Loading...
International Space Station (ISS) හෙවත් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගොඩනැගුනේ මෙහෙමයි

මිනිසා විසින් දැනට අභ්‍යවකාශයේ ඉදි කර තිබෙන විශාලතම ව්‍යුහය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයයි. මිනිසුන් සහිත ස්ථිර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව වර්ෂ 1984දී "Space Station Freedom" නමින් ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාවක් නිසා මේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය වීම ආරම්භ වෙනවා. කෙසේ නමුත් මෙම යෝජනාව සමග තවත් රටවල් කිහිපයක් එක් වීම නිසා වර්ෂ 1993දී "Space Station Freedom" ලෙස පැවති නාමය "International Space Station" ලෙස වෙනස් කරනු ලබනවා. මින් වසර 5කට පසු එනම් 1998දී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අභ්‍යවකාශයේදී ආරම්භ වෙනවා.

Animation of the assembly of the International Space Station 

තව දුරටත් ගැඹුරු තාක්ෂණික තොරතුරු ගැන කතා කිරීමට මත්තෙන් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සම්බන්ධව ඕනෑම කෙනෙකු දැන ගත යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් ගගනගාමීන් 6 දෙනෙකු සිටිනවා. ගගනගාමියෙකුගේ සාමාන්‍ය මෙහෙයුම් කාලය මාස හයක් හෝ දින 182 ක් වන නමුත් ඔවුන්ගේ මෙහෙයුම අනුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ඔවුන් ගත කරන කාලය වෙනස් වෙනවා. දැනට බරින් කිලෝ ග්‍රැම් 419,725 වන මෙය දිගින් මීටර් 73ක් සහ පළලින් මීටර් 109ක් වෙනවා. මෙම අගයන් අනාගතයේදී නව මොඩියුල එක් කලහොත් හෝ තිබෙන මොඩියුල ඉවත් කලහොත් වෙනස් විය හැකියි.

අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින මෙම පර්යේෂණ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ (low Earth orbit) පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් ‍දැකගැනීමට හැකියාව පවතිනවා. පෘථිවි පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 408ක පමණ උසකින් කක්ෂගතව ඇති මෙය පැයට කිලෝමීටර් 27,600ක පමණ වේගයකින් ගමන් කරමින් දිනකට පෘථිවිය වටා කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදය (NASA), රුසියාව (RKA), ජපානය (JAXA), කැනඩාව (CSA), සහ යුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා චීනය හවුල් වී නොමැති අතර ඔවුන් Tiangong space station ලෙස නව අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2021 අප්‍රේල් 29 වන දින කක්ෂගත කරනු ලැබුවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කක්ෂයේ රදවා තබා ගැනීමට වරින් වර එය Re-boost කරනු ලබනවා. මේ සදහා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති Zvezda Service මොඩියුලය හෝ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණෙන අභ්‍යවකාශ යානා යොදාගනු ලබනවා.

චීනය විසින් නිර්මාණය කරන ලද Tiangong අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සූර්ය පැනල් සහ රේඩියේටර් සම්බන්ධ වී ඇති තිරස් ව්‍යුහය Integrated Truss Structure ලෙස හදුන්වනු ලබනවා. එම ව්‍යුහයට පහලින් සිරස් ලෙස ඇති ව්‍යුහය Pressurized modules වලින් සමන්විත වෙනවා. මෙම කොටස තුළ ගගනගාමීන්ට අභ්‍යාවකාශ ඇදුමක් නොමැතිව ජීවත් වීමට හැකියාව පවතිනවා. මෙම Pressurized modules වලින් සමන්විත සිරස් ව්‍යුහය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා.

පළමු කොටස Russian Orbital Segment (ROS) ලෙස හැදින්වෙනවා. මෙම කොටසේ ඇති සියලුම මොඩියුල නිර්මාණය කර ඇත්තේ රුසියාවයි. දෙවන කොටස United States Orbital Segment (USOS) ලෙස හැදින්වෙනවා. මෙම කොටසේ ඇති මොඩියුල ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය සහ කැනඩාව යන රටවල නිර්මාණය කර තිබෙනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති විවිධ කොටස් එහෙමත් නැතිනම් මොඩියුල පෘථිවියේ විවිධ ස්ථාන වල නිර්මාණය කොට පසුව අභ්‍යවකාශයේදී එකලස් (Assemble) කර තිබෙනවා. මෙසේ විවිධ වූ කොටස් අභ්‍යවකාශය වෙත ගෙන යෑමට ඇමරිකානු Space Shuttle එක, රුසියානු ප්‍රොටෝන් රොකට්ටුව හා රුසියානු සොයුස් (soyuz) රොකට්ටුව භාවිතා කර තිබෙනවා.

