ඔයාලා Android ෆෝන් Root කරන්න පුළුවන් කියලා අහලා ඇති. ඒ වගේම Phone එකක් Root කරන්න කලින් Bootloader එක Unlock කරන්න ඕන කියලත් අහලා ඇති. අහලා නැතුවත් ඇති. ඒ හැමෝටම දැනගන්න, අද අපි කතා කරමු Bootloader ගැන.

මුලින්ම කියන්න ඕන, Bootloader තියෙන්නෙ Android Phone වල විතරක් නොවෙයි. මෙහෙයුම් පද්ධතියක් සහිත ඕනම පරිගණකයක මේ Bootloader කියන දේ තියෙනවා. පරිගණක කියන කුලකය ඇතුළේ Smartphones, Tablets, Laptops, Desktops ආදී නොයෙක් මාදිලියේ උපාංග සියල්ලම ඇතුළත් වෙනවා.

පරිගණකයක Power බට්න් එක ඔබලා ඒක ක්‍රියාත්මක කළාම මුලින්ම Power On Self Test කියන ක්‍රියාවලිය සිදුවෙනවා. Power On Self Test එකෙන් කරන්නේ පරිගණකයේ දෘඪාංග හරියට වැඩ කරනවද කියලා පරීක්ෂා කිරීම. එයින් පස්සෙ, සොයාබලන දේ තමයි අදාළ පරිගණකයේ මොකක් හරි Bootable media එකක් තියේද කියන එක. CD එකක්? Bootable Pen එකක්? Bootable Hard disk එකක්? ඔය ආකාරයෙන් සොයමින් ගියාම, සාමාන්‍ය අවස්ථාවේදී නම් පරිඝණකයේ ද්විතීක මතකයේ (බොහෝ විට Hard Drive එකේ) ගබඩා කරලා තියෙන  MBR (Master Boot Record) එක හෝ GUID (Globally Unique Identifier) එක අහු වෙනවා. මේ MBR එක හෝ GUID දත්ත තියෙන්නේ Bootable Media එකේ පළමු බිට්ටු 512 තුළ ගබඩා වෙලා.

ඉහත කිව්ව MBR/GUID පාටිෂන් ටේබල් වල ගබඩා වෙලා තියෙනවා බොහොම වැදගත් තොරතුරු දෙකක්.

  1. Bootloader
  2. Partition Table

සැ:යු: - Android වල නම් ඇත්තටම bootloader එක ගබඩා වෙලා තියෙන්නේ /boot පාටිෂන් එකේ. ඒ පිළිබඳව වැඩි විස්තර පසුවට තබමු.

Bootloader එක යනුවෙන් හැඳින්වෙන්නේ බොහොම කුඩා ප්‍රෝග්‍රෑම් එකකට. මේකෙන් කරන්නේ ද්විතීයික මතකයේ තියෙන දත්ත අරගෙන ප්‍රධාන මතකයට (RAM එකට) මෙහෙයුම් පද්ධතිය load කරන එක.

අපි බලමු ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වල තියෙන Bootloader වලට උදාහරණ කීපයක්. වැඩි විස්තර සොයා බලන්න ආසයි නම් ඒ ගැන අන්තර්ජාලයේ සෙවුමක් දාන්න.

  1. GNU Grub
  2. Lilo
  3. BURG
  4. Syslinux

පරිගණකයේ තියෙන්නෙ Windows මෙහෙයුම් පද්ධතිය විතරක් නම්, ඔබට මේ Bootloader එක දකින්න ලැබෙන්නේ නැතිම ගාණයි. නමුත්, Linux මෙහෙයුම් පද්ධතියක් හෝ Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති එකකට වඩා වැඩියෙන් ඉන්ස්ටෝල් කර ඇති වෙලාවල අපිට පුළුවන් මේ Bootloader එකේ අතුරු මුහුණතක් බලාගන්න.  මෙහෙයුම් පද්ධති එකකට වඩා වැඩියෙන් ඇති අවස්ථාවලදී මේ Bootloader එක user ගෙන් විමසනවා මොන මෙහෙයුම් පද්ධතියද RAM එකට Load කරන්න අවශ්‍ය කියලා. ඉන් පසුව වෙන්නේ user විසින් තෝරලා දුන්න මෙහෙයුම් පද්ධතිය RAM එකට load වෙලා පරිගණකය අදාළ මෙහෙයුම් පද්ධතිය මගින් පණගැන්වීමයි.

Ubuntu, Linux පාදක මෙහෙයුම් පද්ධතියේ ඇති GNU GRUB නමැති Bootloader එකේ අතුරුමුහුණතක්

අපි මෙතෙක් වෙලා කතා කළේ පොදුවේ සෑම පරිගණකයකම පාහේ ඇති Bootloader එක ගැන නෙ, ඊළඟට අපි බලමු Android දුරකථනයක ඇති විශේෂ bootloader එක මොනවගේද කියලා. මේ පෝස්ට් එකේ ඉදිරියේදි ඔයාලට අවශ්‍ය වෙයි අපි කලින් දැම්ම මෙන්න මේ පෝස්ට් එකේ තියෙන විස්තරත්, ඒක තාම කියවලා නැත්නම්, ගිහින් ඒක කියවලා ආවොත් වඩා හොඳයි.

