Loading...
භාෂා ලංකා ආයතනය​ට දස වසරක් සපිරෙන මොහොතේදී හෙළPay නමින් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරයි

හෙළකු​රු කිව්වම මොකක්ද ඔයාගේ හිතට මුලින්ම එන්නේ. අපි කවුරුත් අළුතෙන්ම ජංගම දුරකතනයක් ගත්තම මුලින්ම දුවල ගිහිං ඒ ජංගම දුරකතනය​ට ස්ථාපනය කරගන්න, එහෙමත් නැත්තම් install කරගන්න ජංගම දුරකතන යෙදුම තමයි හෙළකුරු කියන්නේ. ඒ තරමට හෙළකුරු කියන නම සිංහ​ල මෙන්ම දමිළ භාෂාවෙන් සන්නිවේදනය කරන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් පතුලෙම රැදිලා තියෙන සන්නාමයක් වෙලා අවසාන​යි. ඒක කොච්චරද කියනව නම් Google Playstoreහි මිලියන දහ​යේ පරිශීලක සීමාව පසු කල ප්‍රථම ශ්‍රී ලාංකීය ජංගම දුරකත යෙදුම විදිහට කිරුළු පැලැන්දුවේ හෙළකුරු නාමයයි.

ඔයා 2011ට කලින් Android phone එකක් හරි 2015ට කලින් iPhone එකක් භාවිතා කරපු කෙනෙක් නම් ඔයාට මතක ඇති ඒ වෙනකන් ලංකාවේ අපිට ජංගම දුරකතනයෙන් සිංහල භාෂාවෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිංහල භාෂාව සඳහා වන යතුරුපුවරුවක් තිබුනේ නෑ කියන එක. නමුත් මේ අඩුපාඩුව හඳුනාගත් ධනික පෙරේරා ඇතුලු භාෂා ආයතනයේ කණ්ඩායම 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දෙවෙනිදා BMICH පරිශ්‍රයේදී පළමුවරට ලොව පුරා සිටින සිංහල භාෂාව භාවිතා කරන්නන් හට Android මෙහෙයුම් පද්ධතිය සදහා වන ප්‍රථම සිංහල යතුරු පුවරු යෙදුම හඳුන්වාදීම සිදු කෙරුනා.

2011දී Android මෙහෙයුම් පද්ධතිය සඳහා හෙළකුරු නිකුත් වුවත් Apple සමාගමේ iOS මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන iPhone සඳහා වන හෙළකුරු යෙදුම නිකුත් වන්නේ 2015 වර්ෂයේ ජූලි මාසයේ 17 වන දිනදීය. Apple සමාගම විසින් iOS මෙහෙයුම් පද්ධතිය සඳහා තෙවන පාර්ශවීය යතුරු පුවරු යෙදුම් සඳහා වන සහය ලබා දීම ආරම්භ කරේ 2014 වර්ෂයේදී වීම එයට හේතුව වුනා.

මේ වෙනකොට ජංගම දුරකතන වලින් එහාට ගිය හෙළකු​රු Windows, Linux සහ macOS යන මෙහෙයුම් පද්ධති සඳහාද මූලික වශයෙන් සහය දක්වමින් අපිට සිංහලෙන් අකුරුකරණයෙහි යෙදීමට සහය දක්වනවා.

හෙළකුරු යෙදුම 2013 වර්ෂයේදී Word prediction පහසුකමද, 2017 වර්ෂයේ අගෝස්තු 18 දින voice typing පහසුකමද ලබා දීම සිදු කෙරුනා. පසුව කීබෝර්ඩ් එකක් පමණක් යන සංකල්පයෙන් බැහැරව Super app සංකල්පය යන මාර්ගය තෝරගත් හෙළකුරු යෙදුම මේ වන විට එසැණ සේවාව, නිවේදන, විස්ම, හෙළකුරු සමාජ වේදිකාව, හෙළකුරු ගෙවීම් සේවා වැනි සේවාවන් සපයමින් සිටිනවා.

අද හෙළකුරේ මහගෙදර වන භාෂා ලංකා ආයතනයට දස වසක් සපිරෙන දිනය වනවා. ඉතිං ඒ වෙනුවෙන් භාෂා ආයතයන මිලියන 10කට අධික හෙලකුරු පරිශීලකයන්ට අද අළුත්ම තෑග්ගක් ලබා දුන්නා. ඒ තමයි හෙළPay කියන්නේ.

