Loading...
AdGuard DNS කියන්නේ මොකක්ද?

AdGurad DNS ගැන කියන්න කලින් අපි බලමු මොකක්ද DNS කියන්නෙ කියලා. මොකද නැත්නම් මේක කියලා දෙන එකෙන් වැඩක් වෙන්නෙ නෑනෙ.

DNS කියන්නෙ මොකක්ද?

DNS කියන්නෙ Domain Name System කියන එක කෙටි කරලා. අපි හැමෝම දන්න විදියට, අපි අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ වෙබ් පිටුවකට පිවිසෙන්න අවශ්‍ය වුණාම URL එකක්, එහෙමත් නැත්නම් Web Address එකක් Address Bar එකේ ටයිප් කරන්න ඕන. උදාහරණයක් විදියට, https://www.duckduckgo.com කියලා අපි ටයිප් කළොත් ඒ අදාළ සයිට් එකට අපිව එක්කන් යනවා. අපිට මෙහෙම Address එකක් ටයිප් කරලා වෙබ් පිටුවකට යන්න පුළුවන් වෙලා තියෙන්නෙ මෙන්න මේ DNS ක්‍රමය නිසා. DNS නැති වුණා නම් ඔයාට සිදු වෙනවා මෙන්න මේ https://107.20.240.232/ වගේ ඉලක්කම් ගොඩක් මතක තියාගන්න.

ඒක මිනිස් මොළයට හරිම අපහසු කාරියක් නිසා තමයි DNS ක්‍රමවේදය එළිදැක්වුණේ. ඒ නමුත් අන්තර්ජාලයේ සෑම උපාංගයක්ම හඳුන්වන්නේ 107.20.240.232 මේ වගේ IP ලිපිනයකින් නිසා, අපි ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරන ලිපින නැවත ඉලක්කම් සහිත IP ලිපිනයක් බවට පත් කරන්න ඕන. මොකද පරිගණක වලට තේරෙන්නෙ ඉංග්‍රීසි වචන නොවේ ඉලක්කම් නිසා. මේ ඉංග්‍ර්‍ර්‍රීසි අකුරු සහිත වෙබ් ලිපින, IP ලිපින බවට පත් කරන විශේෂ සර්වර් පරිගණක වලට අපි කියනවා DNS Server කියලා.

ඔයාට අන්තර්ජාලයට පිවිසින්න අවශ්‍ය වුණාම ඔයා කරන්නෙ Web Browser එකක් open කරලා ඒකෙ ඔයා දන්න වෙබ් ලිපිනයක් ටයිප් කරන එක. Browser එක විසින් කරන්නේ ඔයා ඒ ටයිප් කරපු වෙබ් ලිපිනය DNS Server එකකට යවලා ඒක හරහා ඒ ලිපිනය ඉලක්කම් සහිත IP ලිපිනයක් බවට පත් කරන එක, ඊටත් පස්සේ තමයි ඔයා ඉල්ලපු වෙබ් අඩවිය පෙන්වන්න අවශ්‍ය දත්ත ටික ඒ IP ලිපිනය හරහා ඔයාගෙ පරිගණකය වෙත ගෙන්වාගෙන ඒ වෙබ් පිටුව ඔයාට දර්ශනය වෙන්නේ.

