Loading...
Surface Web, Deep Web සහ Dark Web කියන්නෙ මොනාද?

කාලයක් තිස්සේ ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මේ Deep Web/ Dark Web ගැන ටිකක් කියලා දෙන්න කියන එක. නමුත් ඒක කරන්න අමාරු වෙලා තියෙන්නේ මේ Dark Web යනුවෙන් හැඳින්වෙන ජාල වල තියෙන නීති විරෝධී දේවල් නිසා. ඒ කොහොම වෙතත් මම තීරණය කළා මේ ජාල වල තියෙන ගුණ අගුණ ගැන කියලා දීලා නීති විරෝධී දේවල් වලට පටලැවෙන්නේ නැතුව, නිවැරැදි විදියට මේ ජාල පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. මොකද මඟපෙන්වීමක් නැතුව ඔයාලා මේ ජාල වලට ඇතුළු වුණොත් කොහෙ නවතීද කියලා ඔයා වත් නොදන්න නිසා. ඒ නිසා, මතක තියාගන්න, මම මේ කියලා දෙන්නේ නීති විරෝධී දේවල් කරන විදිය නෙවෙයි, නීති විරෝධී දේවලින් වැළකෙන විදියයි.

මේ ලෝක විසිරි වියමනේ නොහොත් World Wide Web (WWW) එකේ ප්‍රධාන කොටස් තුන ගැන පැහැදිලි කරන්න මම පාවිච්චි කරන්නම් මුහුදක ආකෘතියක්. ඔන්න බලාගන්න.

දැන් අපි මේ කොටස් පැහැදිලි කරගමු.

Surface Web

සාමාන්‍ය බ්‍රවුසර් එකකින් ඔයාට බොහොම පහසුවෙන් පුළුවන් www.google.com වගේ ඇඩ්‍රස් එකක් ගහලා ඒ අදාළ වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් නේ Google, Yahoo, Bing වගේ සර්ච් එන්ජින් එකකින් ඔයාට ඕන අඩවියක් හොයාගන්න. එහෙම සර්ච් එන්ජින් එකකට අහු වෙන (Indexed) සහ අපිට සාමාන්‍ය විදියට, සාමාන්‍ය බ්‍රවුසර් එකක් (Chrome, Firefox, Edge ආදී) භාවිතයෙන්, එදිනෙදා ජීවිතේ දී අපි Access කරන අන්තර්ජාලයේ කොටසට අපි කියන්නේ Surface Web කියලා. මේ කියන්නෙ අර මුහුදේ රළ, උඩ පාවෙන නැව්, බෝට්ටු වගේ වෙරළක ඉඳන් දකින්න පුළුවන් දේවල්.

Deep Web

Deep web කියලා හඳුන්වන මේ කොටසත් WWW නොහොත් World Wide Web එකේම කොටසක්. නමුත් මේකේ වෙනස, Google වගේ Search Engine එකකට මේකේ තියෙන වෙබ් පිටු අහු නොවීම. මේ Deep Web අඩවි වලට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බ්‍රවුසර් එකක් ආධාරයෙන් පිවිසෙන්න පුළුවන්. හැබැයි ආයෙත් කියන්නම්, මේකෙ වෙනස මේ සයිට් ඉන්ඩෙක්ස් වෙන්නෙ නෑ. ඒ කිව්වෙ මේ අඩවියක තියෙන තොරතුරු Google එකෙන් සර්ච් කළාට අහු වෙන්නෙ නෑ.

මේ කොටසට අදාළ වෙනවා රජයේ වෙබ් අඩවි, විවිධ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අඩංගු අඩවි, විවිධ රහසිගත වාර්තා ආදිය දක්වන්න පුළුවන්. හැබැයි නිවැරැදි Login details යොදාගෙන මේ අඩවි වල තොරතුරු සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් බොහෝ විට ලබාගන්න පුළුවන්. දැන් අපේ අර සමුද්‍ර ආකෘතියට අනුව අපි දැන් ඉන්නෙ ටිකක් ගැඹුරේ. අපි යමු තව ගැඹුරට.

Dark Web

හොඳයි දැන් අපි යන්න හදන්නේ මුහුදේ ගොඩක්ම ගැඹුරට. මේ කොටසට ඉර එළියක් වැටෙන්නෑ. අඳුරුයි. (Dark) ඒ කියන්නෙ මේ කොටස නම් අපිට අපේ Chrome Browser එකෙන් වත්, Firefox Browser (Original Firefox browser) එකෙන් වත්, Internet  Explorer එකෙන් වත්, ඇක්සස් කරන්න බැහැ. ඇක්සස් කරන්න බැරි නම් ඒ නෙට්වර්ක් එක අහවල් කාරණාවකටද කියලා අහයි. මේක ඇක්සස් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ කරම වලින් තමයි මේ ගැඹුරේ තියෙන ජාල වලට පිවිසෙන්න පුළුවන් කම ලැබෙන්නේ.

Dark Web එක අස්සේ විවිධ ජාල ගොඩක් තියෙනවා. මේවගෙන් ප්‍රසිද්ධ වුණ ජාල කීපයක් මම පහතින් දාන්නම්. මේවායින් කරන්න පුළුවන් බොහෝ දේ නීති විරෝධී දේවල් තමයි. ඒත් අපි ඒ දේවල් බැහැර කරලා හරි දේවල් කරන්න තමයි මෙහෙම මේ කතාව ගැන ඉගෙනගන්නේ.

අපි බලමු මේ Dark Web ජාල මොනවද කියලා.

  1. Tor Network
  2. i2P Network
  3. Freenet

මෙතන මම නම් කරපු ජාල තුන හැරෙන්න, තවත් බොහෝ ජාල තියෙන්න පුළුවන් බව මතක තියාගන්න.

මම ඉහත කිව්ව ජාල තුනෙන්, වැඩි දෙනෙක් භාවිතා කරන සහ ප්‍රසිද්ධ ජාලය වෙන්නේ Tor ජාලය නොහොත් Tor Network එක. ගොඩක් අය Dark Web කියලා කියන්නෙත් මේ Tor ජාලයට. ඒත් ඔයාලා මතක තියාගන්න Tor Network එක කියන්නේ Dark Web එකටම අයිති එක පොඩි කොටසක් විතරයි කියලා.

මම කලින් කිව්වනේ, මේ Dark Web එකේ අඩවි ඔයාට සාමාන්‍ය බ්‍රවුසර් එකකින් Access කරන්න බෑ කියලා. මම ඔයාලට බලන්න දෙන්නම් Tor Network එකේ ලිංක් එකක්. නිකන් බ්‍රවුසර් එකේ ගහලා බලන්නකො. ලෝඩ් වෙනවද බලන්න. මේක ගැහුවා කියලා මුකුත් වෙන්නෑ බය වෙන්න එපා.

https://facebookcorewwwi.onion/

මේ තියෙන්නේ Tor Network එක හරහා Facebook Official සයිට් එකට ලොග් වෙන්න පුළුවන් ලිංක් එක. මේකට යන්න නම්, ඔයාට Tor Network එක ඇක්සස් කරන්න ඉඩ ලබා දෙන Tor Browser එක භාවිතා කරන්න වෙනවා. ඒ browser එක හරහා මේකත් සාමාන්‍ය වෙබ් ලිපිනයකට යන විදියටම access කරන්න පුළුවන්. Tor Network එක ගැන අපි වැඩි දුර තොරතුරු තවත් ලිපියකින් කතා කරමු.

අදට සමුගනිමු, ජය වේවා!