Loading...
iOS මෙන් විසිගුණයක පරිශීලක දත්ත Android මඟින් එකතු කරන බව නවතම අධ්‍යයනයකින් හෙලි වේ

වර්තමානය වෙද්දි මගේ, ඔයාගෙ, අපි හැමෝගෙම රහස්‍යතාවය එහෙමත් නැත්නම් Privacy කියන්නෙ ගොඩක් කතාබහට ලක් වෙන මාතෘකාවක්. ඒ මොකද කියල කියන්න අවශ්‍ය නැහනෙ නේද. ඉතින් මේ වෙද්දි අපි අතරින් සමහරු iPhone භාවිත කරනව. සමහරු Android Phones භාවිත කරනව. ඉතින් Android හා Google යන සමාගම් එයාලගෙ නිෂ්පාදනයන් වැඩි දියුණු කිරීමට සහ අපට තවත් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් මේ ජංගම දුරකථන භාවිත කරන අපි හැමෝගෙම තොරතුරු එහෙම නැත්නම් Data රැස් කරනව කියල ඔයා දැනටමත් දන්නව.

ඉතින් ඔයාට හිතුනෙ නැද්ද මේ Apple හා Google සමාගම් අපෙන් කොච්චර Data ලබාගන්නවද කියල? පසුගිය දිනකදි සිදු කරපු අධ්‍යනයකින් ඔප්පු වෙනව iOS මඟින් ධාවනය වන ජංගම දුරකථනයකට වඩා 20 ගුණයක් පමණ වැඩි වේගයකින් Android ජංගම දුරකථන, පරිශීලකයන්ගේ තොරතුරු රැස් කරන බව.

එ වගේම අයර්ලන්තයේ Trinity විද්‍යාලයේ පර්යේෂකයෙකු වන Douglas Leith මේ iOS හා Android ජංගම දුරකථන තම සමාගම් වලට පරිශීලක තොරතුරු කොපමණ යවනවද කියන එක හරියටම දැනගන්න  පරීක්ෂණයක් සිදු කරනව. ඉතින් මේ පරීක්ෂණයට Douglas යොදාගන්නෙ Google Pixel 2 (Android 10) හා iPhone 8 (iOS 13.6.1 Jail Broken) දුරකථනයක්. මේ ජංගම දුරකථන දෙකම විවිධ ආකාරයෙන් පරික්ෂා කරන Douglas Leith ට සොයාගන්න පුලුවන් වෙනව දුරකථන දෙකම ආරම්භයේ සිටම එකදිගට පරිශීලක තොරතුරු මව් සමාගම් වලට ලබා දුන්නත් iOS වලට වඩා Android, පරිශීලක තොරතුරු වැඩි වශයෙන් ලබාදෙන බව.

Douglas Leith ට අනුව මෙම ජංගම දුරකථන දෙකම ක්‍රියාත්මක කළ පසු එසැනින්ම දත්ත රැස් කිරීම ආරම්භ කරයි.  එමෙන්ම ජංගම දුරකථනය භාවිතා කරන්නා දුරකථනය භාවිතා නොකර  සිම් කාඩ්පතක් ඇතුළු කිරීම හෝ දුරකථනයෙහි Settings පරික්ෂා කිරීම වැනි සරල ක්‍රියාවක් සිදු කළ විට පවා තොරතුරු එකතු කිරීම සිදු වේ.  එපමණක් නොව Douglas Leith පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් සහ iOS දුරකථනයන් දෙකම අක්‍රියව තිබියදී පවා සෑම විනාඩි 4.5 කට වරක්ම ඔවුන්ගේ Back-End Servers හා සම්බන්ධ වන බවයි.

එමෙන්ම තම සමාගම් සඳහා තොරතුරු ලබාදෙන්නේ මෙවැනි මෙහෙයුම් පද්ධති පමණක්ම නොවේ.. මේ වන විට System Apps සහ ජංගම දුරකථනයේ පෙර සිටම ස්ථාපනය කර ඇති Apps පවා ඉහත ආකාරයට තම සමාගම් සඳහා පරිශීලක තොරතුරු ලබාදෙයි.. මෙම පර්යේෂකයාට අනුව iOS හි Safari, Siri සහ iCloud වැනි Apps හරහා ස්වයංක්‍රීයවම Apple සමාගම වෙත තොරතුරු ලබාදෙයි. Android හිදී  Google Docs, Google Messenger, ඔරලෝසුව, SafetyHub සහ Google Search Bar වැනි Apps හරහා Google සමාගම වෙත තොරතුරු ලබාදෙයි.

Douglas Leith විසින් මෙම පරීක්ෂණය විවිධ අවස්ථාවන් වලදී පවත්වා ඇති අතර ඉන් ජංගම දුරකථන ආරම්භක පරීක්ෂණයකදී මොහු සොයාගෙන ඇත්තේ Android හරහා 1MB පමණ තොරතුරු Google වෙත යවා ඇති බවයි. එමෙන්ම  iOS හරහා ආරම්භක අවස්ථාවේ දී Apple වෙත යවා ඇත්තේ 53KB ක තොරතුරු  ප්‍රමාණයක් පමණි. එමෙන්ම සෑම පැය 12 කට වතාවක් Android හරහා 1MB ප්‍රමාණයක තොරතුරු Google සමාගම වෙත ලබාදෙන බව මොහු සොයාගෙන ඇත. නමුත් එම කාලය තුළදීම iOS හරහා Apple සමාගම වෙත ලබාදෙන්නේ 52KB ක තොරතුරු ප්‍රමාණයක් පමණි.

මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා Douglas Leith වැරදි ක්‍රම භාවිතා කළ බව පවසමින් Google සමාගම විසින් මෙම පර්යේෂකයාගේ සොයා ගැනීම් ප්‍රතික්ෂේප කර තිබේ.  තොරතුරු එක්රැස් කිරීම ඕනෑම අන්තර්ජාල සම්බන්ධිත උපාංගයක මූලික කාර්යයක් බව සමාගම තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Douglas Leith ප්‍රකාෂ කර සිටින්නේ මේ ආකාරයට එකතු කරගන්නා තොරතුරු අදාළ පුද්ගලයන්ගේ නම්, ඊමේල් ලිපිනයන්, ගෙවීම් කාඩ්පත් මෙන්ම ඔවුන් සතුව ඇති වෙනත් උපාංගයන් සමග සම්බන්ධ බැවින් මේවා පරිශීලකයින් සඳහා බලපාන බවයි. එමෙන්ම දුරකථනය සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පැවතීම හරහා IP ලිපිනයන් සොයාගත හැකිය. එබැවින් මේ හරහා අදාළ පරිශීලකයින්ගේ භූගෝලීය පිහිටීම් පවා නිවැරදිව දැන ගැනීමට හැකියාව ඇති බව Douglas Leith පවසයි.

ඉතින් ඔයා දැන් ඉන්න තැන ඉඳන් අඩි කිහිපයක් ඉදිරියට ගියත් අදාළ බලධාරීන් ඒ ගැන දැනුවත්!! ඔයා ගැන ඔයාටත් වඩා දන්න අය ඉන්නව.

Source: ArsTechnica