Russian Orbital Segment (පරිගණකයෙන් ජනනය කරන ලද රූපය)

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පළමුවෙන්ම අභ්‍යාවකාශ වෙත දියත් කල මොඩියුලය වන්නේ 1998 නොවැම්බර් මස Proton-K රොකට්ටුව ආධාරයෙන් දියත් කල රුසියානු මොඩියුලයක් වූ Zarya මොඩියුලයයි. මෙය Functional Cargo Block එහෙමත් නැතිනම් FCB ලෙසත් හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එකලස් කරන මුල් අවධියේ මෙම මොඩියුලය එහි ඇති සූර්ය පැනල් වලින් විදුලි බලයත්, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එහා මෙහා කරවීමට අවශ්‍ය ප්‍රචාලනය (propulsion) සහ මග පෙන්වීමත් (guidance) ලබා දෙනු ලැබුවා. වර්තමානයේ මෙම මොඩියුලය ගබඩාකටයුතු සදහා භාවිතා වෙනවා. මෙම මොඩියුලයේ ඉදිරිපස Docking Ports 3ක් සහ පිටුපස Docking Port එකක් දැක ගන්න පුලුවන්. මෙම Docking Ports අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අනෙකුත් කොටස් එහෙමත් නැතිනම් මොඩියුල එකින් එකට සම්බන්ධ කිරීමට භාවිතා කරනවා.

Zarya මොඩියුලය

දෙවනුව අභ්‍යාවකාශ වෙත දියත් කල මොඩියුලය වන්නේ 1998 දෙසැම්බර් මස දියත් කල ඇමරිකානු මොඩියුලයක් වූ Unity මොඩියුලයයි. මෙය Node 1 ලෙස ද හදුන්වනු ලබනවා. මෙම මොඩියුලය සිලින්ඩරාකාර හැඩයකින් නිර්මාණය කර ඇති අතර docking ports 6ක් පිහිටා තිබෙනවා. විවිධ මොඩියුල එකින් එකට සම්බන්ධ කිරීමේදී එහෙමත් නැතිනම් dock කිරීමේදී විවිධ වූ Docking Mechanisms භාවිතා වෙනවා.

ඒ අනුව Zarya මොඩියුලය සහ Unity මොඩියුලය එකට dock කිරීම සදහා විශේෂ කොටසක් භාවිතා කර තිබෙනවා. මෙය Pressurized Mating Adapter එහෙමත් නැතිනම් කෙටියෙන් PMA ලෙස හදුන්වනු ලබනවා. Unity මොඩියුලය අභ්‍යාවකාශ වෙත දියත් කලේ මොඩියුලයේ පිටුපස සහ ඉදිරිපස ඇති Docking Ports වල මෙම PMA කොටස් සහිතවයි. ඒ අනුව PMA-1 Adapter එක Zarya මොඩියුලය සහ Unity මොඩියුලය එකට Dock කිරීම සදහා භාවිතා කරනු ලැබුවා. PMA-2 Adapter එක Shuttle Docking Port එකක් ලෙස භාවිතා වෙනවා.

Unity මොඩියුලය

අභ්‍යාවකාශ වෙත දියත් කල තුන්වන මොඩියුලය වන්නේ 2000 වර්ශයේ ජූලි මස Proton-K රොකට්ටුව ආදාරයෙන් දියත් කල රුසියානු මොඩියුලයක් වූ Zvezda මොඩියුලයයි. මෙය Zvezda Service Module ලෙසත් හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානට අවශ්‍ය සියලුම ජීවිත ආධාරක පද්ධති (life support systems) සපයනු ලබන්නේ මෙම මොඩියුලයයි. මෙම මොඩියුලය Russian Orbital Segment (ROS) ලෙස හැදින්වෙන කොටසේ ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී (structural and functional) කොටස ලෙස සැලකෙනවා. මෙම මොඩියුලයේ ඉදිරිපස Docking Ports 03ක් සහ පිටුපස Docking Port 1ක් තිබෙනවා. මෙම මොඩියුලය ගගනගාමීන් දෙදෙනෙකු සඳහා Quarters ලෙස ද භාවිතා වෙනවා.

