Loading...
කතුවැකිය: Apple සමාගම Search engine එකක් නොහදා ඉන්න එක වෙනුවෙ​න් Google සමාගමෙන් මුදල් ගෙවන්නේ නිරපරාදෙද? ඇත්තටම ගෙවන්නේ මුදල්​ද?

මුලින්ම කියන්න ඕනේ කතු වැකිය කියන්නේ Android වැඩකාරයෝ ප්‍රථම වතාවට ඔබ වෙත ගෙන එන අළුත්ම විශේෂාංගයයි. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ වනකොට ලොව පුරා කතා වෙන ප්‍රධානතම tech news එක ගැන අපි අපේ කෝණයෙන් සහ ඒ සම්බන්ධව ඇති අනෙකුත් සාධක එකට එකතු කරගෙන අරගෙන එන විශ්ලේෂණය​ක් ඔබ හමුවේ තැබීමටයි. මෙහි සඳහන් වන කරුණු සම්බන්ධයෙන් ඔබට විවාද කිරීමේ සම්පූර්ණ අයිතිය ඇති බව කරුණාවෙන් සලකන්න.

මෑතකදි කරලියට ආපු ආපු කතාවක් තමයි Apple සමාගම විසින් search engine එකක් නිර්මාණය කිරීම වලක්වාලීමට, එහෙමත් නැත්තම් search engine එකක් නිර්මාණය කිරීමෙන් වැලකී සිටීම​ට Google සමාගම විසින් Apple සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන ගණනාවක් වාර්ෂිකව ගෙවන්වා කියන කතාව. ඒ ගැන Android වැඩකාරයෝ අපිත් ඔයාලට වාර්තා කරා කියල අපිත් එක්ක රැදී සිටින පාඨක ඔබට හොදින් මතක ඇති.

මේ Google සමාගම විසින් Apple සමාගම සමඟින් එයාලගේ search engine එක සම්බන්ධ කරගෙන කරපු පළවෙනි ගණුදෙනුව නෙවෙයි. 2022දී වාර්තා වෙච්ච ඉහත දැක්වූ සිද්ධියට අමතරව 2021දී Google සහ Apple සමාගම අතර වාර්ෂිකව තවත් ගණුදෙනුවක් වෙනවා කියල හෙලි වෙනවා. එකක් මදිවට දෙකක් දැන්, මොකද ගොඩක් අය මේ වෙනකොට දෙවෙනි එක ගැන දැනගෙන හිටියට මම දැන් මේ කියන්න යන දෙවෙනි එක ගැන දන්නේ බොහොම පොඩි පිරිසක් විතරයි.

මේ කියන්න යන පළවෙනි සිද්ධිය තමයි, Apple සමාගම විසින් භාවිතා කරන Safari web browser එකේ එන default search engine එක විදිහට Google එක භාවිතා කරනවාට Google සමාගම විසින් Apple සමාගමට වාර්ෂිකව ඩොලර් බිලියන 12ක් ගෙවලා තියෙනවා කියන හෙලි වෙන එක. ඒකත් හෙලි වෙන්නේ මේ සමාගම් වලට එරෙහිව යන නීතිමය කටයුත්තකදි වීමත් විශේෂත්වයක්.

ඇත්තටම ඇයි Google සමාගම මේ විදිහට Apple එකට ඩොලර් බිලියන ගණන් වලින් ගෙවන්නේ? එහෙම කරල පලක් තියෙනවද? කොහොමද මේවා ගෙවන්නේ? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන.

Apple සමාගම කියන්නේ මේ ලිපිය ලියනකොට​ත් ලොව පුරා තම පරිශීලකයන් අතැතිව සක්‍රීයව කටයුතු කරන බිලියන 1.6කට ආසන්නව (අඩු හෝ වැඩි විය හැකිය) උපාංගවලින් සමන්විත ecosystem එකක් හිමි සමාගමක් කියන එක ඔය කවුරුත්ම දන්නවාද? ඉතිං මේ වගේ සමාගමක මේ වගේ eco system එකක් පාවිච්චියට ගන්න තියෙනව නම්, තම ප්‍රධාන ව්‍යාපාරය වෙළඳ දැන්වීම් කරගත්තු සමාගමකට කොයි වගේ වාසියක්, කොයි වගේ දත්ත ප්‍රමානයක්, කොයි තරම් පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව ලැබෙනවා ඇතිද?

