Google සමාගමේ නවතම Budget Smartphone එක වන Pixel 10a ඊයේ (පෙබරවාරි 18) නිල වශයෙන් එළිදැක්වූවා. ලොව පුරා පවතින Memory chipsවල මිල ඉහළ යාමේ අර්බුදය හමුවේ වුවද, Google සමාගම සිය පාරිභෝගිකයින්ට සහනයක් වෙමින් පෙර පැවති මිලටම මෙම දුරකථනය හඳුන්වා දීමට කටයුතු කර තිබීම විශේෂත්වයක් වනවා.
මේ නව Pixel 10a 128GB මාදිලිය සඳහා ඩොලර් 499ක (රු. 150,000 පමණ) පමණ මිලක් නියම කර ඇති අතර පෙබරවාරි 18 සිට Pre-orders කර හැකි වනවා. මෙය Berry, Fog, Lavender සහ Obsidian යන ආකර්ෂණීය වර්ණ හතරකින් ලබා ගත හැකියි.

ප්‍රධාන තාක්ෂණික විශේෂාංග
Pixel 10 Series එකේ Design එකට සමාන අයුරින් මෙය නිර්මාණය කර ඇති අතර පසුපස කැමරා පද්ධතිය දුරකථනයේ මතුපිටින් නෙරා නොඑන (Perfectly flat) අයුරින් සකස් කර ඇති වීම විශේෂ වනවා. 60-120Hz Display Refresh Rate එකකින් සහ 3,000 nits Brightness අගයකින් යුතු අඟල් 6.3ක pOLED display එකක් සහිත වනවා. Pixel 9aහි මෙන්ම මේ Pixel 10a 128GB මාදිලිය සඳහා Tensor G4 chip එක භාවිතා කර ඇති අතර එය 8GB හෝ 12GB RAM ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකි වනවා.
එමෙන්ම Pixel 10 Flagship Device එකටත් වඩා වේගවත් ආරෝපණ හැකියාවකින් යුතු වන මෙය 5,100 mAh බැටරියකින් සමන්විත වන අතර මේ සඳහා 45W Fast Charging හැකියාව ලබා දී තිබෙනවා. එමෙන්ම මෙය IP68 Water & Dust Protection එකෙන් සහ Corning® Gorilla® Glass 7i display Cover Glass එකෙන්ද සමන්විත වනවා.

Dual Rear Camera Setup එකකින් සමන්විත මේ සඳහා 48MP ප්‍රධාන කැමරාවක් සහ 13MP Ultra-wide කැමරාවක් ද Selfie Camera එක සඳහා 13MP කැමරාවක් ද ලබා දී ඇති අතර Google සමාගම දක්වන්නේ මෙය ඩොලර් 500කට අඩුවෙන් ලබා ගත හැකි හොදම Camera Setup එක වන බවයි.
නවීන පහසුකම් සහ AI
හදිසි අවස්ථාවකදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා පණිවිඩ යැවීමේ (Satellite SOS) පහසුකම Pixel 10a වෙත අලුතින් එක් කර ඇති අතර මේ පහසුකම ලැබෙන ලොව පළමු Budget Device එක වන්නේද මෙයයි. තවද Gemini Live, Circle to Search, Camera Coach සහ Auto Best Take වැනි ඉහළ පෙළේ AI පහසුකම් රාශියක් සඳහාද මෙය සහාය දක්වනු ලබනවා.

Android 16 මෙහෙයුම් පද්ධතිය සමඟ නිකුත් වන මෙම දුරකථනය සඳහා වසර 7 ක කාලයක් පූර්ණ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ලබා දෙන බවට Google සහතික වී තිබෙන අතරම Android සහ iPhone අතර දත්ත පහසුවෙන් හුවමාරු කිරීමට හැකි නවතම Quick Share/AirDrop පහසුකම ද මෙහි අඩංගු වනවා.
Source: blog.google








