මොකක්ද මේ NFC කියන්නේ? මොකක්ද මේකෙන් වෙන්නේ?

· 1 min read
මොකක්ද මේ NFC කියන්නේ? මොකක්ද මේකෙන් වෙන්නේ?

අද අපි කතා කරන්න යන්නේ NFC ගැන. සමහරු මේ ගැන අහලත් ඇති නැතුවත් ඇති. ඉතින් NFC මේ වෙනකොටත් ඔයාගේ අතේ, සාක්කුවේ නැත්නම් පර්ස් එකේ උනත් තියෙන්න පුලුවන්. NFC කියන්නේ මොකක්ද, වැඩකරන්නේ කොහොමද සහ NFC වලින් මොනාද කරන්න පුලුවන් කියන එක ගැන අද අපි කතා කරමු.

මොකක්ද මේ NFC ?

සරලවම කිව්වොත් NFC (Near Field Communication) කියන්නේ රැහැන් රහිතව දත්ත හුවමාරු කරන තවත් එක ක්‍රමයක්. මෙහිදී රේඩියෝ තරංග මගින් තමයි මේ දත්ත හුවමාරු වීම සිදුවෙන්නේ. ඉතින් මේ NFC තාක්ෂණය ලෝකයේ විශාල වශයෙන් භාවිතා වූවත් ලංකාවෙ නම් භාවිතා වෙනවා ඉතාම අඩුයි.

NFC වල ඉතිහාසය

NFC කියන්නේ RFID වල ලොකු අයියා, ඒ කියන්නෙ මේ NFC පදනම් වෙලා තියෙනේ 1983 සොයාගත් RFID තාක්ෂණය මත. මේ NFC වල ඉතිහාස කතාව පටන් ගන්නේ 2002 වර්ෂයේ ඉදන්. Philips හා Sony සමාගම් එකතුවෙලා 2002 දී NFC වලට පේටන්ට් බලපත්‍රය ලබාගන්නවා. ඉන්පසු 2003 දී ISO සහ IEC සම්මතයන් සදහා අනුමතය ලබාගන්නවා. ඉන්පසු 2004 දී මේ වැඩේට Nokia සමාගමත් එකතු වෙනවා. අවසානයේදී Nokia සමාගම මේ වර්ෂයේදීම NFC Shell එකක් අඩංගු පළමු දුරකතනය ලෙස Nokia 5140 දුරකතනය වෙළෙඳපොළට නිකුත් කරනවා. එතැන් පටන් මේ වන තෙක්ම ලෝකයේ විවිධ සමාගම් තම විවිධ උපකරණ සදහා මේ NFC තාක්ෂණය භාවිතයට ගනු ලබනවා.

NFC වැඩකරන්නේ කොහොමද?

මේ NFC සදහා භාවිතා වන්නේ රේඩියෝ තරංග කියලා මම කලින් කිව්වා ඔයාලට මතක ඇති. මෙතනදී මේ වැඩේ සිදුවෙන්නේ විද්‍යුත් චුම්භක පේරණ මූලධර්මය හරහා. මේ විද්‍යුත් චුම්භක පේරණයේදී වෙන්නේ චුම්භක ක්ෂේත්‍රයක් භාවිතයෙන් විද්‍යුත් ධාරාවක් ඇතිකරන එක. මේ කතාව සමහර විට ඔයාට තේරෙන්න නැතුව ඇති. එහෙනම් ඒක එහෙම්මම අතඇරල දාන්න.

NFC වල දත්ත හුවමාරු සඛ්‍යාතය 13.56 MHz වෙනවා වගේම, මෙහිදී 106-424 Kbps වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලැබෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි NFC වලදී දත්ත හුවමාරු කරගන්න පුලුවන්කම ලැබෙන්නේ 4cm දක්වා දුරකට පමණක් වීම. ඔව් ඔයා හිතනවා හරි මේ කියන විදියට Bluetooth මීට වඩා හොදයිනේ. හැබැයි මේ NFC වල හා  Bluetooth වල භාවිතයන් හාත්පසින්ම වෙනස්. ඒ නිසා මේ දෙකෙන් මොකක්ද හොද කියන එක තෝරලා කිසිම තේරුමක් නෑ.

NFC Device ප්‍රධාන කොටස් දෙක⁣කට බෙදා දක්වන්න පුළුවන්. ඒ Active Device හා Pasive Device වශයෙන්. Active Deviceවලට ක්‍රියාකිරීමට විදුලිය අවශය වෙනවා වගේම මේවායින් රේඩියෝ තරංග නිකුත් කිරීම සිදුවෙනවා. Pasive Deviceවලට ක්‍රියා කිරීමට විදුලිය ලබා දීම අවශ්‍ය වෙන්නේ නෑ වගේම, මේවායින් රේඩියෝ තරංග නිකුත් කිරීම සිදුවෙන්නෙත් නැ. ඒ වගේම NFC Device දෙකක් Connect වීමට ගත වන්නේ තත්පර 0.1 කටත් වඩා අඩු කාලයක්. මේ NFC වලට ආකාර 4 කට ක්‍රියාකිරීමේ හැකියාව පවතිනවා.

  • Reader/writer Mode (NFC Tag එකක් තුල ඇති දත්ත කියවීමේදී)
  • Peer-to-Peer Mode (NFC සහිත දුරකතන 2ක් අතර files හුවමාරුවේදී)
  • Card Emulation Mode (NFC සහිත බැංකු කාඩ්පතක් මගින් ගෙවීම් සිදුකිරීමේදී)
  • Wireless Charging Mode

NFC මොනවටද පාවිච්චි කරන්නේ ?

මේ වන විට ලෝකයේ විවිධ වැඩ කටයුතු පහසු කරගැනීම සදහා NFC භාවිතා කරනවා. ඒ අතරින් මුදල් ගෙවීමේ කටයුතු සදහා NFC ප්‍රධාන වශයෙන් භාවිත වෙනවා. බැංකු කාඩ් පතේ NFC තිබෙනවා නම් කාඩ්පත Card reader එක මත එක වරක් Tap කිරීමෙන් පහසුවෙන් මුදල් ගෙවීම සිදුකල හැකියි. ඔබේ බැංකු කාඩ් පතෙත් NFC ඇත්නම් ' ))) ' මෙවැනි සලකුනක් බලාගන්න පුලුවන්.

NFC සහිත ජංගම දුරකතනයට ඔබගේ බැංකු කාඩ්පත සම්බන්ද කර ඒ මගින්ද ගෙවීම් සිදුකල හැකියි. මේ සදහා Google Pay වැනි සේවාවක් අවශ්‍ය වෙනවා. නමුත් මෙවැනි කිසිදු සේවාවක් තවමත් ලංකාවට සහය දක්වන්නේ නම් නැහැ. මීට අමතරව NFC Tags, NFC Door Lock වැනි NFC අඩංගු විශාල අයිතමයන් ප්‍රමාණයක් වෙළෙඳපොළෙහි දැකගන්න පුලුවන්.

ඉතින් මේ ලිපියෙන් ඔයාලට NFC ගැන සරල අදහසක් ගන්න පුලුවන් වෙන්න ඇති. එහෙනම් තවත් ලිපියකින් ආපහු හම්බවෙමු.

Source- wikipedia.org, androidauthority.com, nfc-forum.org