Advertising company එකක් වෙන Google

ඇයි මං උඩ කියල තියෙන ඡේදයට වෙළඳ දැන්වීම්, එහෙමත් නැත්තම් Advertising company කියන එකක් ගත්තේ? වර්තමානය වෙනකො​ට අපි කවුරුත්ම දන්නේ Google සමාගම කියන්නේ software engineering company එකක්, එක එක softwares, apps, Android OS එක හදන, Google search engine එක හදනවා වගේ එක එක technological දේවල් කරන සමාගමක් විදිහට. ඒත් මීට බොහොම කාලයකට පෙර Google එක හැදින්වූයේ Search engine එකක් හදන සමාගමක් විදිහට විතරයි. නමුත් Google සමාගමේ ප්‍රධානතම වෙළඳ පරමාර්ථය වන්නේ වෙළඳ දැන්වීම් පල කිරීම කියන එක ඔයා දැනගෙන හිටියාද?

ඔව් Google සමාගම කියන්නේ ලොව ප්‍රධාන පෙලේ internet advertising company එකක්. ඒ හරහා ලැබෙන ආදායම කොච්චරක්ද කියනව නම්, Google සමාගමේ මුළු ආදායමෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සපිරෙන්නේ වෙළඳ දැන්වීම් වලින්.

මේ ගැන තවත් පැහැදිලිව බලාගන්න පුළුවන්, Google සමාගමේ ප්‍රධාන​ම ආදායම් මාර්ග මොනවද කියන එක හරියටම දැනගත්තොත්. Google සමාගමේ ආදායම පහත ආකාරයට කොටස් 6කට බෙදෙනවා.

  1. Google AdWords and Search Advertising
  2. Google AdSense Network
  3. Google Fiber
  4. Google Nest
  5. Verily Life Sciences
  6. Google's Other Bets

ඉහත දක්වපු කොටස් 6න් අංක 1 සහ 2 දරණ කොටස් වලින් තමයි Google සමාගමේ ආදායම් මාර්ගයෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සැපිරෙන්නේ.

ඉතිං කල්පනා කරල බලන්න, Apple සමාගමේ eco system එක හරහා තමන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන Advertising වලට භාවිතා කරන ප්‍රධානතම ක්‍රමය වන Google search engine එක Apple ecosystem එකේ default search engine එක විදිහට දාගන්න හම්බුනාම Google සමාගමට කොච්චර නම් පරිශීලකයන් ප්‍රමාණයකට ආයාසයකින් තොරව ලඟා වෙන්න පුළුවන්ද, ඔවුන්ගේ දත්ත ලබා ගන්න පුළුවන්ද, ඒ දත්ත විශ්ලේෂණය කිරීම හරහා වඩාත් ඵලදායිකව කොහොමද ඒ ඒ එක් එක් පරිශීලකයාට ආවේණික වූ හැසිරීම් රටාවන්ට සහ සාධකයන්ට අනුකූලව අදාල වෙළඳ දැන්වීම් පෙන්වලා වැඩි ආදායමක් ලබා ගන්නේ කොහොමද කියල සහ තවත් විශාල කාරණාවන් රාශියක් ඉතු​රු කරගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම 2022 සිද්ධියට අපි ආවොත් කාට හරි හිතන්න පුළුවන් ඇයි Google සමාගමෙන් Apple සමාගමට සල්ලි ගෙවන්නේ search engine එකක් නොහදා ඉන්න සහ, බිලියන 1.6කට එහා active devices තියෙන Apple වගේ සමාගමක් ඇයි තමන්ගෙම search engine එකක් හදලා ඒකෙන් ආදායමක් උපයන්නේ නැත්තේ කියල.

ඕකට කාරණා තුන​ක් තියෙනවා.

  • Apple සමාගමෙ ප්‍රධානතම ව්‍යාපාර මොඩලය වෙළඳ දැන්වීම් නොවීම
  • Search engine එකක් හදලා ඒක පවත්වාගෙන යනවාට දරණ පිරිවැයට වඩා ඒ මුකුත්ම නොකර වෙනත් අයෙකුගේ search engine එකක් භාවිතා කරලා තමන්ට ආදායමක් උපයා ගත හැකිවීම
  • Apple සමාගමෙන් search engine එකක් හැදුවත්, ඒක Google එකේ මට්ටමට අරගෙන එන්න සෑහෙන්න කාලයක් ගත වීම සහ Google සමාගමේ search engine එක AI හරහා හොදින් බල ගැන්විච්ච එකක් නිසා අමුතුවෙන් මහන්සියක් නොදරාම තම පරිශීලකයන්ට හොඳ සේවාවක් ලබා දීමට හැකි වීම.

ඔය කාරණා 3ට අමතරව හතර වෙනි කාරණාවකුත් තියෙනවා. ඒ තමයි තමන් විසින් Search engine එකක් නිර්මාණය කලොත් එය අසාර්ථක වීමේ ඉඩකඩ ඉතාමත් විශාල බ​ව සහ තමන්ට තරඟ කරන්න වෙන්නේ Google කියන සමාගම එක්ක පමණක් නොවෙයි කියන එක. මොකද මේ වෙනකොට ලෝකයේ Google search engine එක සමඟින් තරඟ වැදීමට තවත් search engine ගණනාවක් සිටින බැවිනි.

