Loading...
Smart Power Negotiation තාක්ෂණය සමඟ එන USB-PD Chargers

අද වන විට වෙළඳපොළේ පවතින බොහෝ නවීන Smartphones, Tablets, සහ Laptops සඳහා Charging Port එක ලෙස USB-C ලබා දෙනවා. එමෙන්ම ඔබ භාවිතා කරන Chargersවල "USB-PD" යන සංකේතය සඳහන් කර තිබෙනු ඔබ සමහරවිට දැක ඇත. ඉතින් අද අපි බලමු මොකක්ද මේ USB-PD කියන්නේ කියලා.

මෙම තාක්ෂණය USB Power Delivery (USB-PD) ලෙස හඳුන්වනු ලබනවා. මෙය නවීන USB-C සම්බන්ධතා හරහා ඉතා ඉහළ Power එකක් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව උපාංග වෙත ලබා දීමට සැලසුම් කරන ලද Fast-Charging Standard වනවා.

USB-PD හි මූලික සංකල්පය

පැරණි USB-A සහ USB-B ප්‍රමිතීන් යටතේ Chargers විසින් නිකුත් කරන ලද්දේ ස්ථාවර 5-volt ධාරිතාවක් වන අතර, එහිදී ලබා දිය හැකි Wattage ප්‍රමාණය සාපේක්ෂව ඉතා අඩු විය. ඒ නිසා, විශේෂයෙන්ම ලැප්ටොප් පරිගණක වැනි දෑ ආරෝපණය කිරීම මේ Chargers ඔස්සේ සිදු කල නොහැකි වනවා. නමුත් USB-PD තාක්ෂණය මෙම සීමාව සම්පූර්ණයෙන්ම බිඳ දමන අතර එහි මූලිකම සහ සුවිශේෂීම ලක්ෂණය වන්නේ Smart Power Negotiation තාක්ෂණයයි.

මොකක්ද මේ Power Negotiation කියන්නේ ?

USB-PD පහසුකම ඇති Charger එක ඊට සම්බන්ධ කර ඇති Device එක සමඟ සන්නිවේදනය කරන අතර මෙහිදී,

  1. උපාංගය විසින් තමන්ට අවශ්‍ය වන නිශ්චිත Voltage අගය සහ Current ප්‍රමාණය Charger එකට දන්වනු ලබනවා.
  2. Charger එක එම ඉල්ලීමට අනුව, 5V සිට නවතම USB-PD 3.1 අනුවාදය යටතේ 48V දක්වා වූ පරාසයක Voltage සහ Current ප්‍රමාණය ගතිකව සකස් කර සපයනවා.
  3. මෙම ගතික වෙනස් කිරීම හේතුවෙන්, උපාංගයට හානි වීමකින් තොරව හෝ අධිකව රත් වීමකින් තොරව, Optimal Power Level තත්වයක් යටතේ ආරෝපණය වීමට හැකි වනවා.
Image Source - BenQ

මෙමගින් පැරණි තාක්ෂණයට වඩා බෙහෙවින් වැඩි Wattage ප්‍රමාණයක් ගෙන යාමට USB-PD තාක්ෂණයට හැකි වී තිබෙනවා.

USB-PD හි ධාරිතා සීමාවන් සහ එහි භාවිතය

USB Power Delivery හි ඇති ප්‍රධානතම වාසිය වන්නේ එහි පුළුල් Wattage හැකියාවයි.

  • සාම්ප්‍රදායික USB-PD ප්‍රමිතිය යටතේ, උපාංගවලට 100 Watts දක්වා ශක්තිය ලබා ගත හැකි විය.
  • නවතම USB-PD 3.1 ප්‍රමිතිය යටතේ, මෙම ධාරිතාව 240 Watts (වොට් 240) දක්වා ඉහළ නංවා ඇත.
Image Source - zonsanpower.com

මෙම ඉහළ ධාරිතාව හේතුවෙන්, USB-PD තාක්ෂණය අද වන විට බහුලව භාවිත වන්නේ:

  1. Laptops: MacBook Pro වැනි ඉහළ Performance සහිත Laptopsවලට USB-PD හරහා 100W දක්වා ලබාදී වේගයෙන් ආරෝපණය කල හැකියි.
  2. Tablets & Smartphones: Google Pixel වැනි ජංගම දුරකථන 18W හෝ 27W වැනි අඩු Wattage ප්‍රමාණවලින් ආරෝපණය වීමට අවශ්‍ය විට, Charger එක විසින් එම ප්‍රමාණයට අනුව Voltage සහ Current සකස් කරනු ලබයි.
  3. Larger Accessories: Monitors හෝ Docking Stations වැනි සාපේක්ෂව විශාල උපාංග සඳහා පවා අවශ්‍ය Power ප්‍රමාණය තනි USB-C කේබලයක් හරහා ලබා දීමට USB-PD සමත් වී තිබෙනවා.

USB-PD හි වැදගත්කම සහ පරිසර පද්ධතිය (Ecosystem)

අතීතයේදී, Laptop, Smartphone, Tablet, සහ වෙනත් Gadgets සඳහා විවිධ Proprietary Adapters සහ වෙනස් Cables ගණනාවක් භාවිතා කිරීමට සිදු වු අතර මෙමගින් පරිසරයට සහ පාරිභෝගිකයාට විශාල අපහසුතා ඇති වුවා. නමුත් USB Power Delivery හඳුන්වාදීම මඟින් තාක්ෂණික ලෝකයේ All-in-one USB-C ecosystem එකක් ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

USB-PD සහ USB-C ප්‍රමිතියේ ඒකාබද්ධතාවය හේතුවෙන්:

  1. Standardization: එක් පොදු USB-C Port එකක් හරහා Data, Video Output සහ Power යන සියල්ල හුවමාරු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
  2. Proprietary Adapters අවශ්‍යතාවය අඩු වීම: Laptop ඇතුළු විවිධ උපාංග එකම USB-PD Charger එකකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇතිවීම නිසා, විවිධ වූ Chargers සහ Cables රැගෙන යෑමේ අවශ්‍යතාවය අඩු වී තිබෙනවා.
  3. Efficiency: ආරෝපණයේදී උපාංගය සහ Charger එක අතර සිදුවන Smart Power Negotiation මඟින් අවශ්‍ය ශක්ති ප්‍රමාණය පමණක් ලබා දීම හේතුවෙන්, Overheating අවදානම සහ ශක්ති නාස්තිය අවම වනවා.
Image Source - BenQ

ඒ අනුව USB-PD යනු හුදෙක් වේගවත් ආරෝපණ ක්‍රමයක් පමණක් නොව, එය නවීන Portable Devices සඳහා පොදු, බලවත් සහ ආරක්ෂිත ආරෝපණ ප්‍රමිතියක් බවට පත් වී තිබෙනවා. ඔබ අද මිලදී ගන්නා ඕනෑම USB-C Charger එකක් USB-PD තාක්ෂණයට සහය දක්වන්නේද යන්න පරීක්ෂා කිරීම, ඔබේ උපාංගවල Fast Charging පහසුකම උපරිමයෙන් ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා.

Source: www.benq.com www.bgr.com