Loading...
Adobe Software සඳහා අභියෝග කරන නොමිලේ ලබා ගත හැකි ArtCraft Software එකතුව

Adobe Creative Cloud Software භාවිත කරන නිර්මාණකරුවන්ට Monthly හෝ Yearly Subscription ගාස්තු ගෙවීමට සිදුවන සිදු වන බව අප සැම දන්නා කරුණක් වන අතර Adobe හි ජනප්‍රිය Software හතකට විකල්ප ලෙස භාවිත කළ හැකි open source Software එකතුවක් හඳුන්වා දීමට ArtCraft ව්‍යාපෘතියේ Developer කෙනෙක් වන Brandon Thomas සමත්ව තිබෙනවා.

මෙම Softwareවල විශේෂත්වය වන්නේ Rust ක්‍රමලේඛන භාෂාව භාවිත කරමින් මුල සිටම Develop කර තිබීමත්, නොමිලේ ලබාගත හැකි වීමයි.

ඔවුන් විසින් ජනප්‍රිය Adobe Software 07ක් සඳහා විකල්ප Craft Software ලබා දී තිබෙනවා.

  1. PhotoCraft: Adobe Photoshop සඳහා විකල්පයක් ලෙස ඡායාරූප සංස්කරණයට
  2. VectorCraft: Adobe Illustrator සඳහා විකල්පයක් ලෙස vector graphics නිර්මාණයට
  3. FilmCraft: Adobe Premiere Pro සඳහා විකල්පයක් ලෙස වීඩියෝ සංස්කරණයට
  4. LightCraft: Adobe Lightroom සඳහා විකල්පයක් ලෙස ඡායාරූප කළමනාකරණයට සහ RAW ඡායාරූප සැකසීමට
  5. EffectCraft: Adobe After Effects සඳහා විකල්පයක් ලෙස motion graphics සහ visual effects නිර්මාණයට
  6. DesignCraft: Adobe InDesign සඳහා විකල්පයක් ලෙස පිටු සැලසුම් කිරීම සහ ප්‍රකාශන නිර්මාණයට
  7. PdfCraft: Adobe Acrobat Pro සඳහා විකල්පයක් ලෙස PDF ලේඛන කියවීම, සංස්කරණය සහ කළමනාකරණයට

මෙම ව්‍යාපෘතියේ Developer දක්වන පරිදි, මෙම Software Adobe සමාගමේ Proprietary Source Code භාවිත නොකර ස්වාධීනව සංවර්ධනය කර තිබෙන අතර Rust භාෂාවෙන් ලියන ලද මෙම Softwareවල අරමුණ වන්නේ ජනප්‍රිය නිර්මාණ Software සඳහා විකල්ප ලබාදීම බවත් ඔහු දක්වා තිබෙනවා.

Adobe Software භාවිතයට හුරු පරිශීලකයන්ට පහසුවෙන් හුරු විය හැකි පරිදි Interface සැලසුම් කිරීම ද මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වී තිබෙන අතර, සෑම Software එකකම Interface එක සහ විශේෂාංග Adobe Softwareවලට සම්පූර්ණයෙන් සමාන බව හෝ ඒවායේ සියලු හැකියාවන් ඇතුළත් බව සඳහන් වන්නේ නැත.

මෙහි වැදගත් කරුණක් වන්නේ AI තාක්ෂණය භාවිත කරමින් මේ Software Develop කර තිබීමයි. වාර්තා අනුව, Brandon Thomas විසින් Anthropic සමාගමේ Claude AI මාදිලියේ සහාය Code Develop කිරීම සඳහා ලබාගෙන තිබෙනවා.

එමෙන්ම මේ ArtCraft Software එකතුවේ යෙදුම් Windows, macOS සහ Linux පද්ධති සඳහා සංවර්ධනය කර තිබෙන අතර ඇතැම් යෙදුම් WebAssembly තාක්ෂණය හරහා Web Browser එකක් ඔස්සේ වුවද ද භාවිත කළ හැකියි. කෙසේ වෙතත්, මෙම පහසුකම සියලු යෙදුම් සඳහා එකසේ ලබාගත නොහැකියි.

මෙම මෘදුකාංග නොමිලේ ලබාගත හැකි Open source ව්‍යාපෘති වන අතර, ඒවායේ source code GitHub හරහා පරීක්ෂා කිරීමටත් සංවර්ධනයට දායක වීමටත් අවස්ථාව තිබෙනවා.

Source: techradar.com tomshardware.com github.com/storytold