Zvezda මොඩියුලය

මීළගට වර්ෂ 2000 ඔක්තොම්බර් මාසයේ ඇමරිකානු Z1 truss කොටස Unity මොඩියුලයේ උඩ ඇති Docking Port එකට සම්බන්ධ කරනු ලබනවා. මෙය ප්‍රධාන Truss එකේ කොටසක් නොවුනත් තාවකාලික Mounting Point එකක් ලෙස භාවිතා කෙරුනා. මෙහි Control Moment Gyroscope (CMG) එකක් අඩංගු වුණා. Z1 Truss කොටස Unity මොඩියුලයේ උඩ ඇති Docking Port එකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව Unity මොඩියුලයේ යට ඇති Docking Port එකට තවත් Pressurized Mating Adapter එකක් සවි කරනු ලැබුවා. මෙය PMA-3 ලෙස හැදින්වෙනවා.

වර්ෂ 2000 නොවැම්බර් මාසයේදී P6 truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ උඩ  සවි කරනු ලැබුවා. මෙම P6 Truss කොටස සවි කිරීමෙන් පසුව එහි ඇති විශාල Solar Array Wing (SAW) නිසා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තාපය පිට කිරීම සදහා රේඩියේටර් පැනල් කිහිපයක්ද P6 Truss කොටසේ සවි කොට තිබුනා.

P6 Truss කොටස තාවකාලිකව Z1 Truss කොටසේ සවි කිරීමෙන් අනතුරුව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන්ට ජීවත් වීමට අවශ්‍ය තරමේ ක්‍රියාකාරීත්වයක් මධ්‍යස්ථානය තුළ තිබුනා. ඒ අනුව වර්ෂ 2000 නොවැම්බර් මස සිට අද දක්වා අඛණ්ඩ මිනිස් පැවැත්මක් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ තිබෙනවා.

වර්ෂ 2001 පෙබරවාරී මාසයේ ඇමරිකානු මොඩියුලයක් වන Destiny මොඩියුලය Unity මොඩියුලයට සම්බන්ධ කරනු ලබනවා. මෙය  U.S. Lab ලෙසද හැදින්වෙනවා. මෙය Unity මොඩියුලයට සම්බන්ධ කිරීමට සුළු වෙනස් කමක් කිරීමට සිදු වුනා. ඒ අනුව Unity මොඩියුලයේ ඇති PMA-2 Adapter එක ගලවා එම ස්ථානයට Destiny මොඩියුලය සම්බන්ධ කරනු ලැබුවා. ඉන් පසුව PMA-2 Adapter එක Destiny මොඩියුලයේ ඉදිරිපස කොටසේ ඇති Docking Port එකකට සම්බන්ධ කරනු ලබනවා.

Destiny මොඩියුලය

වර්ෂ 2001 මාර්තු මාසයේදී ඇමරිකානු External stowage platform 1 එහෙමත් නැතිනම් කෙටියෙන් ESP-1 කොටස මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය අමතර කොටස් (spare parts) එහෙමත් නැතිනම් Orbital Replacement Units (ORUs) ගබඩා කර තබන ස්ථානයක් ලෙස ESP-1 කොටස හදුන්වන්න පුලුවන්.

2001 වර්ෂයේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ නිශ්පාදනය කල Canadarm2 නැමති රොබෝ අත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Space Station Remote Manipulator System (SSRMS) ලෙසද හදුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් මධ්‍යස්ථානය තුළ සිටිනා ගගනගාමියෙකු විසින් පාලනය කරනු ලබන මෙය මධ්‍යස්ථානයේ එකලස් කිරීම් සහ නඩත්තු කිරීම් කටයුතු වලදී භාවිතයට ගැනෙනවා.

ගගනගාමින්ට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පිට ආරක්ශිතව EVA එහෙමත් නැතිනම් Spacewalk සිදු කිරීමට උපකාරී වන Quest Joint Airlock කොටස 2001 ජූලි මාසයේදී Unity මොඩියුලයට සම්බන්ධ කරනු ලබනවා.

Quest Joint Airlock

2001 සැප්තැම්බරි මාසයේදී රුසියානු මොඩියුලයක් වන Pirs මොඩියුලය සම්බන්ධ කරනු ලබනවා. මෙය මධ්‍යස්ථානය වෙත පැමිණෙන අභ්‍යවකාශ යානා සදහා Docking Port එකක් ලෙස හෝ ගගනගාමින්ට Spacewalk සිදු කිරීමට උපකාරී වන Airlock එකක් ලෙස භාවිතා කල හැකි වෙනවා.

