Loading...
ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවය ලබා දිමට සුදානම් වේ???

Starlink කියන්නේ ලෝකයේ ඕනෑම තැනකට අඩු වියදම්, අධිවේගී අන්තර්ජාල සේවා ලබා දීම සඳහා ඇමරිකාවේ SpaceX සමාගම මගින් දියත් කරමින් පවතින, පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකා 12,000 ක පමණ චන්ද්‍රිකා ජාලයක්. මේ වන විට ඇමරිකාවේ Amazon සමාගම සහ චීනය මෙවැනි අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා ජාල දියත් කිරීමට සූදානමින් පවතින අතර බහුජාතික OneWeb සමාගම Starlink තරම් විශාල නොවන අන්තර්ජාල චන්ද්‍රිකා ජාලයක් දියත් කරමින් පවතී. මේ වන විට කිලෝමීටර් 500-600 ක් ඉහළ පෘථිවි කක්ෂවලට Starlink චන්ද්‍රිකා 4,200 ක් පමණ දියත් කර ඇති අතර ඒ අතරින් චන්ද්‍රිකා 3,700 ක් පමණ ක්‍රියාකාරී මට්ටමේ පවතී.

මේ වන විට වර්ග 4 ක Starlink චන්ද්‍රිකා දියත් කර ඇත. මුළින්ම යැවූ පරීක්ෂණ චන්ද්‍රිකා යොදා ගත්තේ තාක්ෂණයන් පරීක්ෂා කිරීමට පමණි. ඉන්පසු Starlink v1.0, v1.5 සහ V2.0 Mini වර්ගවල සේවා සපයන චන්ද්‍රිකා දියත් කර ඇත. v1.0 සහ v1.5 වර්ගවල චන්ද්‍රිකා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ස්කන්ධයක් ඇති මෙම චන්ද්‍රිකාවක සූර්ය පැනල 1 ක් ඇත. v2.0 Mini වර්ගයේ චන්ද්‍රිකාවල හැකියාවන් වඩා ඉහළ අතර ඒවායේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1,250 ක් වේ. මේවායේ සූර්ය පැනල් 2 ක් ඇත.

මෙම චන්ද්‍රිකා දියත් කරන්නේ කෙසේද?

මේ වන විට සියලුම චන්ද්‍රිකා දියත් කරනු ලැබුවේ SpaceX සමාගමේ Falcon 9 Block 5 රොකට්ටු මගින්ය. එක රොකට්ටුවක් මගින් v1.0 සහ v1.5 චන්ද්‍රිකා එකවර 45-60 ක් බැගින් දියත් කරයි. මෙම සංඛ්‍යාව වෙනස් වන්නේ ගෙන යන කක්ෂය අනුවයි. v2.0 Mini චන්ද්‍රිකාවල ස්කන්ධය වැඩි නිසා Falcon 9 රොකට්ටුවකින් එකවර දියත් කළ හැක්කේ 21 ක් පමණි.

මෙම චන්ද්‍රිකා අතර සන්නිවේදනය හා පෘථිවිය සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද?

චන්ද්‍රිකා අතර සන්නිවේදනය ලේසර් මගින් සිදු කරන අතර චන්ද්‍රිකා හා පෘථිවිය අතර සන්නිවේදනය Ka (26.5-40 GHz) හා Ku (12-18 GHz) කලාපයේ ක්ෂුද්‍ර තරංග හරහා සිදු කරයි.

ජංගම දුරකථනය කෙළින්ම චන්ද්‍රිකා සමග සම්බන්ධ කර අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකිද?

බැහැ. ඒ සදහා User Terminal නම් පීසා පෙට්ටයක්/ලැප්ටොප් එකක් ප්‍රමාණයේ ඇන්ටනාවක් අවශ්‍ය වේ. මෙම User Terminal ඇන්ටනාව ඔබේ වහලය මත හෝ පිටත ඕනෑම තැනක සවි කර විවෘත අහසට එල්ල කළ තැබිය යුතුයි. මෙහි Phased Array ඇන්ටනාවක් ඇති අතර එය ස්වයංක්‍රීයව ඉහළින් ගමන් කරන චන්ද්‍රිකා සමග සම්බන්ධ වේ. ඒ චන්ද්‍රිකා පරාසය ඉක්මවා යන විට ස්වයංක්‍රීයව තවත් චන්ද්‍රිකාවලට මාරු වෙමින් නොකඩවා සම්බන්ධතාව පවත්වා ගනී. User Terminal එක මගින් නිර්මාණය කරන WiFi ජාලයට සම්බන්ධ වීමෙන් ඔබට දුරකථනය හෝ පරිගණකය හරහා අන්තර්ජාල සේවා ලබා ගත හැක.