දැන් අපි මෙතනදි කිව්වානෙ DNS Server කියලා වර්ගයක් ගැන, අන්න ඒ DNS Server සාමන්‍යයෙන් තියෙන්නේ ඔයා අන්තර්ජාල පහසුකම් ලබාගන්න භාවිතා කරන ISP ගාව, ඒ කියන්නෙ, Dialog, Mobitel, Hutch හෝ Airtel සමාගම් ගාව. මේ Server සාමාන්‍යෙන් මන්දගාමී (slow). සාමාන්‍යයෙන් ISP ලා එයාලගෙ DNS Servers නිතර අප්ඩේට් කර කර නඩත්තු කරන්නෑ. අන්න ඒ හේතුව නිසා ගොඩක් DNS Requests තවත් සර්වර් වල bounce වෙවී මේ process එක තවත් slow කරනවා. අනික් අවුල තමයි ගොඩක් ISP ලා DNSSEC වගේ ආරක්ෂිත තාක්ෂණ වලට සහයක් දක්වන්නෙ නෑ. ඒ වගේම, මේ DNS Server තියෙන්නෙ ISP ගාව නිසා ඔයා යන හැම Web Address එකම ISP දැනගන්නවා. ඒකෙන් පෞද්ගලිකත්වයටත් හානියක් වෙනවා. (හැබැයි DNS Servers මාරු කරා කියලා ලොකු පෞද්ගලිකත්වයේ ආරක්ෂාවක් ලැබෙන්නෙත් නෑ හොඳේ.) ඉහත කතා කරපු හේතු එක්ක, වඩා වේගවත් සහ Up to date, DNS Server එකක් පාවිච්චි කරන එක වඩා හොඳයි. ඒ වගේම, නිවැරදිව DNS Server එක මාරු කිරීම මඟින් ISP block කරපු සයිට් වලට පිවිසෙන්නත් හැකියාව ලැබෙනවා. (IP එක බ්ලොක් නැත්නම්)

ඔන්න ඕකයි සරලවම DNS කතාව. මේක මෙච්චර සරල කරද්දි බොහොමයක් කරුණු හලන්න සිදුවුණා. නමුත් සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයෙක්ට මේ ටිකත් ප්‍රමාණවත් වේවි.

AdGuard DNS කියන්නෙ මොකක්ද?

මෙච්චර වෙලා අපි කථා කළේ DNS කියන්නෙ මොනවද කියන එකනෙ, දැන් අපි හැරෙමු AdGuard DNS පැත්තට. AdGuard DNS කියන්නේ අපි අර කිව්ව ISP ලබාදෙන DNS Servers වලට වඩා හැම අතින්ම හොඳ DNS සේවාවක්. මේ AdGuard DNS සේවාව සපයන්නෙ නොමිලේ. ඒ වගේම මේකෙන් ඔයාගෙ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරනවා. ඒත් එක්කම මේකෙන් අන්තර්ජාලයේ තියෙන කරදරකාරී වෙළඳ දැන්වීම් වගේම tracking, phishing වගේ දේවල් වලිනුත් ඔයාව ආරක්ෂා කරනවා.

මම පහතින් දෙන URL එකෙන් ගිහින් ඔයාට පුළුවන් AdGuard DNS සේවාව ඔයාගෙ පරිගණකයේ හෝ දුරකථනයේ ක්‍රියාත්මක කරගන්න.

How to set up AdGuard DNS
Full guide on how to set up DNS level ad blocking and protection against tracking and phishing on any operating system or device.

ඉහතින් දැක්වුණු වෙබ් පිටුවේ ඉතාමත් සරලව DNS Configuration කරගන්න විදිය පැහැදිලි කරලා තියෙන නිසා මම වැඩි දෙයක් ඒ ගැන කියන්න යන්නෙ නෑ. Android දුරකථන පාවිච්චි කරන අයට බොහොම පහසුවෙන් AdGuard Android App එක ස්ථාපනය කරගැනීමෙන් මේ සේවාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මම දුන්න අඩවියෙන්ම අදාල APK ගොණුව බාගත කරගන්න. ඔයා පාවිච්චි කරන්නෙ Wifi Router එකක් නම්, Router එකේ සැකසුම් වලිනුත් DNS server ලිපින සකසාගන්න පුළුවන්. එහෙම කළොත් ඒක වඩාත් ප්‍රායෝගික සහ හොඳ විසඳුමක් වේවි. Router එකේ DNS Settings හදන විදියත් AdGuard අඩවියේ මම දුන්න වෙබ් පිටුවේ පැහැදිලිව දක්වලා තියෙනවා.

ඔයා සාර්ථකව අදාළ සැකසුම් ටික හදාගත්තා නම්, මම අර දුන්න වෙබ් පිටුවට ගියාම මෙන්න මේ වගේ පණිවුඩයක් පෙන්වාවි.

DNS වල ඊළඟ කතාව තමයි DNS Over HTTPS කියන එක. ඒ ගැන අපි කතා කරමු තවත් ලිපියකින්. එහෙනම්, අදට මෙපමණයි. ඔබට ජය!