Loading...
Google සමාගමේ ChromeOS එකට එරෙහිව Microsoft සමාගමේ Windows 10X; නිකුත් වීම මේ වසර අවසානයේදී

ChromeOS දැන් තිබෙන ලොව ජනප්‍රියම web based මෙහෙයුම් පද්ධතිය බව ඔබ දන්නවා. සරල, මෙන්ම සාමාන්‍ය ජනතාවට එදිනෙදා වැඩකටයුතු කරගන්නට අවශ්‍ය මුලික පහසුකම් පමණක් ඇති මෙම ChromeOS මගින් බලගැන්වුණු අඩු මිල පරිගණක දැන් (බොහොමයක් බටහිර ලෝකයේ) පාසැල් අතර ජනප්‍රියයි.

ChromeOS මුළුමනින්ම වගේ Chrome browser හා Google eco system එක මත රඳා පවතින්නක්. Source: Fandom

කොතරම් ජනප්‍රියද කිවහොත් මේ වනවිට ChromeOS වල market share එක MacOS ද අභිබවා ගොස් තිබෙනවා.

Source: Geekwire

ඒ සමගම මෙහි දකින්න පුළුවන් දෙයක් තමයි Windows වල පසුබෑම. එන්න එන්නම වැඩිවෙන features නිසා දැන් Windows 10 අනවශ්‍ය ලෙස සංකීර්ණ වූ මෘදුකාංගයක් වෙලා තිබෙනවා මොකද ලොව බිලියනයක් දෙනා භාවිතා කරන විට සෑම අවශ්‍යතාවයකටම ගැලපෙන්නත් අවශ්‍ය නිසා.

ඒත්, මිල සහ සංකීර්ණභාවය වැනි සාධක බොහොමයක් නිසා දැන් එදිනෙදා සාමාන්‍ය වැඩට පරිගණක භාවිත කරන අය Windows වලින් ඉවත් වී ChromeOS වැනි සරල, මිල අඩු විකල්ප වලට මාරු වීමක් දකින්න පුළුවන්.

එලෙස මාරු වෙන ප්‍රතිශතය Windows වලම රඳවාගන්න ගත පියවරක් විදිහට මේ අලුත් Windows 10X මෙහෙයුම් පද්ධතිය හැඳින්විය හැකියි.

මොකක්ද Windows 10X වල වෙනස?

ප්‍රධානම වෙනස තමයි මේ OS එක අලුතින්ම coding කර තිබීම. අවුරුදු 35ක් විතර පරණ Windows වල තවමත් Windows 95 design එකේ Dialog boxes එහෙන් මෙහෙන් ඔබ දැක ඇති. ඒ සියලු දේවල් (Legacy components) අත හැර අලුතෙන්ම design කල OS එකක් තමයි Windows 10X. එහි ප්‍රතිපලයක් විදිහටම මේ අලුත් OS එක අපි එදිනෙදා භාවිතා කරන Win32 applications වලට නම් (දැනට) සහය දක්වන්නේ නෑ.

එනම් මේ අලුත් OS එක, Microsoft Edge බ්‍රව්සරය, UWP apps (Mail & Calendar , Movies & TV, MS Word Mobile වැනි apps), සහ Web apps සඳහා පමණක් දැනට සහය දක්වන බවයි Microsoft සමාගම දැනට ප්‍රකාශ කර තියෙන්නේ.

Source: Windows Central

සරලවම සිතුවොත් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු ටික කරගන්නට මෙවැනි basic apps සහ Web Browser එකකින් පමණක් ප්‍රයෝජනය ලබන PC පාරිභෝගිකයන් කොටසක් මෙන්ම සියලුම වැඩ Web Browser එකක් හරහාම කරගන්න (ව්‍යාපාර වැනි) කොටසක් දකින්නට පුළුවන්. Windows 10X ඉලක්ක කර ඇත්තේ එවැනි පාරිභෝගික පිරිස් සඳහායි.

කෙසේ වුවත්, පසුව මෙම OS එක Win32 applications (Photoshop, Office 2019 වැනි) සඳහා සහය දක්වන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් performance සහ battery life optimize විය යුතු නිසා ඒවාත් sandbox ලෙස run වෙනු ඇති.

මෙවැනි දේවල් නිසාම Windows 10X, බොහෝ ආරක්ෂාකාරී මෙන්ම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් වන බවට Microsoft ප්‍රකාශ කර තිබෙනවා.

නව User Experience එකක්

Windows 10X, නව shell (~UI) එකකින් සමන්විතයි. එයට ඔබේ device එකේ හැඩයට අනුව වෙනස් විය හැකියි. එනම් foldable PC, laptop සහ tablet වැනි devices ඔබ භාවිතා කරන ආකාරය අනුව UI එකට වෙනස් වීමේ හැකියාව දැන් තිබෙනවා. (දැන් තිබෙන tablet mode එකට සමානව එහි දිගුවක් ලෙස)

Source: Windows Central
Source: Windows Central

එලෙසම මෙහි Update process එකත් වැඩි දියුණු කර තිබෙනවා. බොහෝ දුරට Android updates වලට සමානව 10X හි updates ද install වනු ඇති.

ආරක්ෂාව

Windows 10X හි නව විශේෂාංගයක් වන 'state separation' මගින් OS සම්බන්ධ files (OS partition - apps, drivers, registry ය ආදිය) read only කරනු ලබනවා. එවිට user ට හා applications වලට access කළ හැකි වන්නේ 'user partition' එක පමණයි.

එවිට malware, virus ආදියට system එකට බලපෑමක් එල්ල කල නොහැකි වනු ඇති. සෑම application එකක්ම run වෙන්නේ app container එක තුල නිසා, OS functions ආදිය access කිරීම සඳහා වෙනම permissions අවශ්‍ය වේවි.

දැනටත් Windows 10 වල UWP apps run වෙන්නේ මේ ආකාරයටයි.

නිකුත් වන්නේ?

දැනට සඳහන් කර තිබෙන ලෙස නම්, මේ වසර අවසානයේ මෙම නව මෙහෙයුම් පද්ධතිය pre-installed ආකාරයෙන් නිකුත් වීමට නියමිතයි. ඒ පාසල් සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධ devices වලටයි. එනම්, Foldables, tablets වැනි එක්තරා ආකාරයක devices සඳහා පමණක් දැනට මෙය ඉලක්ක කර තිබෙන නිසා Windows 10X සාමාන්‍ය PC සඳහා නම් 2021 දී නිකුත් නොවනු ඇති බවයි සඳහන් වන්නේ.

Windows 10X in a foldable computer. Source: Gadget360

එසේම මෙය නව OS එකක් නිසා දැනට තිබෙන Windows 10 සඳහා update එකක් ලෙසද නිකුත් නොවනු ඇති. Windows 10X pre-install නොවූ device එකකට එය install කරන්නවත් නොහැකි වනු ඇති බවයි සඳහන් වන්නේ. ඒ, ISO file හෝ මිලදී ගැනීමේ ක්‍රමයක් මෙහි නොමැති නිසා.

එනම් මෙය නව පරම්පරාවේ PC සඳහාම වන OS එකක් වනු ඇති.

(Windows 10X emulator එක ඔබට මෙතැනින් download කරන්න පුළුවන්.)

-- සටහන --
මෙම Windows 10X වැඩසටහන දියුණු කිරීම දැනට නවතා දමා ඇති බව Microsoft සමාගම නිවේදනය කරනු ලැබුවා.

Source: Windows Central