සෝවියට් දේශය අභ්‍යවකාශ ගවේෂණයේ පුරෝගාමී රටක් වූ බව ඉතිහාසය දන්නා ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි. නමුත් 1976 දී චන්ද්‍රයාට යැවූ Luna 24 යානයෙන් සෝවියට් චන්ද්‍ර ගවේෂණ වැඩසටහන අවසන් වූ අතර සෝවියට් දේශය බිඳ වැටෙන තුරුම නැවතත් චන්ද්‍රයා බලා යානයක් යැවීමට ඔවුන්ට හැකි වුනේ නැත.
සෝවියට් දේශයේ අභ්‍යවකාශ වැඩසටහන දිගටම කරගෙන ආ රුසියාව 90 දශකයේ සිටම චන්ද්‍රයා බලා නැවතත් යානා යැවීමට සැලසුම් සකස් කළ නමුත් අවසානයේ ඔවුන් චන්ද්‍රයා බලා යානයක් දියත් කළේ 2023 අගෝස්තු 11 වනදායි. සෝවියට් දේශයේ අභිමානය නැවතත් මතක් කරගනිමින් Luna 25 නමින් නම් මේ යානය ඉතාමත් සාර්ථකව පෘථිවියේ සිට කිලෝමීටර් 384,000 ක පමණ දුර ගෙවා දමමින් චන්ද්‍රයා වටා කක්ෂගත වීමට සමත් විය. නමුත් එයින් පසු යානයට සෝවියට් අභිමානය පවත්වා ගැනීමට හැකි වූයේ නැත.
දශක 3 ක් පමණ කල් ගත වූ Luna 25 යානය කිලෝග්‍රෑම් 1,750 ක පමණ ස්කන්ධයක් ඇති අභ්‍යවකාශ යානයකි. යානයේ ඉලක්කය වූයේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසළට ගොඩබැසීමටයි. යානය බලාපොරොත්තු වූ පරිදි අගෝස්තු 21 වනදා ගොඩබැස්සා නම් යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසළට ගොඩබැස්ස පළමු යානය බවට පත් වීමට ඉඩ තිබුණි. නමුත් එය එසේ වීමට ඉඩක් ලැබුනේ නැත.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අළුයම 04.40 ට රුසියාවේ Vostochny මධ්‍යස්ථානයෙන් දියත් කළ Soyuz 2.1b රොකට්ටුව විසින් Luna 25 යානය සහ එය සම්බන්ධ කර තිබූ Fregat-M රොකට් අදියර පෘථිවි කක්ෂයකට මුදා හරින ලදී. ඉන්පසු Fregat-M අදියර විසින් එහි තිබූ රොකට් එන්ජිම මඟින් Luna 25 යානය චන්ද්‍රයා බලා ගමන් ගන්නා ඉලිප්සාකාර පෘථිවි කක්ෂයකට ඇතුල් කරන ලදී.
චන්ද්‍රයාගේ අතිශය තුනී වායුගෝලය, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති ජල අයිස් ආදිය ගැන සෙවීමට විද්‍යාත්මක උපකරණ ගණනාවක්ම අන්තර්ගත වූ යානය පෘථිවි වර්ෂයක පමණ කාලයක් චන්ද්‍රයා මත ක්‍රියා කිරීමට නියමිත විය. සති 2 ක් පමණ දිග සීතල චන්ද්‍ර රාත්‍රියේ යානය විනාශ නොවී පැවතීමට උණුසුම සහ විදුලිය සැපයීමට ප්ලූටෝනියම්වලින් ක්‍රියා කරන න්‍යෂ්ටික බල සැපයුමක් පවා මෙහි අඩංගු විය.
