Loading...
නිකුත් වීමට නියමිතයැයි සැලකෙන Windows 11 සංස්කරණයේ ඇති නව පහසුකම් මොනවාද?

ලෝක ප්‍රසිද්ධ Microsoft සමාගම විසින් නිකුත් කරන Windows මෙහෙයුම් පද්ධතිය කාලයක තිස්සේම අලුත් නමකින් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කළේ නැහැ. ඒ වෙනුවට අවසානයට නිකුත් කළ Windows 10 මෙහෙයුම් පද්ධතියටම යාවත්කාලීන (Updates) සහ Upgrades ලබා දුන්නා. නමුත් Microsoft සමාගම ළඟදීම නවමු මෙහෙයුම් පද්ධතියක් ගැන අවධානය යොමු කරලා තියෙනවා.

සැබැවින්ම වෙනස්වන Windows 11

"Sun Valley" යන User Experience Test (පරිශීලක අත්දැකීම් පරීක්ෂණය) උපයෝගී කරගෙන පෙරට වඩා වෙනස්කම් විශාල ප්‍රමාණයක් සහිතව නව මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නයි Microsoft සමාගම තීරණය කරලා තිබෙන්නේ. Start menu, Taskbar වැනි අංගවලට නවතම මුහුණුවරක් දෙමින් මුහුණුවරෙහි අනන්‍යතාව හාත්පසින්ම වෙනස් කරමිනුයි නවතම මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමට නියමිත වෙන්නේ.

2019 වසරේ නිකුත් කෙරුණු Windows 10X හි ප්‍රථම  සංස්කරණයේ ගතිලක්ෂණත් Windows 11 සඳහාද එක්කොට තිබෙනවා. Personal Computers (පෞද්ගලික පරිගණක) නිර්මාණකරණයේ තරගකරුවන්ට මනා තරගයක් දිය හැකි ලෙසයි නව මෙහෙයුම් පද්ධතිය එළිදෙක්වෙන්නේ.

Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීන් වන CEO Satya Nadella සහ CPO Panos Panay විසින් එළඹෙන ජූනි 24 වෙනිදා “Next Generation of Windows” ලෙස නව මෙහෙයුම් පද්ධතිය ගැන Teaser එකක් (පූර්ව ප්‍රචාරණයක්) නිකුත් කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. මෙම තොරතුරු සියල්ල අන්තර්ජාලය හරහා කාන්දු වීමත් සමඟ නව සංස්කරණය ගැන ඉඟි පහළ වී තිබෙනවා.

Windows 11 වෙනුවෙන් අලුතෙන් ලැබෙන්නේ මොනවාද?

මේ වන විට පිටවී ඇති සංස්කරණයේ දැකගත හැකි ලෙසට ප්‍රධාන වශයෙන් Start Menu එක හා Task Bar එක වෙනස් කර අලුත් ආකාරයකට වෙනස් කරලා තිබෙනවා. Live Tiles නොමැතිව Pin කළ හැකි මෘදුකාංග හා Recent files ඇතුළත්ව ඉතා ඉක්මනින් Shut down හා Restart කළ හැකිවන ආකාරයටයි Windows 11 මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. එසේම ඔබට අවශ්‍ය නම් පෙර පරිදිම Start Menu එක වම් පසට එක් කරගන්නත් පුළුවන්. එසේම File Explorer එකෙහි Icons වලද පැහැදිලි වෙනස්කම් අපිට දැකගන්න හැකිවේවි. ඒ වගේම Dual-screen devices සඳහා නවතම පහසුකම් එකතු කර තිබෙනවා.

Dark Mode පහසුකම්ද සහිතව අලුතෙන් අග රවුම් කවුළුවලින් (Windows through Rounded Corners) නව මෙහෙයුම් පද්ධතිය සන්නද්ධ වෙනවා. ඒ වගේම මෙහෙයුම් පද්ධතිය සමඟම පැමිණෙන මෘදුකාංගවලත් (built-in apps) වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. Windows 10 හි 21H1 සංස්කරණය හා අලුතින් එක්වුණු Widgets අංගයද නව Icon එකෙක්ද සමඟින් Windows 11 සඳහා එක්වනු ඇති.

Snap controls ලෙසින් Maximize button එකට නව උපාංගා කිහිපයක්ද එකතුවනු ඇත. ඒ තුළින් Windows හා Menus ඉතා ආකර්ශනීය ලෙස හා පහසු ලෙස සකස්කර ගැනීමටද ඉඩකඩ ලැබෙනු ඇත.

Box Game Pass games, Social parts of Xbox network,  Xbox store සඳහා ඉක්මන් සම්බන්ධවීම් සමඟින් Xbox app එක බොහෝ ලෙස අලුත්වී ඇත.

නමුත් අවාසනාවකට මෙන් තවමත් Microsoft Store සඳහා කිසිදු විශාල යාවත්කාලීන කිරීමක් සිදුකර නැහැ.

එසේම Windows සඳහා නිර්මාණය වූ හොඳම Wallpaper මාලාව Windows 11 සමඟ නිකුත්වීමත් සතුටට කරුණකි.

Windows 11 Download කරගන්නේ කොහොමද?

අද වන විට Microsoft සමාගම විසින් නිල වශයෙන් හෝ බලයලත් ලෙස Windows 11 මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරලා නැහැ. නමුත් අන්තර්ජාලය හරහා විවිධ මෙහෙයුම් පද්ධතියට අදාල කොටස් සහ සංස්කරණය ලබා ගන්න පුළුවන්. ඒවා ගැන කිසිදු නිවැරදි විස්වාසයක් ඇතිකරගන්න හැකියාවක් නැති අතර ඒවා අනිෂ්ට මෘදුකාංග (Malware) සමඟ සම්බන්ධ වෙලා නිර්මාණය වෙලා තිබෙන්න පුළුවන්. ඒ වගේම එමගින් වෙන්න පුළුවන් හානිය ගැනත් නිසි අදහසක් නැති නිසාම Microsoft සමාගම නිළ වශයෙන් නිකුත් කළ පසු බාගත කරන එකයි අපි අනුමත කරන්නේ.

කවදද හරියටම Windows 11 Release වෙන්නේ?

ජූනි මාසේ 24 වෙනිදා මාර්ගගත උත්සවයක් (Online Event) හරහා Windows 11 ගැන Teaser එකක් සමඟ යම් සංස්කරණයක් (pre-release version of Windows 11) නිකුත් වෙන්න පුළුවන්. නමුත් ඒක බොහෝ දුරට Windows Insidersලා වෙනුවෙන් තමයි නිකුත් වෙන්නේ. ඉන් අනතුරුව අපටත් ලබා ගන්න අවකාශය ලැබේවි. 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී තමයි මහජනතාව වෙනුවෙන් Windows 11 නිළ වශයෙන් නිකුත් වෙන්න නියම වෙලා තියෙන්නේ.

අලුතෙන් Windows 11 මිළදී ගන්න වෙනවද ?

Windows 10 වල යාවත්කාලීන වගේම පෙර පාරිභෝගිකයන්ට Windows 11 එකත් Upgrade එකක් විදිහට බාගත් කරගන්න පුළුවන්. ඒ වගේම නිකුත් වීමෙන් පසු මිළදී ගන්න පරිගණකවලටත් වෙනදා වගේම Pre-Installed විදිහට Digital License එකක් හරහා Windows 11 ලැබේවි. අවශ්‍ය අයට බාහිරව මිළදී ගන්නත් හැකියාව ලැබේවි.

Sources: Windows Central, The Verge