මෙම උපකරණය මෝටර් රථයක් මත සවි කළ හැකිද?

ඔව්, වාහන වැනි ජංගම රථයන් වෙනුවෙන් Starlink Roam User Terminal පවතී. එහෙන්ම ගුවන් යානා සහ නෞකා වෙනුවෙනුත් සෑදූ ඇන්ටනා වර්ග තිබේ.

මෙම සේවා සදහා මසකට කොපමණ මුදලක් ගෙවීමට සිදු වේද?

User Terminal ඇතුළු උපාංග කට්ටලය මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් 599 ක් වැය වන අතර ඉන්පසු මාස් පතා ඇමරිකානු ඩොලර් 110 ක සේවා ගාස්තුවක් ගෙවීමට සිදු වේ. ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් මීට වඩා මිලෙන් සහ වේගවත් සේවාවන් සපයයි. ඒ වෙනුවෙන්‌ වෙනම User Terminal මිලදී ගත යුතු වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම මිල ගණන් වෙනස් වේ දැයි නොදනී.

සාමාන්‍ය පරිශීලකයාට අපේක්ෂා කළ හැකි වේගය කුමක්ද?

500 megabit per second පමණ Download Bandwidth එකක් වාර්තා වේ. මෙය වෙනස් වේ.

ශ්‍රී ලංකාවට මෙම සේවය ලැබෙන්නේ කවදාද?

Starlink චන්ද්‍රිකා ජාලය මුළු ලෝකයම ආවරණය කරනු ඇත. කෙසේ නමුත් අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීමට එක් එක් රටවල්වල රජයෙන් SpaceX සමාගමට අවසර ලැබිය යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවට 2023 දී සේවා ලබා දීමට බලාපොරොත්තු වන බව Starlink නිල වෙබ් අඩවියේ දක්වා ඇත. මිට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙය ශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට මුලික ශක්‍යතා අධ්‍යනයන් සිදු කිරිමට අවසර ලබා ගත් බවත් සදහන් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අවසර ලැබුණු පසු ලංකාවටත් මෙම සේවාව භාවිත කිරිමට හැකියාව ලැබෙනු ඇත.

මෙය Fibre Optics සහ 5G වලට වඩා‌ වේගවත්ද?

නැත. Fibre Optics හරහා 1 Gbps පමණ වේගයන් ලබා ගත හැකි අතර 5G ඊටත් වඩා වේගයන්ට ළගා වේ. නරගබද ප්‍රදේශවලදී Starlink වැනි චන්ද්‍රිකාවලින් ලැබෙන අන්තර්ජාල සේවාවන්ගේ වේගය නිතැතින්ම අඩු වේ.

SpaceX සමාගම පවසන්නේත් ‌Starlink ඉලක්ක කරන්නේ අධිවේගී අන්තර්ජාල සේවා නොමැති නගරවලින් පිටත ප්‍රදේශවලට බවයි. ඒ නිසා Elon Musk වටා ගෙතුණු "Hype" එකට මුලා වී දුටු සැණින් Starlink මිලදී ගැනීමට නොයා තමන්ට දැනට ලැබෙන අන්තර්ජාල සේවාවන් සමග සංසන්දනය කර අවශ්‍යතාවයක් පවතී නම් පමණක් Starlink හෝ ඒ ආකාරයේ වෙනත් චන්ද්‍රිකා අන්තර්ජාල සේවයකට මාරු වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මේ Starlink අන්තර්ජාල සේවාව සදහා අවසර ලබා දුන් පසු ඔබටත් මේ සේවාව භාවිත කිරිමට අවශ්‍ය නම් මේ ඔස්සේ මෙම සේවාව ඇණවුම් කිරිමේ හැකියාව පවතිනවා.

Sources: Starlink