මොකක් හරි software එකක් තියේ නම්, ඒක පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි, නිදහසේ පරිභෝජනය කිරීමේ නිදහස නැති කර දැමීම සදාචාරසම්පන්න නැහැයි කියන එකයි.

1984 පෙබරවාරියේ දී MIT එකේ රස්සාවට සමු දුන් රිචඩ් නිදහස් මෘදුකාංග වෙනුවෙන් තමන්ගේ මුළු කාලයම කැප කිරීමේ බලාපොරොත්තුවෙන් GNU ව්‍යාපෘතියට තමන්ගේ මුළු ශක්තිය යෙදවීම ආරම්භ කළා. නමුත් පඩි නොලබන, ආරාධිත පරිගණක විද්‍යාඥ්ඥයෙකු වශයෙන් එතුමා MIT ආයතනය සමඟ සබඳතා පවත්වාගත්තා.

GNU ව්‍යාපෘතිය

1983 වසරේ දී ARPANET එකේ සහ USENET එකේ Mailing list එකේ හිටිය අයට රිචඩ් දැනුම් දුන්නා එයාගෙ නිදහස් තේමාව පදනම් කරපු GNU මෙහෙයුම් පද්ධතිය හදන්න කරන සැලැස්ම ගැන. රිචඩ් කිව්වෙ, "මෙහෙයුම් පද්ධති ඩිවලොපර් කෙනෙක් හැටියට, මට මේ දේ කරන්න හැකියාව තියෙනවා. මේක සාර්ථක වුණත් නැතත්, මට හිතෙනවා මේ වැඩේ කරන්න "තෝරාගැණුන" පුද්ගලයා මමයි කියලා. මම හදන මේ මෙහෙයුම් පද්ධතිය Unix සමඟ ගැලපෙන්නයි හදන්නෙ. ඒ නිසා මේක භාවිතාව පහසුයි වගේම, Unix වල ඉඳන් මගේ මේ නිදහස් මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්නත් ලේසියෙන් පුළුවන් වේවි."  කියලයි.

1985 දි, රිචඩ් විසින් GNU ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කළා. එයින් කියවුණේ GNU නමින් දියත් කෙරෙන නිදහස් මෙහෙයුම් පද්ධතිය ගැන. GNU කියන්නෙ GNU's Not Unix කියන එක කියලයි කියන්නෙ. ඒ කියන්නෙ මේ OS එක Unix නෙවෙයි කියන එක එතනදි මතු කරලා තියෙනවා. ඒකෙන් ටික කලකට පස්සෙ  Free Software Foundation (නිදහස් මෘදුකාංග පදනම) නමින් ලාබ නොලබන ආයතනයක් පටන්ගත්ත රිචඩ්, නිදහස් මෘදුකාංග ඉංජිනේරුවන් බඳවා ගන්නත්, නිදහස් මෘදුකාංග ව්‍යාපාරය වෙනුවෙන් නීතිමය රාමුවක් සකසාගන්නත් පටන්ගත්තා.

නිදහස් මෘදුකාංග වල කේත වෙනස් කිරීම්, සහ නැවත බෙදාහැරීම් පිළිබඳ නීතිමය පදනම සහිතව ආරම්භ කරපු GNU Licensing කරම වේදය මඟින් ප්‍රථම වතාවට 1989 දී GNU Emacs General Public License ලෙස Emacs editor එක වෙනුවෙන් Llicense එකක් නිකුත් කෙරුණා.

රිචඩ් විසින් මෙහෙයුම් පද්ධතියකට අවශ්‍ය කෙරෙන tools එකින් එක නිපදවමින් තිබුණා. ඒ tools යටතට Emacs editor එක, GCC Compiler එක, GNU Debugger එක, GNU make build automator එක ආදී ඒවා ඇතුලත් වුණා. මේ ලැයිස්තුවට ප්‍රධාන අඩුවක් වුනේ Kernel එකක්. 1990 දි, GNU ප්‍රොජෙක්ට් එකේ සාමාජිකයෝ Carnegie Mellon ගේ Mach microkernel එක භාවිතා කරගෙන GNU Hurd නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුණා. නමුත්, UNIX මෙහෙයුම් පද්ධතියේ standard එක වුණ POSIX standard එකට අනුකූල වෙන්න තව බොහෝ වැඩි දියුණු කිරීම් කළ යුතුව තිබුණා.

