Loading...
Windows 11 introduction එකත් එක්ක වැඩියෙන් කතාබහට ලක්වෙන TPM කියන්නේ මොකක්ද?

Windows 11 ඉන්ස්ටෝල් කිරීම සඳහා TPM යන දෘඪාංග කොටස අවශ්‍ය බව Microsoft සමාගම පවසා ඇත. මේ TPM යනු කුමක්ද සහ එය අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද යන්න බොහෝ දෙනාට පසුගිය දිනවල දී ගැටළුවක් වන ලදි. මේ ලිපිය එම ගැටළු නිරාකරණය කිරීම සඳහා ය.

TPM යනු කුමක්ද?

ඉතාම සරලව පැහැදිලි කළහොත්, TPM යනු පරිගණක මව් පුවරුවට සවි කළ ගැකි කුඩා චිපයකි.

Encrypt කරන ලද දෘඪ තැටියක් සහිත පරිගණකයක් Power බොත්තම ඔබා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේදී මෙම චිපය මඟින් එම පරිගණකය පරීක්ෂා කර, එම පරිගණකයට අනන්‍ය වූ (unique) කේතයක් සපයනු ලබයි. මෙම කේතය Cryptographic Key යනුවෙන් හඳුන්වනු ලබයි.

A dedicated TPM chip

සියළු කාරණා සාමාන්‍ය පරිදි වේ නම් අදාළ දෘඪ තැටියේ Encryption එක Unlock වී පරිගණකය ක්‍රියාත්මක වීම ඇරඹේ. නමුත්, කිසියම් අයෙක් ඔබගේ පරිගණකය සොරාගෙන යම් ආකාරයක වෙනස් කමක් ඔබගේ දෘඪ තැටියට සිදු කර ඇත්නම්, එසේ සාමාන්‍ය පරිදි පරිගණකය ක්‍රියාත්මක වන්නේ නැත.

මෙම කාර්යය ට අමතරව, ThunderBird සහ Outlook වැනි Email client මෘදුකාංග විසින් TPM චිපය යොදාගෙන රහස්‍ය කේතයක් මඟින් ආරක්ෂා කළ Email පණිවුඩ හැසිරවීම සඳහා ද භාවිතා කරනු ලබයි. එමෙන්ම Google Chrome, Firefox ආදී වෙබ් බ්‍රවුසර ද වෙබ් අඩවි සඳහා භාවිතා වන SSL සහතික පවත්වාගැනීම සඳහා ද මෙම TPM චිපය ආධාර කරගනී. පරිගණක වලට අමතරව, Printer වැනි උපාංග වලද මෙම චිප පිහිටා ඇත.

මෙම දෘඪාංගමය TPM චිප වලට අමතරව, තවත් ආකාර දෙකක TPM පරිගණක උපාංග වල දක්නට ලැබේ.

ඉන් එක් වර්ගයක් CPU එක තුළ අන්තර්ගත කර ඇත. ඇතැම්විට එය දෘඪාංග කොටසක් ලෙසත්, ඇතැම්විට එය Firmware එකක් ලෙසත් දක්නට ලැබේ. මේ ආකාරය අප පෙර සාකච්ඡා කළ දෘඪාංගමය චිප ආකාරයේ TPM එකක් හා සමාන ආරක්ෂාවක් ලබාදේ.

අනෙක් ආකාරය නම් අතථ්‍ය හෙවත් Virtual ආකාරයේ TPM ය. මෙම TPM පූර්ණ වශයෙන් මෘදුකාංග වලින් සමන්විත වන අතර ආරක්ෂාව අතින් අවම වේ.

Windows සහ TPM අතර සබඳතාව

Windows 10 මෙන්ම Windows 7 ද මෙම TPM සඳහා සහයෝගය දක්වනු ලබයි. Windows මෙහෙයුම් පද්ධති වල භාවිතා වන Windows Hello නම් face-recognition (මුහුණ පෙන්වා පරිගණකය අගුළු හරින තාක්ෂණය) සඳහා මෙම TPM එක යොදාගනී.

පරිගණක සඳහා ආරක්ෂාව ලබා ගැනීමට භාවිතා වන පැරණි ක්‍රමවේද වලට වඩා මෙම ක්‍රමය වේගවත් හා පහසු ය. 2016න් පසු නිකුත් වූ වින්ඩෝස් සංස්කරණ සඳහා මෙම TPM තාක්ෂණය භාවිතා වූ අතර Microsoft සමාගමේ නව මෙහෙයුම් පද්ධතිය වන Windows 11 සඳහා මෙම TPM තාක්ෂණය අනිවාර්යය අංගයක් ලෙස ඔවුන් දක්වා සිටී.