එවැනි වාතාවරණයක් යටතේ අසීමිත සැපයුමක් ඇති වෙළඳ පලකින් හොඳම සේවාව වෙත යොමු වීම Apple සමාගම විසින් සිදු කර තිබෙනවා සහ, ඔවුන්ගේ ගාස්තුවට එකග වීමට හැකියාව ඇති එකම සමාගම ලෙස Google ඉදිරිපත්ව තිබෙනවා.

ඒ වගේම Apple සමාගම කියන්නේ මේ වෙනකොට ජංගම දුරකතනය සමඟින් ලබා දෙන චාජරය පවා ඉවත් කර එය වෙනම විකුණා මුදල් උපයමින් සිටින සමාගමක් බව මුළු ලොවම දන්නා කාරණාවකි. එවැනි සමාගමක් විසින් තම වෙබ් බ්‍රවුසරයේ default search engine එක ලෙසින් වෙනත් සමාගමක search engine එකක් යොදනවාට මුදල් අය කිරීම සිදු නොකරතැයි නොසිතීමේ කිසිදු පලක් නැත. නමුත් තමන් සතු වෙළඳ පල කොටසත් සමඟින් එවැනි එකාධිකාරී ගතිලක්ෂණ ගෙනහැර දැක්වීම පුදුමයට හෝ හාස්‍යට ලක් නොකල යුතු කාරණාවන්‍ වේ.

Apple එකට ගෙවන්න Google එක බිලියන ගණනින් සල්ලි දෙනවාද?

ලිපි​යේ අවසානයට ලඟා වෙලා ඉන්න මේ මොහොතේ ඔයාලට හිතෙන්න පුළුවන් Google එකෙන් ඔච්චර ගාණක් Apple එකට එක පාර ගෙවනවද කියලා. Google කියන්නේ advertising company එකක් කියලා මම ඉහතදිත් සඳහන් කරා කියල ඔයාලට මතක ඇති. Google එකෙන් Apple එකට ගෙවන මුදලෙන් වැඩි ප්‍රමාණයක් ගෙවීම සිදු කරන්නේ Apple සමාගමේ දැන්වීම් Google හරහා පල කිරීම මඟිනි. ඉතිරියට මුදලින් ගෙවීම් කර පියවීම සිදු කරනවා.

Apple සමාගම මෙහිදී ඉතාමත් දක්ෂ ආකාරයෙන් තමන්ගෙ game එක play කරලා තියෙනවා කියල දැන් හැමෝටම තේරෙනවා ඇති. Google search engine එක බිලියන 1.6ක් වෙච්ච තමගේ සක්‍රීය උපාංග වල default search engine එක කරලා, ඒ වෙනුවට දැන්වීම් පලකරවාගෙන, ඒ දැන්වීම් වලින් තමන්ගේ විකුණුමු​ත් ඉහල නංවාගෙන, මුදලුත් ලබාගෙන search engine එකක් නිර්මාණයට වැයවෙන මුදල ඉදිරියේදී එලිදැක්වීමට ඇති උපාංග සංවර්ධනය කිරීමේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන එක දක්වා Apple සමාගම ඉතාමත් දක්ෂ ලෙස කටයුතු කරමින් සිටිනවා.

එතකොට Google සමාගම, තමන්ගේ platform එක භාවිතා කරලා වෙළඳ දැන්වීම් පල කරලා දීලා, ලෝකයේ වෙනත් කිසිම සමාහමට ලබා ගත නොහැකි ecosystem එකක් හරහා එහි පරිශීලකයන් වෙත ලඟාවීමේ හැකියාව හැකියාව ලබාගෙන වැඩිදුර දත්ත එකතු කරගනිමින් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව තම දැන්වීම් පලකිරීම් සිදු කරමින් ආදායම ඉහළ නංවා ගනිමින් සිටිනවා.

Google එක advertising company එකක් නම් ඇයි තව ඒවා කරන්නෙ?

Google සමාගමේ සේවාවන් වලින් යුතු Android මෙහෙයුම් පද්ධතියේ සිට ඔවුන්ගේ අනෙකුත් සෑම සේවාවක් හරහාම ඔව්න් සිදු කරන්නේ අපගේ දත්ත සහ අපගේ සියළුම දෑ පිලිබඳව විමසිල්ලෙන් සිට ඒවා track කරමින් දත්ත එක් රැස් කිරීමයි. එහි අවසාන පරමාර්ථය වන්නේ Google සමාගමේ වෙළඳ දැන්වීම් ඉතාමත් හොදින් මහජනයා වෙත සැපයා තම ආදායම ඉහල නංවා ගැනීමයි. මීයක් කඩන්නේ අත ලෙව කන්නම නෙවෙයි කියන එකත් මතක තියා ගමු.