Linux උපත

1991 දී තමයි ෆින්ලන්ත ජාතික සිසුවෙක් වුණු  Linus Torvalds විසින් GNU development tools භාවිතා කරමින් අපි හැමෝම දන්න, සුප්‍රසිද්ධ Linux Kernel එක නිපදෙව්වෙ.

Linus Torvalds

ඒකෙ ප්‍රතිඵලයක් ලෙස බිහි වුණ Linux Platform එකේ දැනටමත් GNU විසින් නිපදවලා තිබුණ පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබුණා. Linux kernel එකත්, GNU වැඩසටහන් ටිකත් එකට එකතුව සැදුණු සාමාන්‍ය භාවිතයට සුදුසු මෙහෙයුම් පද්ධතියට හැමෝම වගේ කිව්වෙ "Linux" කියන තනි නමයි. මේකට රිචඩ් ඇතුළු පිරිස නම් කැමති වුණේ නෑ, මොකද Linux කියන එක හැදෙන්න මූලික වුණ, අඩිතාලම හදලා දුන්න GNU එක සහ නිදහස් මෘදුකාංග පදනම එතනදි කිසි විදියකට වත් නියෝජනය වීමක් වුණේ නැති නිසා. අදටත් GNU කියන එක බොහෝ දෙනා නොදැන ඉන්නත් Linux කියන එක ඕන කෙනෙක් දැනගන්නත් හේතුව මේකම තමයි. රිචඩ් ඇතුළු නිදහස් මෘදුකාංග පදනමේ උදවිය Linux වලට යෝජනා කළේ GNU/Linux කියන නාමයයි. කලාතුරකින් සමහර තැන් වලදී පමණයි අපිට ඒ විදියට දකින්න ලැබෙන්නෙ.

බොහෝ රටවල සංචාරය කරමින් නිදහස් මෘදුකාංග සහ GNU ව්‍යාපෘතිය ගැන දේශණ පැවැත්වීම රිචඩ් ගේ ජීවිතයේ කොටසක්. මේ විදියට එතුමා 2006 දි ඉන්දියාවට ආව වෙලාවක කරපු සාකච්ඡා සහ දේශණ වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ උසස් පාසල් 12,500 ක් පමණ Microsoft වානිජ මෘදුකාංග වලින් මිදිලා නොමිලේ දෙන මෘදුකාංග වෙත මාරු වෙලා තියෙනවා.

නිදහස් ලොවක් වෙනුවෙන් නිදහස් මෘදුකාංග වෙනුවෙන් කැපවෙන මෙතුමා තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. රිචඩ් ස්ටෝල්මන් ගැන බොහෝ විස්තර එතුමාගේ වෙබ් අඩවියෙන් (https://stallman.org) ලබාගන්න පුළුවන්.

මේ ලිපිය ලියන්න හේතු වුණේ, හැමෝම Linux ගැන කතා කරත් GNU කියන්නෙ මොකක්ද සහ රිචඩ් ස්ටෝල්මන් කියන්නෙ කවුද කියන එක ගැන කතා නොකිරීමයි. මම හිතන්නෙ, මගේ උත්සහය ටිකක් සාර්ථකයි වගේ, හැබැයි මේ වගේ දීර්ඝ ලිපියක් කියවන පිරිස නම් බොහොම අඩු වෙන්න පුළුවන්. එහෙනම්, නැවත මුණ ගැසෙමු. නිදහස් මෘදුකාංග අගයමු, භාවිතා කරමු!