Loading...
Facebookහි සේවාව​න් බිඳ වැටීම නි​සා Telegram වෙත පිවිසෙන පරිශීලකයන්ගේ වැඩි වීමෙ​න් Telegram මන්දගාමී විය හැකි බව නිල වශයෙන් ප්‍රකාශ කර​යි

මේ වන වි​ට ලොවපුරා වෙසෙ​න අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Facebook, WhatsApp, Facebook Messenger හා Instagramහි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතින බව අප විසින් මීට පෙර වාර්තාවෙන් ඔබ වෙත දන්වා සිටියෙමු. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.

මෙම සේවාවන් බිද වැටී මේ වන විට පැයකට ආසන්න කාලයක් ගත වූවත් තවමත් ඒවා යතාතත්වයට පත් කර ගැනීමට Facebook ආයතනය සමත් වී නැහැ. මෙම බිද වැටීම පිලිබඳව WhatsApp විසින් Twitter පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ මේ වන විට ඔවුන් විසින්  ඔවුන්ගේ සේවාවන් යතාතත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් මේ ආකරයට මෙම සේවාවන්හි බිඳවැටීමත් සමගම ලොව පුරා වෙසෙන විශාල පිරිසක් Telegram වෙත පිවිසීමට පටන් ගෙන ඇති අතර මේ හේතුව නිසා මේ වන විට ලොව නන් පෙදෙසින් වාර්තා වන්නේ Telegram සඳහා පිවිසීමට අවහිරතා ඇති බවයි.

එමෙන්ම මේ වන විටත් Telegram හරහා දුරකතන ඇමතුම් ලබා ගැනීමට යම් අපහසුතා ඇති වී අතර, sticker load වීමේදීද වෙනදාට වඩා වැඩි කාලයක් ගතවන බව Android වැඩකාරයෝ අප විසින්ද මේ වෙන විට නිරීක්ෂණය කලෙමු.

මේ ආකාරයට Telegram සේවාව මන්දගාමී වීම පිළිබඳව Telegram ආයතනය විසින් තම නිල Twitter ගිණුමේ පණිවුඩයක් යොමු කර පවසා ඇත්තේ, එක් වරම Telegram සේවාව වෙත පිවිසෙන්නන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යාම නිසා තම සේවාව මන්දගාමී වී ඇති නමුත් කිසිදු ප්‍රශ්නයකින් තොරව තම සේවාව ක්‍රියාත්මක බවයි.

Source: Telegram Twitter