Loading...
Android Devices වල Bootloader එක ගැන

‌Bootloader එකක් කියන්නෙ මොකක්ද? ඒකෙන් කරන වැඩේ මොකක්ද? Bootloader Mode එකට Android device එකක් boot කරගන්නෙ කොහොමද වගේ දේවල් ගැන අපි මුලින් කථා කළා.

‌‌අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ Android boot loader එකක විශේෂ ගතිගුණ ටිකක්. එහෙනම් අපි ඒ මොනාද කියලා බලමු.

අපි කඩෙන් මිළට ගන්න Android දුරකථන වල Bootloader එක Lock කරලයි තියෙන්නෙ. එහෙම ලොක් කරන්නේ දුරකථන නිෂ්පාදකයා විසින්ම තමයි. එහෙම ලොක් කරන්න හේතුව තමයි ඒ device එකේ ආරක්ෂාව. මොකද, Unlocked Bootloader එකක් තියෙන ෆෝන් එකක User ගෙ දත්ත මකලා දාන්න වගේ බරපතල දේවල් කරන්න ලේසි වෙනවා. නිෂ්පාදකයා විසින් Bootloader එක ලොක් කරන්න තවත් හේතුවක් තමයි අපි නොදැන modifications කරන්න ගිහින් phone එකේ දත්ත විනාශ කරගෙන ලොකු අවුලක් කරගනීවි කියන බය.

Bootloader එක Unlock නොකර, Android modifications කරන්න යන එක ඵල රහිත වැඩක් වගේම හානිකර වැඩක්. Android device එකක් Root කරන්න, Custom Recovery එකක් දාන්න, Custom ROM එකක් දාන්න වගේ දේවල් කරන්න නම් අපි මුලින්ම මේ Bootloader එක unlock කරගන්න වෙනවා. ඒක කරන්න නම්, අපිට සිදුවෙනවා තමන්ගෙ දුරකථනය නිපදවපු සමාගම සම්බන්ධ කරගන්න.

මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන, ඔයාගෙ Android Device එකේ Bootloader එක unlock කිරීමත් සමඟම ඔයාගෙ වගකීම් සහතිකය. වොරන්ටි එක නැති වෙලා යනවා. Bootloader එක unlock කළාට පස්සෙ ඔයාගෙ ෆෝන් එකට මොන විදියක ප්‍රශ්ණයක් වුණත් නිෂ්පාදකයා විසින් කිසිම විදියක වගකීමක් නම් ගන්නෙ නැති වෙයි.

බොහොමයක් දුරකථන මාදිලි නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ ඔයාගෙ device එකේ bootoader එක unlock කරන්න සහාය දක්වනවා. නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට bootloader එක unlock කිරීමේ පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි තමන්ගෙ ෆෝන් එක හදපු company එක සම්බන්ධ කරගෙන තමන්ගෙ device එකේ bootloader එක unlock කරගන්න එක.

උදාහරණයක් විදියට, ඔයාගෙ device එක Xiaomi සමාගම විසින් නිෂ්පාදිත එකක් නම්, ඔයාට පුළුවන් මේ පහළ තියෙන වෙබ් පිටුවට පිවිසීමෙන් ඔයාගෙ device එක unlock කරගන්න.

https://en.miui.com/unlock/

ඒ වගේම, Sony සමාගමේ නිෂ්පාදිත devices වල bootloader එක unlock කරගන්න පහත සෙබ් පිටුවෙන් පුළුවන්.

https://developer.sony.com/develop/open-devices/get-started/unlock-bootloader/

Nokia device වල bootloader unlocking පිටුවට පහළින් පිවිසෙන්න පුළුවන්.

https://www.nokia.com/phones/en_int/bootloader

ඒ වගේම, Motorola device වල Bootloader එකත් පහත link එකට පිවිසීමෙන් unlock කරගන්න පුළුවන්.

https://support.motorola.com/us/en/bootloader

මෙතන සඳහන් වෙන්නේ නැති සමාගම් වල දුරකථන වලත් විවිධ ක්‍රම වලින් Bootloader එක unlock කරගන්න පුළුවන්. ඒත් හොඳම දේ තමයි නිෂ්පාදකයා විසින් අදාළ දුරකථනය unlock කිරීමට සහය දක්වන්නෙ නැත්නම් ඒ device එකේ bootloader එක බලෙන් unlock කරන්න නොයෑම. අදාළ device එකට හානියක් වීම ප්‍රශ්ණයක් නැත්නම්, අන්තර්ජාලයේ, විශේෂයෙන්ම XDA Developers වගේ අඩවි වල තියෙන ක්‍රම ඔබට අත්හදා බලන්න පුළුවන්.

හැම Android device එකක්ම එකම විදියට unlock කරන්න බැහැ. ඒ නිසා, මෙන්න මේ විදියට කරන්න කියලා කිසියම් නිශ්චිත කරමයක් පෙන්වලා දෙන්නත් අපිට බෑ. හොඳම දේ මේක කරන්නෙ කොහොමද කියන එක සොයාබැලීම සහ වඩාත්ම හොඳම දේ නිෂ්පාදකයාගේ සහාය ලබා ගැනීමයි. නිශ්පාදකයා විසින් ඔයාට unlocking process එකට අවශ්‍ය කරන tutorials, codes, drivers ආදිය ලබාදේවි.

බොහෝ අවස්ථා වලදී වෙන්නේ ඔයාට company එකෙන් ලබාදෙන drivers ඔයාගෙ පරිගණකයට ස්ථාපනය කිරීමෙන් පසුව ඔයාගෙ device එක fastboot/bootloader mode එකේ USB කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කරලා සමාගම විසින්ම ලබාදෙන Software එක run කරලා අදාළ codes ලබාදීමෙන් දුරකථනයේ bootloader එක unlock කරගැනීම තමයි.

තවත් වැදගත් දෙයක් තමයි සමහර devices වල bootloader එක unlock කිරීම හරිම පහසුවට දුරකථනයේ developer settings වල on/off කරන්න පුළුවන් පොඩි සැකසුමක් විදියටත් එනවා. ඒ සැකසීම සෑදිමෙන් පසු, bootloader mode එක boot කරලා fastboot command එකකින් ඉතාමත් පහසුවෙන් ඒ device එක unlock කරගන්න පුළුවන්. සමහර devices වල නම් bootloader එක unlock නොකරමත් එනවා. කාලෙකට කලින් ආව Google Nexus දුරකථන වල වගේ.

මෙතනදි අපි කතා කරපු fastboot commands ගැන දීර්ඝව, විස්තර සහිතව අපි තවත් ලිපියකින් කතා කරමු. ඔබට ජය!