HAL තේජාස් යනු ඉන්දියාවේ නවතම ප්‍රහාරක ජෙට් යානය වන අතර එය දශක ගණනාවක පර්යේෂණ හා සංවර්ධනයන්ගෙන් අවසන් වූ දේශීය නිර්මාණ ප්රයත්නයක් නිසා බිහිවූවකි. 1980 දශකයේ දී ක්‍රියාත්මක කරන ලද සැහැල්ලු සටන් ගුවන් යානා (Light Combat Aircraft) වැඩසටහනෙන් ආරම්භ වූ HAL තේජාස් උපත ලැබුවේ ඉන්දියාව තුල බිහිවූ ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් වන අතර කල් ඉකුත්වෙමින් පවතින ගුවන් යානා භාවිතයෙන් ඉවත්කිරීමට ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙසය.

මේ අතර තේජාස් යනු ඉන්දියාවේ එච්.ඒ.එල් (හින්දුස්ථාන් ගුවන්යානා සමාගම) විසින් සුපර්සොනික් හැකියාවන් ඇති ජෙට් යානා අතරින් දෙවැනියට නිෂ්පාදනය කරන ලද ගුවන් යානය වන අතර මීට පෙර 1960 දශකයේ එච්.ඒ.එල්. මරුට් නම් ගුවන් යානය ඉන්දියාව තුලම නිෂ්පාදනය වුනි.

2025 ජනවාරි වන විට තේජාස් ගුවන් යානා 200 ක් පමණ නිෂ්පාදනය කිරීමට එච්.ඒ.එල් සමාගම කටයුතු කොට ඇති අතර, තනි ආසන ගුවන් යානා 200 ක් සහ ආසන දෙකක පුහුණු ගුවන්යානා 20 ක් සඳහා සැලසුම් කර ඇත. ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවක් සමඟ ඉන්දීය ගුවන් හමුදාව මේ ජෙට් යානා මෙහෙයුම් සේවයට නිල වශයෙන් පිළිගෙන ඇති අතර සිය වයස්ගත වූ Sea Harriers භාවිතයෙන් ඉවත්කිරීමට තේජාස් ගුවන්යානා 40 ක ඇණවුමක් පිළිබදව ඉන්දීය නාවික හමුදාව මේ වන විට සලකා බලමින් පවතිනවා.
1969 දී හින්දුස්ථාන් ගුවන් යානා සමාගම නොහොත් HAL සමාගම නව බහුකාර්ය ප්‍රහාරක (Multirole Fighter) ගුවන් යානාවක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු බලධාරීන් විසින් තෝරා ගන්නා ලද අතර, ආරම්භක උත්සාහය බිඳවැටීමෙන් පසුව, පෙර කී පරිදි LCA වැඩසටහන 1983 දී ආරම්භ කරන ලද්දේ මිග්-21 වෙනුවට ඉන්දියාවේ ගුවන් කර්මාන්තයේ දියුණුව උදෙසා ඉන්දියාව තුලම නිපදවන ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට අත්පොත් තැබීමෙනි.
මිග්-21 දශක ගණනාවක් තිස්සේ ගුවන් හමුදාවේ කොඳු නාරටිය ලෙස සේවය කර ඇති අතර එයින් තවත් ප්‍රයෝජන ලබා ගත හැකි නමුත් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල මිලිටරි තාක්ෂණයේ දියුණුව සලකා බැලීමේදී මිග්-21 යානාවල දිගුකාලීන ප්‍රයෝජනය ගැන ඉන්දීය ගුවන් හමුදාවට සැක සහිත විය. කිමද ඉන්දියාව දිගු කලක් සිය ගුවන් යානා සඳහා බාහිර රටවල් මත විශ්වාසය තබා තිබුණි, ගුවන් යානා සහ අංගෝපාංග සදහා විශේෂයෙන්ම සෝවියට් / රුසියානු සමාගම් වන මිකොයාන් සහ සුඛෝයි යන සමාගම් කෙරෙහි විශ්වාසය තබා තිබුනි.
LCA වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා 1984 දී ඉන්දීය ගුවන්යානා සංවර්ධන ඒජන්සිය (ADA) ආරම්භ කරන ලදී. ADA මගින් නිෂ්පාදන, අධ්‍යයන හා ආරක්ෂක ආයතන 100 කට අධික පුළුල් මිශ්‍රණයකින් සමන්විත වූ අතර වර්ධනය වන ඉන්දියානු යටිතල ව්‍යුහයේ ශක්තිමත් හැකියාවන් ඔවුන් නියෝජනය කළේය.
එවිටත් HAL ප්‍රාථමික කොන්ත්‍රාත්කරුවෙක් ලෙස රඳවාගෙන සිටි අතර නව ප්‍රහාරක යානය සංවර්ධනය කිරීම හා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වගකීමක් ලැබ සිටියේය. මේ අතර, නව ගුවන් යානා, පියාසැරි පාලක සහ විවිධ ගුවන් යානා කළමනාකරණ පද්ධති සංවර්ධනය කිරීම සඳහා ADA ඉතා වැදගත් විය.
නව ගුවන් යානය බල ගැන්වීම සඳහා එන්ජිම නිපදවීමට බැංගලෝරයේ GTRE (ගෑස් ටර්බයින් පර්යේෂණ ආයතනය) අනුයුක්ත කරන ලද අතර, ඔවුන් GTX-35VS “කාවේරි” එන්ජිම නිෂ්පාදනය කිරීම සදහා ඉන්දියාව තුලම වැඩ ආරම්භ කළහ. ඒ පළමු ගුවන් ගමන 1990 අප්‍රේල් මාසයේදී සහ මෙහෙයුම් සේවාව 1995 දී ආරම්භ කිරීමටය.

