Loading...
Gamersලාට නරක පුවතක්; Samsung සමාගම SSD නිෂ්පාදනය නැවැත්වීමට සැරසේ !?

පරිගණක දෘඪාංග වෙළඳපොළේ මිල ගණන් ඉහළ යෑම හමුවේ පීඩාවට පත්ව සිටින පරිගණක ක්‍රීඩකයින් සහ තාක්ෂණික ලෝලීන්ට තවත් අහිතකර පුවතක් වාර්තා වනවා. ඒ ලොව ප්‍රමුඛතම දත්ත ගබඩා කිරීමේ උපාංග නිෂ්පාදකයා වන Samsung, සිය SATA SSD (Solid State Drive) නිෂ්පාදනය නතර කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා හේතුවෙනි.

ප්‍රකට තාක්ෂණික තොරතුරු හෙළිදරව් කරන්නෙකු වන Moore's Law is Dead විසින් ප්‍රකාශ කර ඇති පරිදි, Samsung සමාගම 2026 වසරේ සිට සිය SATA III SSD නිෂ්පාදන පෙළ සම්පූර්ණයෙන්ම නතර කිරීමේ නිල නිවේදනයක් CES 2026 ප්‍රදර්ශනය අතරතුරදී සිදු කිරීමට ඉඩ තිබෙනවා.

මෙම තීරණය පිටුපස ඇති ප්‍රධානතම හේතුව ලෙස සැලකෙන්නේ ලොව පුරා පවතින AI දත්ත මධ්‍යස්ථාන සඳහා වන අධික ඉල්ලුමයි. ඒ හේතුවෙන් Samsung සමාගම සිය NAND Flash Storages සැපයීමේදී, ලාභාංශ අඩු සාමාන්‍ය පාරිභෝගික වෙළඳපොළ වෙනුවට, ඉහළ ලාභයක් ලැබෙන AI සහ Enterprise වෙළඳපොළ වෙත ප්‍රමුඛතාව ලබා දීමට තීරණය කර ඇති බව පෙනෙනවා.

මේ වන විටත් AI යටිතල පහසුකම් සඳහා අවශ්‍ය වන Memory Devices (RAM) හේතුවෙන් සමස්ත සැපයුම් දාමයේම NAND Flash හිඟයක් ඇති වී තිබෙන අතර මෙය සාමාන්‍ය PC භාවිතා කරන්නන් සඳහා වන SSD නිෂ්පාදනවලටත් සෘජුවම බලපා තිබෙනවා.

Samsung වැනි දැවැන්තයෙකු වෙළඳපොළෙන් ඉවත් වීම නිසා සැපයුම සීමා වන අතර, එමඟින් SATA SSD පමණක් නොව, වේගවත් NVMe SSD වල මිල ගණන් ද ඉදිරි මාස 12-18 ඇතුළත ඉහළ යා හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. එමෙන්ම මීට පෙර Micron සමාගම ද සිය Crucial පාරිභෝගික RAM නිෂ්පාදනය නතර කර AI ක්ෂේත්‍රය වෙත යොමු වීමට තීරණය කළ අතර මේ පියවර දෙකම එකතු වූ විට, පරිගණක දෘඪාංග මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සාමාන්‍ය ජනතාවට තවදුරටත් අපහසු වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.


කෙසේ වෙතත්, මෙම පුවත තාක්ෂණික ලෝකයේ දැඩි කතාබහට ලක්වීමත් සමඟ, Samsung ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ SATA හෝ වෙනත් SSD නිෂ්පාදනය නතර කිරීම පිළිබඳව පළවන වාර්තා අසත්‍ය බවයි. සමාගම පාරිභෝගික SSD වෙළඳපොළ කෙරෙහි තවදුරටත් කැපවී සිටින බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

නමුත් විචාරකයන් පවසන්නේ, නිල වශයෙන් නිෂ්පාදනය නතර නොකළද, AI ඉල්ලුම නිසා නිෂ්පාදන ධාරිතාව එම ක්ෂේත්‍රය වෙත යොමු කිරීම හරහා පාරිභෝගික වෙළඳපොළට ලැබෙන සැපයුම ස්වභාවිකවම අඩුවනු ඇති බවයි.

Source: beebom.com www.sammobile.com