Pirs මොඩියුලය

2002 අප්‍රේල් මාසයේදී පමණ Integrated Truss Structure එක එකලස් කිරීම ආරම්භ වෙනවා. ඒ අනුව S0 Truss කොටස, Mobile Remote Servicer Base System (MBS) කොටස, S1 Truss කොටස, P1 Truss කොටස මධ්‍යස්ථානය එකතු කරනු ලබනවා. කලින් සදහන් කල ආකාරයේ තවත් External Stowage Platform එකක් (ESP-2) 2005 වර්ෂයේ ජූලි මාසයේදී Quest Joint Airlock කොටස සමීපයෙන් සම්බන්ධ කරනු ලබනවා.

2006 සැප්තැම්බර් මාසයේදී සූර්ය පැනල සහ රේඩියේටර් පැනලයක් සහිත P3/P4 Truss කොටස සම්බන්ධ කරනු ලබනවා. P3/P4 Truss කොටස අවසානයේ P5 Truss කොටස සම්බන්ධ කරනු ලබනවා. 2007 වර්ෂයේදී මධ්‍යස්ථානයේ අනෙක් කොටසට අවශ්‍ය S5 Truss කොටස එක් කරනු ලබනවා. 2007 අගෝස්තු මාසයේදී තවත් එක් External stowage platform එකක් (ESP-3) සවි කරනු ලබනවා.

වර්ෂ 2000 නොවැම්බර් මාසයේදී තාවකාලිකව Z1 Truss කොටසේ උඩ  සවි කරනු ලැබු P6 Truss කොටස 2007 ඔක්තොම්බර් මාසයේදී  Z1 Truss කොටසින් ගලවා එය P5 Truss කොටසේ අගින් සවි කරනු ලබනවා.

2007 ඔක්තෝම්බර් මාසයේදී Harmony මොඩියුලය Destiny මොඩියුලයේ ඉදිරි අන්තයට සවි කරනු ලබනවා. මෙය Node 2 ලෙසද හදුන්වනු ලබනවා. අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තවදුරටත් පුළුල් කිරීම සදහා අවශ්‍ය Docking Ports 6ක් Harmony මොඩියුලයේ පිහිටා තිබෙනවා. 2008 පෙබරවාරි මාසයේදී යුරෝපියානු මොඩියුලයක් වන Columbus මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා.

Harmony මොඩියුලය

2008 මාර්තු මාසයේදී කැනඩාවේ නිෂ්පාදිත Dextre නමින් තවත් රොබෝ අතක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය Special Purpose Dexterous Manipulator (SPDM) ලෙසද හදුන්වනු ලබනවා. Canadarm2 සවි කිරීමට භාවිතා කල Grapple Fixtures වලටම මෙම රොබෝ අතත් සවි කිරීමට හැකි වන ලෙස මෙය නිර්මාණය කොට තිබෙනවා. කෙසේ නමුත් මෙය බොහෝ විට භාවිතා වන්නේ Canadarm2 වල අගට සවි කිරීමෙනි.

Dextre රොබෝ අත

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කල විශාලතම මොඩියුලය වන්නේ Kibō යන අන්වර්ථ නාමය හදුන්වනු ලබන Japanese Experiment මොඩියුලයයි. මෙය කොටස් තුනකට අභ්‍යාවකාශගත කර ඇති අතර Harmony මොඩියුලයට සවි කර තිබෙනව.

Japanese Experiment මොඩියුලය

වර්ෂ 2009 මාර්තු මාසයේදී S6 Truss කොටස S5 Truss කොටසට සම්බන්ධ කර Integrated Truss Structure එක අද පවතින ආකාරයට ගොඩ නගනු ලබනවා.

2009 වර්ෂයේ ජූලි මාසයේදී Japanese Experiment මොඩියුලයට තවත් එක් කොටසක් එක් කරනු ලබනවා. ඒ Japanese Exposed Facility එකයි. මෙම මොඩියුලය මගින් අභ්‍යාවකාශයේ පවතින රික්තය තුළ පර්යේෂණ පැවැත්වීමට ගගනගාමීන්ට හැකියාව ලැබෙනවා.