කාලයාගේ ඇවෑමෙන් විවිධාකාරයේබාධකයන් මැද LCA වැඩසටහන පිළිබද සැලැස්ම 1998 සැප්තැම්බර් දක්වා කල් ගතවී අවසන් කරන ලද අතර එය සමාලෝචනය කිරීම සඳහා ප්‍රංශ ගුවන්යානා සමාගමක් වන ඩසෝල්ට් කැඳවනු ලැබීය. ඔවුනගේද උපදෙස් අනුව මෙම සැලැස්ම 1990 දී නිල වශයෙන් අවසන් කරන ලද අතර ඉන්දියානු සම්භවයක් ඇති නව බහුකාර්ය ප්‍රහාරක යානයක් ඒ වනවිට සැලැසුම් කර අවසන් විය.
පළමු අදියර වශයෙන් මූලික මූලාකෘති මෙන්ම නිෂ්පාදන-ගුණාත්මකයන් සංවර්ධනය කරන ලද අතර දෙවන අදියරේදී තාක්ෂණික නිරූපණ ශිල්පීන් ඇතුළත් වන ලෙස අදියර දෙකකින් මෙම ගුවන් යානාව නිෂ්පාදනය වූවා කීවොත් මා නිවරැදිය. මෙලෙස විවිධ ශ්‍රම සම්පත් දායකයින්ගෙන් අභාසය ලැබූ තේජාස් ගුවන් යානාව සිය පළමු ගුවන් ගමන 2001 ජනවාරි 4 වන දින අවසන් කරන ලදී. 2003 සිට 2009 දක්වා නිෂ්පාදන සදහා විවිධාකාරයේ මූලාකෘති අනුගමනය කරන ලද අතර, "තේජාස්" යන නම නව සැලසුමට සපයන ලද්දේ එවකට වැඩ බලන අගමැති අටල් බිහාරි වජ්පායි ය.
මේ වන විට, එච් ඒ එල් සමාගම මගින් ගුවන් යානා 34 ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර මේ වැඩසටහන තවමත් දිනෙන් දින යාවත්කාලීන වෙමින් පවතී. තවද පළමු නිෂ්පාදනයෙන් වසර 10 ක කාලයක් තුළ ගුවන් ගමන් 1,508 ක් සාර්ථක කරගැනීමට එච් ඒ එල් සමාගමට හැකියාවක් ලැබී ඇත. බාහිර වශයෙන්, තේජාස් වඩාත් සාම්ප්‍රදායික හැඩයක් ඇති ගුවන්යානාවන් වලින් වෙනස් වන අතර තිරස් වලිග ගුවන් යානා වල අවශ්‍යතාවය නොසලකා හරිමින් සංයුක්ත ඩෙල්ටා පියාපත් සැලැස්මක් භාවිතා කිරීම තේජාස් සැලසුමෙහි අපහට දැකගත හැක. (“ Tail less Delta ”).

ගුවන් යානයේ විශාල පියාපත් සහිත ප්‍රදේශය ඉන්ධන සඳහා අතිරේක අභ්‍යන්තර පරිමාවක් එක් කරන අතර ආයුධ සදහාද මෙයින් වැඩි ඉඩක් පවතී. ඩෙල්ටා සැළැස්මේ ප්‍රධාන අවාසිය නම් විශාල පියාපත් වල පෘෂ්ඨිය වර්ගඵලය වැඩි කිරීම නිසා සහ අධිවේගී හැරීම් වලදී ගුවන් යානාව පාලනයට අපහසු තත්වයක් දරයි.
යානාවේ Fuselageය සිලින්ඩරාකාර ස්වභාවයකින් යුක්ත වන අතර, ඉදිරි කෙළවරේ නාසයේ කේතුවක් හැඩයට ආවරණය කර ඇති රේඩාර් පද්ධතීන් ඇත. මෙම පරපුරේ අනෙක් යානා හා සසදන කල තේජාස් හි නියමු කුටිය මඳක් පිටුපසින් ඇති අතර එය කොටස් දෙකකින් (Training 2, Combat 1) සමන්විතයි.
ගුවන් යානා පාලක කුටිය සැහැල්ලු රාමු වලින් සහ වීදුරුවලින් ආවරණය වී ඇත, එමගින් ගුවන් නියමුවාට ඉදිරි, ඉහළ සහ පැති දර්ශන ඉතා පහසුවෙන් දැකගත හැකිය. නමුත් ගුවන් නියමුවන්ගේ අත්දැකීම් වලට අනුව පසුපස දර්ශනය නම් මෙම යානාවේ ඉතාමත් අඩුය.