හෙළPay කියන්නේ හෙළකුරේ මහගෙදර වන භාෂා ලංකා ආයතනයේම තවත් එක නිමැවුමක් වන Payhere නම් online payment gateway එක හා එකතුව ශ්‍රී ලාකිකයන්ට පහසුවෙන් online ගෙවීම් කටයුතු කිරීම සඳහා හදුන්වාදෙනු ලබන නවතම සේවාවයි. අන්තර්ජාලය හරහා මිලදී ගැනීමක් සිදු කිරීමේදී, ඒ සඳහා සරලවම ඔන්ලයින් මුදල් ගෙවිය හැකි ගෙවීම් ක්‍රමවේදයක් නොමැතිකම සහ එයට විසදුමක් ලෙ​ස මෙවැනි සේවාවක් හදුන්වාදීමේ සිදු කෙරෙනවා.

මෙම පහසුකම සඳහා හෙළකුරු සමඟින් එකතු වන Payhere සේවාව මේ වන විට ශ්‍රී ලංකාව පුරා වැඩිම ව්‍යාපාර ගණනක් විසි​න් online ගෙවීමේ සේවාව ලෙස භාවිතා කරන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුමැතිය ඇතුව සහ අධික්ෂනය යටතේ ක්‍රියාත්මක වන සේවාවකි. මෙම හෙළPay සේවාව සඳහාද ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

හෙළPay සේවාව හරහා අපට හර පත් හෝ ණය පත් භාවිතා කිරීමකින් තොරව, අපගේ බැංකු ගිණුම ඍජුව සම්බන්ධ කිරීමෙන් අදාල ගෙවීම් කටයුතු සිදු කිරීම කල හැකි වනවා. මෙහි ඇති ප්‍රධානම පහසුකම වන්නේ නිරතුරුව කාඩ්පත් අංකය හෝ බැංකු ගිණුම අංකය නැවත නැවතත් ඇතුලත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති කමයි. ඒ වගේම හෙළPay සේවාව ඔස්සේ ගෙවීමක් සිදු කිරීමට පරිශීලකයාගේ ඇඟිලි සලකුණ හෙවත් Fingerprint එක හෝ FaceID එක අත්‍යවශ්‍ය වනවා. එබැවින් පරිශීලකයා හැර අන් කිසිවෙකුට හෙළPay හරහා ගෙවීමක් සිදු කළ නොහැක.

හෙළPay හරහා පහසුවෙන් ගෙවීම් සිදු කරන ආකාරය පහතින් ඔබට බලා ගත හැකිය. (ඡායාරූප ලබා ගත්තේ හෙළකුරු එසැණ සේවාවේ පලවූ පුවත ආශ්‍රයෙනි)

හෙළPay සේවාව 100%ක්ම ආරක්ෂිත වන්නේ එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් වන බැවිනි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙළPay හි සුරක්ෂිතතාව පිළිබඳ​ව සිදු කරන ලද පුළුල් සුරක්ෂිතතා විගණනයකින් අනතුරුව එම සේවාව සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව හෙළPay සේවාව ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරක්ෂිතතා නියාමනයන්ට අනුකූල වන බවට සහතික කර ඇත.

භාෂා ලංකා සමාගමේ නිර්මාතෲ ධනික පෙරේරා විසින් හෙළPay සේවා හදුන්වා දීම සහ එය භාවිතා කරන ආකරය පිළිබඳව පැහැදිලිව විස්තර කරන වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකිය.

ඔබට හෙළPay සේවාව පිළිබඳව තවත් තොරතුරු සවිස්තරාත්මකව දැන ගැනීමට අවශ්‍ය නම් හෙළකුරු Facts හරහා ලබා ගත හැකි අතර පහසුවෙන් ලඟා වීම සඳහා මෙම සබැදිය භාවිතා කරන්න.

භාෂා ලංකා ආයතනයේ දස වෙනි සංවත්සරයට Android වැඩකාරයෝ අපගෙන් සුභාෂිංශන.