Loading...
2024 වසරේ පළමු රොකට්ටුව ඉන්දියාවෙන්

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් සිදුවීම් රැසක් සිදුවීමට නියමිත මේ වසරේ පළමු රොකට් දියත් කිරීම සාර්ථකව සිදු කරන්නට අපේ අසල්වාසී ඉන්දියාව සමත් වී තිබෙනවා.

පසුගිය පළමුවනිදා (01) උදෑසන දියත් කළ XPoSat, නැත්නම් X-ray Polarimeter Satellite නමින් හැදින්වෙන මේ චන්ද්‍රිකාව ඉන්දියානු අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ (ISRO) විද්‍යාත්මක පරීක්ෂණ සදහා භාවිත කරන චන්ද්‍රිකාවකි. මෙය ඔවුන්ගේ X කිරණ ධ්‍රැවීකරණයන් පිළිබද අධ්‍යයනය කරන පළමු චන්ද්‍රිකාව වේ. තාරකා විද්‍යාවේදී X-ray Polarimetry නොහොත් X කිරණ ධ්‍රැවීකරණය අධ්‍යයනය යනු ඈත විශ්වයේ ඇති ද්විත්ව කළු කුහර පද්ධති, නියුට්‍රෝන තරු, මැග්නෙටාර්, සක්‍රීය චක්‍රාවාට කේන්ද්‍රයන්, පල්සාර් ආදී වස්තූන්ගෙන් නිකුත් වන X කිරණවල ධ්‍රැවීකරණය පිළිබද මිනුම් ගෙන ඒවා විමෝචනය කළ වස්තූන් පිළිබද තොරතුරු සොයාගන්නා ක්‍රමයකි. කිලෝග්‍රෑම් 469 ක ස්කන්ධයකින් යුක්ත මේ චන්ද්‍රිකාව වසර 5 ක් පමණ විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වේ. ඇමරිකාවේ NASA ආයතනයත් 2021 වසරේදී මෙවැනිම චන්ද්‍රිකාවක් කක්ෂගත කරනු ලැබුවා.

XPoSat චන්ද්‍රිකාව

මෙම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට දියත් කිරීමට යොදාගත්තේ ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ Polar Satellite Launch Vehicle (PSLV) රොකට්ටුවයි. 1993 සිට භාවිත කරන මේ රොකට්ටුව අද උදෑසන දියත් කළේ 60 වන වරටයි. PSLV රොකට්ටුව අදියර 4 කින් සමන්විත රොකට්ටුවකි. එහි ගෙන යන අභ්‍යවකාශ යානයේ ස්කන්ධය අනුව අවශ්‍ය නම් පළමු අදියරට සමාන්තරව බූස්ටර් කිහිපයක් සවි කිරීමටත් හැකියාව ඇත. XPoSat චන්ද්‍රිකාව දියත් කිරීමට යොදා ගත්තේ PSLV රොකට්ටුවේ DL වින්‍යාසයයි. එනම් පළමු අදියරට සමාන්තරව PS0M-XL ඝන ඉන්ධන බූස්ටර් දෙකක් මෙහිදී භාවිතා කරයි.

XPoSat චන්ද්‍රිකාව රැගත් PSLV-DL රොකට්ටුව අද පෙ.ව. 09.10 ට පමණ ඉන්දියාවේ සතීශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලදී. ඒ පළමු අදියර ලෙස භාවිතා කරනා ඝන ඉන්ධන රොකට් එන්ජිමේ සහ ඝන ඉන්ධන බූස්ටර් දෙකේ තෙරපුම් බලයෙනි. දියත් කිරීමෙන් තත්පර 70 කට පමණ පසු බූස්ටර් 2 දහනය වී අවසන් වූ අතර ඒවා ගලවා දමන ලදී. තවත් තත්පර 40 ක් දහනය වූ පළමු අදියර ඉන්පසු ගලවා දමන ලදී.

PSLV රොකට්ටුවේ දෙවන අදියර ද්‍රව ඉන්ධන භාවිත කරන රොකට් එන්ජිමකින් බල ගැන්වේ. පළමු අදියර ගලවා දැමීමෙන් පසු දෙවන අදියරේ Vikas රොකට් එන්ජිම ක්‍රියාත්මක කරන ලදී. තවත් මිනින්තුවකට පමණ පසු රොකට්ටුව අභ්‍යවකාශයට ඇතුළු වන අතර ඉන්පසු රොකට්ටුවේ ඉහළ කෙළවරේ ඇති චන්ද්‍රිකාව ආවරණය කර තිබූ Payload Fairing කොටස් දෙක ගලවා දමයි. මිනින්තු 2.5 ක් පමණ දහනය වන PSLV රොකට්ටුවේ දෙවන අදියර ගලවා දැමීමෙන් පසු තෙවන අදියර ලෙස භාවිතා කරන ඝන ඉන්ධන රොකට් එන්ජිම ක්‍රියාත්මක කරයි. මෙය තත්පර 70 ක් පමණ කාලයක් දහනය වේ.

තෙවන අදියරේ දහනය අවසන් වූ සැණින් සිව්වන අදියර ක්‍රියාත්මක කරන්නේ නැත. රොකට්ටුව ලබා ගත් ප්‍රවේගය නිසා ඉහළ නගින අතර ගමන් මාර්ගයේ ඉහළම ස්ථානයට ආසන්න වූ විට සිව්වන අදියරේ ද්‍රව ඉන්ධන රොකට් එන්ජිම ක්‍රියාත්මක කරන ලදී. ඒ දියත් කිරීමෙන් මිනින්තු 16 තත්පර 51 කට පසුවයි.