තවද, ගුවන් නියමුවාට එංගලන්තයේ මාටින්-බේකර් සමාගමේ නිෂ්පාදිත “සීරෝ-සීරෝ”, නියමු ආසනයක් ඇත.

අනෙකුත් 4 / 4.5 පරම්පරාවේ යුධ ජෙට් යානා පරම්පරාව උරෙන් උර ගැටීමට තේජාස් එහි සැලසුමට ඇලුමිනියම්-ලිතියම් පාදක මිශ්‍ර ලෝහ මෙන්ම කාබන්-ෆයිබර් සහ ටයිටේනියම් මිශ්‍ර ලෝහ භාවිතා කරන අතර විවිධ රේඩාර් තරංග පරාවර්තනය කිරීමට හෝ අවම කිරීමට උපකාරී වන අවශෝෂක ද්‍රව්‍ය (RAM) අඩංගු කරයි.
තේජාස් ගුවන් යානා වල ප්‍රථමයෙන්ම TD-1 සහ TD-2 ලෙස ගුවන් යානා දෙකක් නිෂ්පාදනය කරන ලද අතර. TD-1 2001 ජනවාරි 4 වන දින සහ TD-2 යානාව 2002 ජූනි 6 වන දින එළිදක්වන ලදී.

පසුව නිර්මිත PV-2, PV-3, PV-4 සියල්ලම මූලාකෘතිය අනුගමනය කරන ලද අතර. පසුව නිකුත් වූ PV-5 යනු ප්‍රහාරක පුහුණුකරු ගුවන් යානාවයි. එහි කැපීපෙනන වෙනසක් වූවේ නියමු කුටියේ කොටස් දෙකක් සමගින් නිර්මිත ගුවන් නියමුවන් පුහුණු කරන ගුවන් යානාවක් වූ නිසාය.

පසුකාලීනව ඉන්දීය නාවික හමුදාවේ ඉල්ලීම් සලකා බලා NP-1 (2010 ජූලි) සහ NP-2 නිෂ්පාදනය කරන ලදී.

මීට පසුව LSP-1 2007 අප්‍රේල් 25 වන දින එළිදැක්වූ අතර 2008 දී LSP-2 හා LSP-3 GE-404-IN 20 එන්ජිම සමඟ එළිදැක්විණි.

LSP-4 2010 ජුනි 2 වන දින නිකුත් වූ අතර එය ඉන්දීය ගුවන් හමුදාවේ (IAF) ගුවන් යානා බලඝනයට ඇතුලත් කිරීම සදහා ප්‍රමිතිගත කිරීම සදහා නිර්මානය වුනි. IAF ඉල්ලා සිටි පරිදි තේජාස් යානාව පරිපූර්ණ වූ අතර, Hybrid MMR, IFF (මිතුරා හෝ සතුරා හඳුනාගැනීමේ) රේඩාර් පද්ධතියක් සමඟ පියාසර කළාය.
සියලුම සංවේදක පද්ධති 2010 නොවැම්බර් 19 වන දින පලමුවර පියාසැරිය සිදුකල LSP-5 හි ස්ථාපනය කර, ප්‍රහාරක කෝණ (AoA) පරීක්ෂා කිරීම සඳහා LSP-6 භාවිතා කරන ලදී. ඊට පසුව බිහිවූ LSP-7 සහ LSP-8 IAF වෙත ඇගයීම සඳහා ලබා නොදුනි.

මේ වන විට HAL විසින් තේජාස් මාර්ක් 2 නමින් මීලග පරම්පරාවේ ජෙට් යානාවක් දැනටමත් වඩා බලවත් එන්ජිමක් (GE F414) සමග සැලසුම් කර ඇත. මේ අතර දැනට භාවිතයේ පවතින සෑම තේජාස් ගුවන් යානයකටම වියදම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් වැය වේ.

