Loading...
Windows 11 සංස්කරණය ඔක්තෝම්බර් 5 වන දින නිකුත් කරන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කරයි

මීට මාස කිහිපයකට පෙර අප Microsoft සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 11 හඳුන්වාදීම සිදු කරනු ලැබුවා. එහිදී සඳහන් වූ ආකාරයට මෙම නව සංස්කරණය Windows 10 ධාවනය වන පරිගණක සඳහා නොමිලේ යාවත්කාලීන කර ගැනීමට ඉඩ සලස්වනු ලබන බවට නිවේදනය කරා. මීට අමතරව Windows 11 සඳහා සහය දක්වන දෘඩාංග වලින් සමන්විත වන පරිගණක වලට මෙය පෙර ස්ථපිත ආකාරයට ලබා දීමට ඔවුන් කටයුතු කරන බවද සඳහන් කරනු ලැබුවා.

මේ ආකාරයට නොමිලේ Windows 11 සංස්කරණය සඳහා යාවත්කලීන කර ගැනීමට අවශ්‍ය සංස්කරණය මෙම වසරේ ඔක්තෝම්බර් මස 5 වන දිනදී සිදු කරන බව Microsoft ආයතන විසින් සුළු මොහොතකට පෙර නිල වශයෙන් ඔවුන්ගේ blog අඩවිය හරහා දැනුම් දීම සිදු කරනු ලැබුවා. මේ ආකාරයට යාවත්කාලීන කිරීම අදාල පරිගණක සඳහා පිරිනැමීම සිදු කරනු ලබන්නේ කොටස් වශයෙන් වන අතර සියළු දෙනාටම එකවර මෙම සංස්කරණය සඳහා යාවත්කාලීන කර ගැනීමේ හැකියාව හිමිවන්නේ නෑ. ඒ සඳහා තමන්ගේ පරිගණකය සුදුසුකම් ලබන පරිගණකයක් වේ නම් සහ එයද මෑතකදි නිකුත් වූ පරිගණකයක් නම් මුළින්ම මෙම සංස්කරණය ලැබෙන බව ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉන් පසුව අනෙකුත් පරිගණක සඳහාද මෙම සංස්කරණය ක්‍රමයෙන් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබුනා.

වැඩි දුරටත් කරුණු පහදමින් Microsoft සමාගමේ අළෙවිකරණ සාමාන්‍යාධිකාරී වන Aaron Woodman විසින් ප්‍රකාශ කර තිබුනේ, මෙම ක්‍රියාවලිය 2022 මැද භාගය පමණ වන විට සිදු කර නිමා කිරීමට ඔවුන් විසින් සැලසුම් කරගෙන ඇති බවයි. එමෙන්ම Microsoft සමාගම විසින් Windows 10 මඟින් ඉගෙන ගත් දෑ හරහා Windows 11 අග්‍ර ගන්‍යයේ මෙහෙයුම් පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු තවදුරටහ් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට Windows 10 සංස්කරණය මත ධාවනය වන පරිගණක සඳහා ඔක්තෝම්බර් 5 වන දිනෙන් පසුව Windows 11 සංස්කරණයේ යාවත්කාලීන කිරීම ලැබී ඇතිදැයි Windows 10 settings හරහා පරික්ෂා කර බැලිය හැකි අතර ඔබගේ දැනට පවතින පරිගණකය සඳහා Windows 11 සංස්කරණය සහය දක්වන්නේද යන්න පරික්ෂා කර බලා ගැනීම සිදු කර ගත හැකිය. ඒ සඳහා Microsoft සමාගම විසින්ම හඳුන්වා දී ඇති PC Health Check නම් app එක මේ හරහා බාගත කරගන්න.

Windows 11 සංස්කරණය ඔක්තෝම්බර් 5 වන දින සිට පරිගණක සඳහා නිකුත් කිරීම සිදු කරන බව ප්‍රකාශ කරත් Microsoft සමාගම පවසන ආකාරයට ඔවුන් විසින් Windows 11 හඳුන්වා දීමේදී ප්‍රදර්ශනය කරන ලද සියළුම පහසුකම් මේ හරහා නොලැබෙනු ඇත. ඒ අනුව වැඩි පිරිසක් බලා සිටින Android app ධාවනය කිරීමේ පහසුකම ඔක්තෝම්බර් 5 වන දින නිකුත් කිරීමා සූදනම් වන මෙම යාවත්කාලීන කිරීම හරහා නොලැබෙන අතර ඉදිරි මාස කිහිපයක් තුලදී Insider previewහි සිටින පරිශීලකයන් හට මුලින්ම එම පහසුකම ලබා දීම සිදු කරනු ඇත. එමෙන්ම එම පහසුකම අත්විඳීමට බොහෝ දුරට 2022 වර්ෂය වන තුරු Windows 11 පරිශීලකයන්ට බලා සිටීමට සිදු වනු ඇත.

මීට අමතරව පසුගිය සතියේදී Microsoft සමාගම විසින් Windows 11 සඳහා සහය දක්වන අවම පද්ධති පහසුකම් ලැයිස්තුව එලි දැක්වූ අතර මීට පෙර ඔවුන් විසින් සඳහන් කල ආකාරයට Windows 11 ස්ථාපනය කිරීමට නොහැකි යැයි සඳහන් කල පද්ධති පහසුකම් සපුරාලන්නේ නැති පරිගණක සඳහාද Windows 11 සංස්කරණය ISO හරහා ස්ථාපනය කර ගැනීමට ඉඩ සලස්වන බව ප්‍රකාශ කර තිබුනා. නමුත් එම පරිගණක සඳහා Windows 11 සංස්කරණයේ ඉදිරි යාවත්කාලින කිරීම හිමි නොවන බවද එහි ඔවුන් සඳහන් කර තිබුනා. ඒ අනුව Widdows 11 සඳහා සහය දක්වන අවම පද්ධති පහසුකම් පහත පරිදි වේ.

  • 64-bit 1GHz processor with two or more cores
  • 4GB RAM
  • 64GB Storage
  • TPM 1.2 Chip

ඔබගේ පරිගණකය Windows 11 සඳහා සහය නොදැක්වූවද ඔබට කලබල වීමට කාරණාවක් නැත්තේ, Microsoft සමාගම විසින් Windows 10 සංස්කරණය සඳහා 2025 වර්ෂයේ ඔක්තෝම්බර් 14 වන දින තෙක් සහය දක්වනු ලබන බැවිනි. නුදුරු දිනකදීම Windows 10 පරිශීලකයන් සඳහා Windows 10 21H2 සංස්කරණය නිකුත් කිරීමට නියමිත අතර ඒ හරහා Windows Sybsystem foe Linux (WSL), Windows Hello සඳහා වැඩිදියුණු කල පහසුකම් සහ WPA3 H2E Wi-Fi security support එක ලබා දීමට නියමිතය.

Source: Microsoft Windows Blog