අගෝස්තු 16 වනදා යානය එහි තිබූ රොකට් එන්ජින් මඟින් ප්‍රවේගය අඩු කරගනිමින් චන්ද්‍රයා වටා කක්ෂගත විය (ඉහත ඡායාරූපයේ Lunar Transfer Orbit Insertion). ඉන්පසු යානය අගෝස්තු 21 වනදා ගොඩබැසීම සඳහා අගෝස්තු 19 වනදා එහි කක්ෂය පහත දමා ගැනීමට නියමිත විය. මෙහිදී කිලෝමීටර් 100 ක් පමණ ඉහළ වෘත්තාකාර කක්ෂයක පැවතුනු යානය එහි රොකට් එන්ජින් ක්‍රියාත්මක කර (First Engine Burn) කක්ෂයේ පහත්ම ස්ථානය කිලෝමීටර් 20 ක් පමණ වන ඉලිප්සාකාර කක්ෂයකට ඇතුල් වීමට නියමිත විය.
නමුත් තවමත් ප්‍රසිද්ද කර නොමැති (හෝ තවම සොයා ගෙන නොමැති) හේතුවක් නිසා තත්පර 84 ක් ක්‍රියා කිරීමට නියමිත වූ යානයේ රොකට් එන්ජිම තත්පර 127 ක් ක්‍රියා කර ඇත. මේ නිසා බලාපොරොත්තු වූවාට වඩා යානයේ ප්‍රවේගය අඩු වූ අතර ඒ නිසා කක්ෂය කිලෝමීටර් 20 ක් නොව චන්ද්‍ර පාෂ්ඨයේ ස්පර්ශ වන තරම් පහත් විය. ඉතින් ඒ කක්ෂයේ පහතට ගිය යානය ලංකාවේ වේලාවෙන් අගෝස්තු 19 වනදා ප.ව. 05.28 ට චන්ද්‍ර පෘෂ්ඨයේ ගැටුනේ විනාශකාරී ප්‍රවේගයකිනි.
වසර 47 කට පසු නැවතත් Luna නාමය රැගෙන චන්ද්‍රයා බලා ගිය යානය එසේ විනාශ වූවත් රුසියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහන මෙතනින් අවසන් වන්නේ නැත. මේ වන විටත් Luna 26, 27 සහ 28 යානා මේ දශකයේ චන්ද්‍රයා බලා යැවීමට සූදානමින් පවතින නමුත් මෙම අනතුර අනාගත මෙහෙයුම්වලට කෙසේ බලපායිද යන්න පැවසීම අපහසු වේ.
ඒ කෙසේ නමුත් මෙය රුසියානු අභ්‍යවකාශ යානා ගැන දරුණු ගැටළුවක් මතු කරයි. සෝවියට් දේශය බිඳ වැටීමේ සිට රුසියාව ස්වාධීනව සිදු කිරීමට උත්සාහ කළ සියළුම ග්‍රහ ගවේෂණ මෙහෙයුම් අසාර්ථක වී ඇත. 1996 දී අඟහරු බලා යැවූ Mars 96 යානය සහ 2011 දී අඟහරුගේ චන්ද්‍රයෙක් බලා යැවූ Fobos-Grunt යානය පෘථිවි කක්ෂයේදීම විනාශ වූයේ ඒවා දියත් කළ රොකට්වල ගැටළු හේතුවෙනි. ඒ නිසා Luna 25 යානය සැබැවින්ම 1988 දී සෝවියට් දේශය විසින් අඟහරු බලා යැවූ Phobos යානා දෙකට පසු සාර්ථකව පෘථිවි කක්ෂයෙන් එපිටට ගිය පළමු ස්වාධීන සෝවියට්/රුසියානු මෙහෙයුමයි. ස්වාධීන මෙහෙයුම් ලෙසින් විශේෂ කොට හඳුන්වන්නේ රුසියාව සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමඟ එක්ව කළ මෙහෙයුම් කිහිපයක් සාර්ථක වූ නිසායි.
මේ අතර ඉන්දියාවේ Chandrayaan-3 යානය අද, එනම් අගෝස්තු 23, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැසීමට සූදානමින් පසු වේ. එය සජීවීව නැරඹීමට පහත ලින්ක් එකට යන්න.