තේජාස් ක්‍රියාත්මක වන්නේ එක් ටර්බෝෆෑන් එන්ජිමකින් වන අතර එමගින් 11,250lbf වියළි තෙරපුම් නිමැවුමක් සහ 19,000lbf Afterburner තෙරපුමක් සපයයි. තේජාස්හි උපරිම වේගය පැයට සැතපුම් 1,475 ක් වන අතර එයට අඩි 18,200ක උසක ශබ්දයේ වේගය මෙන් 1.8 ගුණයකින් පියාසර කිරීමට හැකියාවක් ඇත.
අභ්‍යන්තර ඉන්ධන ධාරිතාව ලීටර් 3,000 කට සීමා වන අතර බාහිර ඉන්ධන සංචිත මගින් ලීටර් 3,600 ක් එකතු කළ හැකිය. අභ්‍යන්තර ඉන්ධන මගින් ආවරණය කල හැකි පරාසයසැතපුම් 1,840 කි. පියාසර කල හැකි උපරිම උස අඩි 54,000 කට සීමා වේ. පියාසැරි පාලනය හසුරුවන්නේ ඩිජිටල් ෆ්ලයි-බයි-වයර් (FBW) පද්ධතියක් මගිනි.

ආයුධ සම්බන්ධයෙන් ගත් කල, තේජාස් සෝවියට් සම්භවයක් ඇති මිලිමීටර් 23 ද්විත්ව බැරල් GSH-23 සමගින් නිර්මාණය කර ඇත. තවද තේජාස් ඉන්දීය ගුවන් හමුදාවට ලබා ගත හැකි අවි ආයුධ රාශියකට සහය දක්වන අතර, ගුවනේ සිට ගුවනට මිසයිල, ගුවනේ සිට පොළවට පතිත කල හැකි මිසයිල, ලේසර් මගින් මඟ පෙන්වන මිසයිල සහ ජෙට් යානයකට සම්බන්ධ කල හැකි සාම්ප්‍රදායික මිසයිල වර්ගද ඇතුළත් වේ.
තේජාස් හි, බැංගලෝරයේ LRDE සහ HAL හයිද්‍රාබාද්හි සංවර්ධනය කරන ලද ස්පන්දන ඩොප්ලර් Hybrid MMR (බහු මාදිලියේ රේඩාර්) පද්ධතියක් ඇත. කලෙක වැඩසටහනේ ප්‍රමාදයන් නිසා මුල් මට්ටමේ නිෂ්පාදන ගුවන් යානා සදහා ඊශ්‍රායලය පදනම් කරගත් ELTA M-2032 පද්ධතියක් ඇතුළත් කිරීමට සිදු වූ අතර, කාලයාගේ ඇවැමෙන් ඉන්දියාවේ නිෂ්පාදිත හයිබ්‍රිඩ් එම්එම්ආර් පද්ධතිය සවිකරන ලදී. එමගින් එකවර ඉලක්ක 10 ක් නිරීක්ෂණය කිරීමට සහ එකවර බහුවිධ තර්ජනවලට මුහුණ දීමට හැකි වනු ඇත.
මුලින් සවිකල ELTA M-2032 උසස් ස්පන්දන ඩොප්ලර් කට්ටලය බහු ක්‍රියාකාරිත්වයට ඉඩ සලසන අතර මෙහෙයුමට ගැලපෙන පරිදි Air to Air සහ Air to Ground වශයෙන් මාරුවිය හැකිය. ELTA EL / M-2032 විවිධ ඇමරිකානු සහ සෝවියට් / රුසියානු ගුවන් යානා වලද ඇති අතර මැක්ඩොනල් ඩග්ලස් F4 Phantom II, Northrupp F5 ටයිගර්, General Dynamics F-16 ෆයිටිං ෆැල්කන්, Lockheed T 50 Golden Eagle සහ Mikoyon-මිග්-21 ඉන් ස්වල්පයකි.

තේජාස් නියමුවා හට වීදුරු ඩිජිටල් කොක්පිටය පිටුපස වාඩි වී බහු ක්‍රියාකාරී තිරයන් (MFD) සහ NVG (නයිට් විෂන් ගොගල්) මගින් යානය හැසිරවිය හැකි අතර, මෙහෙයුම් තොරතුරු පිළිබිඹු කිරීම සඳහා සම්මත HUD (හෙඩ්ස්-අප් ඩිස්ප්ලේ) ද ඇත.

වර්තමානය වනවිට තේජාස් ගුවන් යානා 35 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කොට අවසන් අතර, ඒ සියල්ලම සක්‍රිය සේවයේ නියුතු ගුවන් යානා වේ. නොබෝදිනකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය හේතුවෙන් පැවති ගුවන් සංදර්ශනයට මෙම තේජාස් යානාවක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ තේජාස් වර්ගයේ ගුවන් යානාවන් ලබා ගැනීමට කටයුතු කරන බව විදේශ මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. තවද HAL සමාගමෙහි ශාඛාවක්ද ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවක් ඇති බව එහි සදහන්.