Android උපාංග වල ඇති Partitions
Android Development වලට ආස අයට මේ ලිපිය වැදගත් වේවි. ජංගම දුරකථන ඉතිහාසය වෙනස්ම මඟකට ගෙන ඒමට සමත් වුණ ”ස්මාට් ජංගම දුරකථන - Smartphone” කියන්නෙ කුඩා පරිගණක බව අපි හැමෝම දන්නා කරුණක්. සාමාන්‍ය පරිගණකයක තියෙන සියළු මූලික උපාංග ස්මාට් ෆෝන් එකක කුඩාවට ඇතුළත් වෙලා තියෙනවා. Android නමින් හඳුන්වන Linux …

Android දුරකථන වල අපිට පුළුවන්, මේ Bootloader එකේ අතුරුමුහුණතක් ලබාගන්න වගේම ඒ හරහා යම් යම් වැඩ කටයුතු කරගන්න. අපි බලමු මේ අතුරුමුහුණත එන්නේ මොන වගේ වෙලාවලද කියලා.

අපිට අවශ්‍ය නම් පුළුවන් ෆෝන් එකේ key combination එකක් ඔබලා bootloader අතුරුමුහුණත ලබාගන්න. මේ key combination එක දුරකථන මාදිලියෙන් මාදිලියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන්, phone එක off කරාට පස්සේ, power + volume up වගේ බොත්තම් දෙකක් එකවර ඔබාගෙන ඉඳීමෙන් පුළුවන් bootloader එකට boot කරගන්න. මේ Key combination එක හොයාගන්න ඕන නම් තමන්ගෙ phone model එකත් එක්ක අන්තර්ජාලයේ පොඩි සෙවුමක් දාන්න. හොයාගන්න හැකි වේවි.

Android ෆෝන් එකක, user විසින් manually, bootloader mode එකට boot නොකර, ස්වංක්‍රීයවම Bootloader mode එකට බූට් වෙන්නේ මෙන්න මේ පහත දැක්වෙන විදියේ දෙයක් වුණොත් තමයි.

Android දුරකථනයක් ඔන් වුණ ගමන් මේ Bootloader එක පරීක්ෂා කරනවා ෆෝන් එකේ මතකය, /boot පාටිෂන් එක විශේෂයෙන්.  bootloader එක පරීක්ෂා කරන වෙලාවේ kernel එක නැත්නම්, ඊළඟට ගිහින් /recovery partition එක බලනවා, (එතකොට /recovery එකේ දත්ත ටික තියෙනවා නම්, phone එක recovery mode එක බූට් වෙනවා, මේ recovery mode එක ගැනත් අපි ඉදිරියේදී කතා කරමු.) මොකක් හෝ හේතුවක් නිසා /recovery එකත් නැත්නම්, Bootloader එක /system පාටිෂන් එක පරීක්ෂා කරන්නෙ නැහැ, මොකද පරීක්ෂා කිරීමෙන් ඵලක් නෑ, මොකද /system පාටිෂන් එකේ තියෙන OS එක load කරන්න කලින් kernel එක දුවවන්න ඕන. ඒක කරන්න විදියක් නෑ, මොකද /boot පාටිෂන් එකේ දත්ත නැති නිසා. අන්න ඒ වෙලාවෙදි තමයි phone එක Fastboot mode එකට. නැත්නම් Bootloader mode එකට, එහෙමත් නැත්නම් Download mode එකට ස්වයංක්‍රීයවම බූට් වෙන්නෙ. මේ හැම ආකාරයෙන්ම හඳුන්වන්නේ එකම දෙයක්.

සාමාන්‍ය Android දුරකථනයක Bootloader අතුරුමුහුණතේ ආකාරය පහත රූපයෙන් පේනවා. නමුත් ඔය අතුරු මුහුණත ජංගම දුරකථන මාදිලියෙන් මාදිලියට වෙනස් මුහුණුවරක් තමයි ගන්නෙ. හැබැයි කෙරෙන්නේ නම් එකම වගේ වැඩ ටිකක් තමයි.

අද අපි ඉගෙනගත්තා පොදුවේ Bootloader එකක් කියන්නෙ මොකක්ද කියන එක සහ Android දුරකථනයක Bootloader mode එකට boot කරගන්නෙ කොහොමද කියන එකත්, bootloader mode එකට ස්වයංක්‍රීයවම boot වෙන්නේ මොන හේතු නිසාද කියන එකත්. මේ ගැන තවත් විස්තර අපි තවත් ලිපියකින් කතා කරමු. අලුත් ලිපියකින් ඔබ හමුවෙන තුරු, ගිහින් එන්නම්. ජය!