Loading...
චන්ද්‍රයා මතට ගොඩබැසූ 4වන රට බවට ඉන්දියාව පත්වෙයි

අද උදෑසන වන විට ලෝක ඉතිහාසයේ චන්ද්‍රයා මතට සාර්ථකව ගොඩබැස තිබුනේ රටවල් 3 ක් පමණි. ඒ සෝවියට් දේශය, ඇමරිකාව සහ චීනයයි. නමුත් අද (23) පස්වරුවේ අසල්වාසී ඉන්දියාව තමන්ගේ Chandrayaan-3 යානය චන්ද්‍රයා මතට සාර්ථකව ගොඩබැස්වීමට සමත් විය.

ඉන්දියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය (ISRO) විසින් මුල්වරට චන්ද්‍රයාට ගොඩබැස්වීමට උත්සාහ කළේ 2019 වසරේදීය. ඒ Chandrayaan-2 මෙහෙයුමේදීය. නමුත් මෘදුකාංග ගැටළු සහ රොකට් එන්ජින්වල ගැටළු නිසා යානය චන්ද්‍රයා මතට කඩා වැටුණි. එම යානයට ප්‍රමාණයෙන් සමාන, උගත් පාඩම්වලින් වැඩි දියුණු කළ Chandrayaan-3 යානය චන්ද්‍රයා බලා දියත් කළේ පසුගිය ජූලි 14 වන දිනයි.

යානය අගෝස්තු 05 වනදා චන්ද්‍රයා වටා කක්ෂගත වූ අතර ඉන්පසු අද ප.ව. 05.44 ට පමණ ගොඩබැසීම සදහා රොකට් එන්ජින් ක්‍රියාත්මක කරන ලදී. ගොඩබැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදු වූ අතර ප.ව. 06.02 ට පමණ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසළට ගොඩබැස්සේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසළට ගොඩබැස්ස පළමු යානය ලෙසයි. මේ සමගින් චන්ද්‍රයා මතට ගොඩබැස්ස සිව්වන රට බවට ඉන්දියාව පත් වූ අතර මෙය ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වේ.

යානය චන්ද්‍ර කක්ෂයේ තිබියදී එවූ ඡායාරූපයක්

Chandrayaan-3 ගොඩබැසීමේ යානය හඳුන්වන්නේ Vikram නමිනි. මෙම යානයේ විද්‍යාත්මක උපකරණ 4 ක් පවතී.

Instrument for Lunar Seismic Activity (ILSA)

  • චන්ද්‍රයාගේ භූ කම්පන තරංග මැනීමට යොදා ගන්නා සංවේදකයකි.

Chandra’s Surface Thermo physical Experiment (ChaSTE)

  • චන්ද්‍ර පෘෂ්ඨයේ තාපය සන්නයනය වන ආකාරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා උපකරණයකි.

Radio Anatomy of Moon Bound Hypersensitive ionosphere and Atmosphere-Langmuir Probe (RAMBHA-LP)

  • චන්ද්‍රයා අවට පැතිරී ඇති ප්ලාස්මාවේ ඝනත්වය සහ විචලනයන් මනින උපකරණයකි.

Laser Retroreflector Array (LRA)

  • NASA ආයතනයේ Goddard අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලබා දුන් මේ ලේසර් පරාවර්තනයට ලේසර් කිරණයක් එල්ල කිරීමෙන් එයට ඇති දුර නිරවද්‍ය ලෙස මැන ගත හැක.
  • නමුත් මෙය Apollo මෙහෙයුම්වල සඳට ගෙන ගිය ලේසර් පරාවර්තක තරම් විශාල නැත. ඒ නිසා පෘථිවියේ සි⁣ට ලේසර් කිරණක් එල්ල කිරීම ප්‍රායෝගික නොවේ.
  • මෙය භාවිතා කිරීම⁣ට අදහස් කළේ චන්ද්‍ර කක්ෂයේ ඇති යානාවල සිට ලේසර් කිරණයක් එල්ල කර පෘෂ්ඨයේ සිට යානයට ඇති උස මැන ගැනීමටයි.

මීට අමතරව යානයේ කුඩා රෝවරයක් ගෙන යනු ලබනවා. කිලෝග්‍රෑම් 26 ක ස්කන්ධය ඇති මේ කුඩා රෝවරය ගොඩබැසීමේ යානයෙන් පහතට බැස චන්ද්‍රයා මත ගමන් කරමින් එහි ඇති විද්‍යාත්මක උපකරණ  2 න් චන්ද්‍ර පාෂාණවල රසායනික සංයුතිය අධ්‍යයනය කරනු ඇත.

  • LASER Induced Breakdown Spectroscope (LIBS)
  • Alpha Particle X-ray Spectrometer (APXS)

Vikram නමින් හඳුන්වන ගොඩබැසීමේ යානය සහ Pragyan නමින් හඳුන්වන රෝවරය ක්‍රියා කරන්නේ ඒවායේ ඇති සූර්ය පැනල්වලින් උත්පාදනය කරන විදුලි බලයෙනි. චන්ද්‍රයාගේ එක් දිනයක් පෘථිවි දින 28 ක් වන නිසා චන්ද්‍රයා මත දිවා කාලය පවතින්නේ පෘථිවි දින 14 කි. ඒ නිසා යානය සහ රෝවරය ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ දින 14 ක් පමණි. ඉතින් මෙහෙයුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ගොඩබසින ස්ථානයට හිරු උදාවෙන මොහොතේදී ගොඩබැසීමට සිදු විය.

ඉතින් අද දින සිට දින 14 ක් පමණ මෙම යානය ක්‍රියා කරන අතර රෝවරය දින කිහිපයක් ඇතුළත චන්ද්‍ර පෘෂ්ඨය මතට පහත් කරනු ඇත.

මේ අතර රුසියාව මෙම යානයට දින 2 කට පෙර ගොඩබැසීමට Luna 25 යානය යැවූ නමුත් එය අගෝස්තු 19 වනදා චන්ද්‍රයා මතට කඩා වැටුණි. ඒ පිළිබඳව ඔබ වෙත ගෙනා සවිස්තරාතමක ලිපිය මෙතැනින් කියවන්න.

රුසියාවේ පළමු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම අසාර්ථක වෙයි
සෝවියට් දේශයේ අභිමානය නැවතත් මතක් කරගනිමින් Luna 25 නමින් නම් මේ යානය ඉතාමත් සාර්ථකව පෘථිවියේ සිට කිලෝමීටර් 384,000 ක පමණ දුර ගෙවා දමමින් චන්ද්‍රයා වටා කක්ෂගත වීමට සමත් විය. නමුත් එයින් පසු යානයට සෝවියට් අභිමානය පවත්වා ගැනීමට හැකි වූයේ නැත.