මේ දිනවල ඔබට ලබාගත හැකි Windows 11 compatibility tool එක මඟින් ඔබගේ පරිගණකයේ Windows 11 ස්ථාපනය කළ හැකිද යන්න පරීක්ෂා කරන විට මෙම TPM සේවාව ක්‍රියාත්මක වේ දැයි පරීක්ෂා කරන අතර එය ක්‍රියාත්මක නොවේ නම් ඔබහට Windows 11 ස්ථාපනය කළ නොහැකි බව දැණුම් දෙනු ඇත.

මෙම TPM සේවාවන් සඳහා සංස්කරණ දෙකක් ඇති අතර පැරණි සංස්කරණය වන්නේ TPM 1.2 යන්නයි. නව සංස්කරණය වන්නේ TPM 2.0 යන්නයි. Microsoft සමාගම මෙම සංස්කරණ දෙක සඳහාම Windows 11 ස්ථාපනයට ඉඩ ලබාදෙන නමුත් පැරණි සංස්කරණය භාවිතා නොකරන ලෙස Microsoft සමාගම අවවාද කරනු ලබයි.

කෙසේ වුවත් Windows 11 සඳහා TPM 2.0 යනු minimum requirement එකක් වීමත් සමඟම, TPM 2.0 chip වල වෙළඳපලේ සාමාන්‍ය මිල $24.90 සිට $99.90 දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ පරිගණකයේ TPM 2.0 තිබේ දැයි පරීක්ෂා කරන ආකාරය.

2016න් පසු නිකුත් වූ බොහෝ පරිගණක වල TPM 2.0 අන්තර්ගත වී ඇත. කෙසේ නමුත් ඔබට ඔබේ පරිගණකයේ මෙම පහසුකම තිබේ දැයි මේ ආකාරයෙන් පරීක්ෂා කළ හැක.

Windows ලකුණ සහ R අකුර එකවර එබීමෙන් Run dialog box එක ලබාගන්න. එහි tpm.msc ලෙස ටයිප් කර Enter යතුර ඔබන්න.

එවිට රූපයේ ආකාරයේ Window එකක් විවෘත වේ නම්, එයින් කියැවෙන්නේ ඔබේ පරිගණකයේ TPM සේවාව ක්‍රියාත්මක බවයි. නමුත් ඔබට Error පණිවුඩයක් දිස්වේ නම් ඔබේ පරිගණකයේ TPM සේවාව ක්‍රියාත්මක නොවේ.

TPM සේවාව Linux සමඟ භාවිතා කළ හැකිද?

ඇතැම් පරිගණක පරිශීලකයන් මෙම TPM සේවාව යම් යම් හේතු කාරණා නිසා Bios සැකසුම් මඟින් ක්‍රියා විරහිත කර පැවතිය හැක. කිසියම් මෙහෙයුම් පද්ධතියක් හෝ මෘදුකාංගයක් TPM සේවාව සමඟ ක්‍රියාත්මක නොවන විට සමහර පරිශීලකයන් එම සේවාව ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන ඇත.

නමුත්, අනාගතයේ සහ වර්තමානයේ සියළුම මෘදුකාංග පාහේ මෙම TPM සේවා සඳහා සහාය දක්වනු ලබන අතර, Linux මෙහෙයුම් පද්ධතිය සඳහාද බොහෝ කලකට පෙර මෙම TPM සඳහා සහයෝගය ලබාදී ඇත. එමනිසා Windows සමඟ Linux භාවිතා කරන පරිශීලකයන්ට බොහෝ විට මෙමඟින් ගැටළු මතු නොවනු ඇති.


Apple සමාගමේ පරිගණක වල භාවිතා වන T2 නම් චිපයේ උපකාරයෙන් ඇඟිලි සලකුණු කියවීම සහ රූප සංඥා සැකසීම සිදු කරන්නාක් මෙන්, Windows සහිත පරිගණක වල මෙම TPM චිපය උපයෝගී කරගෙන විවිධ ආකාරයේ ආරක්ෂක යෙදුම් හඳුන්වාදීමට ඉදිරියේදී Microsoft සමාගම පියවර ගනු ඇත. එම යෙදුම් භාවිතා කිරීමට නම් ඔබේ පරිගණකයේ මෙම TPM උපාංගය පිහිටා තිබිය යුතු වේ. අනාගතයේ නිකුත් වන Windows සංස්කරණ සඳහා මෙම TPM උපාංගය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

Source - pcmag.com