මිනිත්තු 4 කට මදක් වැඩි දහනයකින් පසු PSLV රොකට්ටුවේ සිව්වන අදියරේ රොකට් එන්ජිම ක්‍රියාවිරහිත කරන්නේ සමකයට අංශක 6 ක් ආනත, කිලෝමීටර් 650 ක් ඉහළ වෘත්තාකාර කක්ෂයකට ඇතුල් වීමෙන් පසුවයි. ඉන්පසු XPoSat චන්ද්‍රිකාව මුදා හරින ලදී.

රොකට්ටුවේ සිව්වන අදියරෙන් ඉවතට යන XPoSat චන්ද්‍රිකාව

XPoSat චන්ද්‍රිකාව මුදා හැරීම සාර්ථකව සිදු කළත් රොකට්ටුවේ සිව්වන අදියරේ කාර්යයන් අවසන් වන්නේ නැත. මන්දයත් මේ රොකට් අදියරට තවත් කුඩා උපකරණ 10 ක් සම්බන්ධ කර තිබේ. Hosted Payloads කියා හදුන්වන මේවා ස්වාධීන චන්ද්‍රිකා මෙන් ක්‍රියා කිරීමට සාදා නැත. ඒ නිසා මෙවන් උපකරණ රොකට්ටුවේ සිව්වන අදියරෙන් වෙන්‌ නොවී පවතින අතර රොකට්ටුවේ සිව්වන අදියර එයට සම්බන්ධ කර ඇති උපකරණත් සමග පෘථිවි කක්ෂයේ දීර්ඝ කාලයක් රැදී සිටියි. නමුත් ඊට පෙර රොකට්ටුවේ සිව්වන අදියරේ රොකට් එන්ජිම තවත් දෙවරක් ක්‍රියාත්මක කරන එහි කක්ෂය කිලෝමීටර් 350 ක් පමණ වන තෙක් උස අඩු කරගනු ලබයි.

Hosted Payloads 10 රැගත් PSLV රොකට්ටුවේ සිව්වන අදියර (CGI)

මේ උපකරණ 10 අතරින් 3 ක් ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයට අයිති වේ. Dust Experiment (DEX) නමින් හැදින්වෙන උපකරණය මගින් පහළ පෘථිවි කක්ෂයේ ඇති අන්තර්ග්‍රහ දූවිලි පිළිබද සොයා බලයි. Fuel Cell Power System (FPCS) නම් උපකරණය පෘථිවි කක්ෂයේදී ඉන්ධන කෝෂ මගින් විදුලි බලය උත්පාදනය පිළිබද පරීක්ෂණ කරයි. එමෙන්ම සිලිකන්වලින් සෑදූ අළුත් සූර්ය කෝෂ පිළිබද පරීක්ෂණ උපකරණයකුත් ඉන්දීය පරීක්ෂණ ආයතනය මගින් මෙම මෙහෙයුමට එක් කර ඇත.

Bellatrix Aerospace සමාගමේ RUDRA 0.3 HPGP යනු අළුත්ම පරිසර හිතකාමී රොකට් ඉන්ධනයක් පරීක්ෂා කරන කුඩා රොකට් එන්ජිමක් වන අතර ARKA-200 යනු අළුත්ම Hall-effect අයන එන්ජිමකි.

Inspecity Space සමාගමත් Green Impulse Transmitter (GITA) නම් පරිසර හිතකාමී රොකට් ඉන්ධනයක් පරීක්ෂා කරන කුඩා රොකට් එන්ජිමක් මේ මෙහෙයුමට එක් කර ඇත.

Dhruva Space සමාගමේ LEAP-TD (Launching Expeditions for Aspiring Technologies – Technology Demonstrator) නම් උපකරණ කට්ටලය අනාගත කුඩා චන්ද්‍රිකාවලට අවශ්‍ය තාක්ෂණයන් කිහිපයක් පරීක්ෂා කරන අතර TakeMe2Space සමාගමේ Radiation Shielding Experimental Module (RSEM) පරීක්ෂණ උපකරණය චන්ද්‍රිකාවලට විකිරණවලින් සිදු වන බලපෑම අවම කිරීමට අළුත් ආවරණයක් පරීක්ෂා කරයි.

BeliefSat-0 යනු ආධුනික රේඩියෝ උපකරණ කට්ටලයක් වන අතර එය ලබා දුන්නේ K J Somaiya Institute of Technology ආයතනය විසින් වන අතර Women Engineered Satellite (WESAT) යනු LBS Institute of Technology for Women ආයතනය මගින් ලබා දුන් සූර්යයා පිළිබද පරීක්ෂණ කරන කුඩා උපකරණයකි.

මේ උපකරණ/උපකරණ කට්ටල 10 රැගත් PSLV රොකට්ටුවේ සිව්වන අදියර දීර්ඝ කාලයක් පෘථිවි කක්ෂයේ පවතින අතර එහි ඇති සූර්ය පැනල් මගින් මේ සියළු උපකරණවලට විදුලි බලය සපයයි. ඉන්දියානු අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය 2024 වසර ඉතාමත් සාර්ථක රොකට් දියත් කිරීමක් සමගින් ආරම්භ කළ අතර මේ වසර පුරාවටම විවිධාකාර අභ්‍යවකාශ මෙහෙයුම් ගණනාවක් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.