Loading...
Chandrayaan-3 නමින් ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම දියත් කරයි

2008 දි ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය විසින් හඳට යැවූ Chandrayaan-1 යානයෙන් චන්ද්‍රයා මත ද්‍රව ජලය ඇති බව සනාථ කළ අයුරු ඔබට මතකද? ඉන්පසු 2019 දී යැවූ Chandrayaan-2 යානය චන්ද්‍රයාට ගොඩබැසීමට උත්සාහ කිරීමේදී කඩා වැටුණු අයුරු ඔබට මතකද? ඒ සියල්ලෙන්ම ලැබුනු පන්නරය සමඟින් ඊයේ (14) දහවල් ඉන්දියාව විසින් තමන්ගේ තුන්වන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන Chandrayaan-3 පෘථිවියෙන් පිටත් කරන ලදී. ඒ නැවතත් චන්ද්‍රයා මතට ගොඩබැසීමට උත්සාහ කිරීමටයි.

මෙම යානය Chandrayaan-2 යානයට බෙහෙවින් සමාන වේ. Chandrayaan-2 මෙහෙයුමේදී කක්ෂීය යානයක් (Orbiter) සහ ගොඩබැසීමේ යානයක් (Lander) අන්තර්ගත විය. ගොඩබැසීමේ යානය කඩා වැටුනත් කක්ෂීය යානය අදටත් චන්ද්‍ර කක්ෂයේ හොඳින් ක්‍රියා කරමින් තිබේ. ඒ නිසාම Chandrayaan-3 මෙහෙයුමේදී කක්ෂීය යානයක් සංවර්ධනය කිරීමට ඉන්දීය ඉංජිනේරුවන් උනන්දු වූයේ නැත. Chandrayaan-2 මෙහෙයුමේ කක්ෂීය යානයට යොදා ගත් සැකිල්ලම භාවිතා කරමින් ගොඩබැසීමේ යානය චන්ද්‍ර කක්ෂය වෙත ගෙන යෑම සඳහා "ප්‍රචාලන මොඩියුලයක්" (Propulsion Module) නිර්මාණය කර ඇත.

කිලෝග්‍රෑම් 1,752 ක ස්කන්ධය ඇති Chandrayaan-3 ගොඩබැසීමේ යානය Chandrayaan-2 ගොඩබැසීමේ යානයට ඉතාමත් සමාන වේ. ගොඩබැසීම සඳහා නිව්ටන් 800 ක තෙරපුම් බලය සපයන රොකට් එන්ජින් 4 ක් මේ යානයේ අන්තර්ගත වේ. Chandrayaan-2 ගොඩබැසීමේ යානයේ මෙන්ම ගොඩබැසීමට උපකාර වන සංවේදක සහ කැමරා කිහිපයක්ම මෙහි අන්තර්ගත වන අතර අළුතින් එකතු කර ඇති සංවේදකයක් වන්නේ Laser Doppler Velocimeter නම් උපකරණයයි. මෙමඟින් චන්ද්‍ර පෘෂ්ඨය වෙතට එල්ල කරන ලේසර් කිරණ ආපසු පැමිණෙන විට දක්වන ඩොප්ලර් ආචරණයෙන් යානය පහළට ගමන් කරන‌ වේගය නිර්ණය කරයි.

මීට අමතරව යානයේ විද්‍යාත්මක පරීක්ෂණ කිරීම වෙනුවෙන් පරීක්ෂණ උපකරණ 4 ක් අන්තර්ගත වේ.

Instrument for Lunar Seismic Activity (ILSA)

  • චන්ද්‍රයාගේ භූ කම්පන තරංග මැනීමට යොදා ගන්නා සංවේදකයකි.

Chandra’s Surface Thermo physical Experiment (ChaSTE)

  • චන්ද්‍ර පෘෂ්ඨයේ තාපය සන්නයනය වන ආකාරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා උපකරණයකි.

Radio Anatomy of Moon Bound Hypersensitive ionosphere and Atmosphere-Langmuir Probe (RAMBHA-LP)

  • චන්ද්‍රයා අවට පැතිරී ඇති ප්ලාස්මාවේ ඝනත්වය සහ විචලනයන් මනින උපකරණයකි.

Laser Retroreflector Array (LRA)

  • NASA ආයතනයේ Goddard අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලබා දුන් මේ ලේසර් පරාවර්තනයට ලේසර් කිරණයක් එල්ල කිරීමෙන් එයට ඇති දුර නිරවද්‍ය ලෙස මැන ගත හැක.
  • නමුත් මෙය Apollo මෙහෙයුම්වල සඳට ගෙන ගිය ලේසර් පරාවර්තක තරම් විශාල නැත. ඒ නිසා පෘථිවියේ සි⁣ට ලේසර් කිරණක් එල්ල කිරීම ප්‍රායෝගික නොවේ.
  • මෙය භාවිතා කිරීම⁣ට අදහස් කළේ චන්ද්‍ර කක්ෂයේ ඇති යානාවල සිට ලේසර් කිරණයක් එල්ල කර පෘෂ්ඨයේ සිට යානයට ඇති උස මැන ගැනීමටයි.

මීට අමතරව යානයේ කුඩා රෝවරයක් ගෙන යනු ලබනවා. කිලෝග්‍රෑම් 26 ක ස්කන්ධය ඇති මේ කුඩා රෝවරය ගොඩබැසීමේ යානයෙන් පහතට බැස චන්ද්‍රයා මත ගමන් කරමින් එහි ඇති විද්‍යාත්මක උපකරණ  2 න් චන්ද්‍ර පාෂාණවල රසායනික සංයුතිය අධ්‍යයනය කරනු ඇත.

  • LASER Induced Breakdown Spectroscope (LIBS)
  • Alpha Particle X-ray Spectrometer (APXS)

විද්‍යාත්මක උපකරණවලින් සන්නද්ධ වූ Chandrayaan-3 යානයේ සම්පූර්ණ ස්කන්ධය කිලෝග්‍රෑම් 3,921 ක් විය. යානය දියත් කළේ ඉන්දියාවේ බලවත්ම රොකට්ටුව වූ Launch Vehicle Mark 3 රොකට්ටුවෙනි. නමුත් එයටත් යානය චන්ද්‍රයා බලා දියත් කිරීමට නොහැක. රොකට්ටුවෙන් යානය ඇතුල් කළේ ඉලිප්සාකාර පෘථිවි කක්ෂයකටයි. ඉන්පසු ඉදිරි දින කිහිපය පුරාවට ප්‍රචාලන මොඩියුලයේ රොකට් එන්ජිම යොදා ගෙන යානය සඳ බලා ගමන් කිරීමේ ප්‍රවේගය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වේ.

Vikram නමින් හඳුන්වන ගොඩබැසීයේ යානය සහ Pragyan නමින් හඳුන්වන රෝවරය ක්‍රියා කරන්නේ ඒවායේ ඇති සූර්ය පැනල්වලින් උත්පාදනය කරන විදුලි බලයෙනි. චන්ද්‍රයාගේ එක් දිනයක් පෘථිවි දින 28 ක් වන නිසා චන්ද්‍රයා මත දිවා කාලය පවතින්නේ පෘථිවි දින 14 කි. ඒ නිසා යානාය සහ රෝවරය ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ දින 14 ක් පමණි. නමුත් ඒ සඳහා යානය ගොඩබැසිය යුත්තේ ගොඩබසින ස්ථානයට හිරු උදාවන මොහොතේය. මේ වන විට යානය ගොඩබැසීමට නියමිත වන්නේ අගෝස්තු 23 වනදායි.

Source: isro.gov.in