Pirs මොඩියුලයට සමාන තවත් රුසියානු මොඩියුලයක් වන Poisk මොඩියුලය 2009 නොවැම්බර් මාසයේදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සවි කරනු ලබනවා. මෙය  Mini-Research Module 2 (MRM 2) ලෙසද හදුන්වනු ලබනවා. මෙය රුසියානු අභ්‍යවකාශ යානා Dock කිරීම සදහා තවත් ස්ථානයක් ලෙස භාවිතා වේ. Zvezda මොඩියුලයේ උඩින් පිහිටා ඇති Docking Port එකට මෙය සම්බන්ධ කොට තිබෙනව.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය දෘඩාංග ගබඩා කොට තබන ස්ථානයක් වන (ExPRESS) Logistics Carrier (ELC) කිහිපයක්ම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කොට තිබෙනවා. ELC-1 එක P3 Truss එක මතත්, ELC-2 එක S3 Truss එක මතත්, ELC-3 එක P3 Truss එක මතත්, ELC-4 එක S3 Truss එක මතත් සවිකොට තිබෙනවා.

ELC-1

වර්ෂ 2010 පෙබරවාරි මාසයේදී ඇමරිකානු මොඩියුලයක් වන Tranquility මොඩියුලය Unity මොඩියුලයේ පැත්තකින් සවි කරනු ලබනවා. මෙය Node 3 ලෙසද හදුන්වනු ලබනවා. මෙහි පාරිසරික පාලන පද්ධති (environmental control systems), ජීවිත ආධාරක පද්ධති ( life support systems), වැසිකිළියක් සහ ව්‍යායාම උපකරණ අඩංගු වෙනවා. Tranquility මොඩියුලයේ යට Cupola ලෙස හැදින්වෙන මොඩියුලයක් පිහිටා තිබෙනවා. මෙය ජනෙල් 7කින් යුක්ත නිරීක්ෂණ මොඩියුලයක් වන අතර පෘථිවියේ නිරීක්ෂණ කිරීමට, අත්හදා බැලීම් සිදු කිරීමට මෙම මොඩියුලය භාවිතා වෙනවා.

Tranquility මොඩියුලය

2010 මැයි මාසයේදී රුසියාව විසින් නිෂ්පාදනය කල Rassvet මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. Mini-Research Module 1 (MRM-1) ලෙසද හදුන්වන මෙය docking port එකක් සහ ගබඩා කිරීම් සදහා භාවිතා කරනු ලබනවා.

2011 පෙබරවාරි මාසයේදී Leonardo මොඩියුලය එහෙමත් නැතිනම් Leonardo Permanent Multipurpose Module (PMM) එක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙනවා. මෙය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අමතර කොටස්, සැපයුම් සහ අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා භාවිතා කරනු ලබනවා.

Leonardo මොඩියුලය

2011 මැයි මාසයේදී Alpha Magnetic Spectrometer (AMS-02) නැමති Particle Physics Experiment මොඩියුලය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කරනු ලබනවා. මෙමගින් කොස්මික් කිරණ වල ඇති Antimatter ගැන සොයා බැලෙනවා.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මෑතකදී එක් වුන මොඩියුලයක් වන්නේ වර්ෂ 2016 අප්‍රේල් මාසයේ සම්බන්ධ කල Bigelow Expandable Activity Module (BEAM) මොඩියුලයයි.

Bigelow Expandable Activity මොඩියුලය ක්‍රමාණුකූලව පුළුල් කිරීම

Outer Space ගිවිසුමට අනුව එක්සත් ජනපදය සහ රුසියාව ඔවුන් දියත් කළ සියලුම මොඩියුල සඳහා නීත්‍යානුකූලව වගකිව යුතු වෙනවා. කෙසේ නමුත් මිනිසා විසින් සාදන ලද වඩාත්ම මිල අධිකම වස්තුව වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. එහි අවසාන පිරිවැය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන සදහා අරමුදල් සැපයීම දීර්ඝ නොකලහොත් 2025න් පසුව මෙම ව්‍යාපෘතිය අවසන් වන අතර ඉන් පසුව මෙම මධ්‍යස්ථානයේ කොටස් වෙනත් අභ්‍යවකාශ ව්‍යාපෘති සදහා භාවිතා කරනු ඇත.

International Space Station Assembly (Credit: NASA Video)

කොටස් බොහෝමයක් ඇති මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථායේ ව්‍යුහය සිතින් මවා ගැනීමට අපහසු නම් ඉහල ඇති Video එකත් සමග මේ ලිපිය කියවන්න.

Photo Credit: Wikipedia