Loading...
Apple සමාග​මේ සේවය කළ Sam-Sung

ලෝව ප්‍රමුඛතම තාක්ෂණික සමාගම් දෙකක් වන Apple සහ Samsung අතර පවතින දැඩි තරඟකාරිත්වය නිසා, Apple Store එකක සේවය කළ සේවකයෙකු වූ Sam Sung නම් තැනැත්තාට තම නමේ ඇති සුවිශේෂීත්වය හේතුවෙන් ඇති වූ ප්‍රසිද්ධිය සහ ඉන් ලද පීඩාව නිසා, වසර 10කට වැඩි කාලයකට පසු තම වාසගම නීත්‍යානුකූලව වෙනස් කිරීමට සිදුව තිබෙනවා.

2012 වසර කියන්නේ, Apple සහ Samsung සමාගම් අතර දරුණූ Patent යුද්ධයක් පැවති සමයක් ලෙස සඳහන් කරන්න පුලුවන්. කැනඩාවේ වැන්කුවර්හි පිහිටි Apple Store එකක සේවය කළ Sam Sung මහතාගේ ජීවිතය එක රැයකින් උඩු යටිකුරු වුයේ ඔහු බලාපොරොත්තු නොවු ලෙසටයි.

එක්තරා පුද්ගලයෙකු විසින් ඔහුගේ නිල Apple Business Card එකේ ඡායාරූපයක් Reddit වෙත මුදා හැරීමත් සමඟ, එම කාඩ්පතෙහි සඳහන් ඔහුගේ නම "Sam Sung" යන්න ක්ෂණිකව Viral වුවා. "Sam Sung, Apple වෙනුවෙන් වැඩ කරයි" යන විහිළුව, තාක්ෂණික ලෝකයේ උණුසුම්ම මාතෘකාවක් බවට පත් වූයේ, එය ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර වූ සරදමක් බවට පත් කරමිනි. Sam Sung මහතා පැවසුවේ, ඔහු එවකට Reddit යනු කුමක්දැයිවත් නොදැන සිටි බවයි. මෙම ප්‍රසිද්ධිය ඔහුට මුලදී විහිළුවක් ලෙස පෙනුනද, එය ඉක්මනින්ම ඔහුගේ පෞද්ගලික ජීවිතයට සහ රැකියාවට බරපතල බලපෑමක් ඇති කළේය. ඔහු පසුව සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළේ, එම කාලය තුළ තමාට රැකියාව අහිමි වේ යැයි දැඩි බියක් ඇති වූ බවයි.

Image Source - Macrumors

Apple ආයතනය මෙයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වු අතර, කළමනාකාරීත්වය ඔහුට රැකියාවෙන් ඉවත් වන ලෙස නිල වශයෙන් නියෝග නොකළද, ඇති වූ තත්වය පාලනය කිරීමට පියවර කිහිපයක් ගනු ලැබුවා. ඒ ඔහුව වෙළඳසැල් මහලෙන් ඉවත් කිරීම, ව්‍යාපාරික කාඩ්පත් අත්හිටුවීම සහ ඔහුගේ අනන්‍යතාවය වසන් කරන ලෙසට උපදෙස් දීම ආදියයි. මෙම සිදුවීම් මාලාව මාස කිහිපයක් පුරා පැවති අතර, එය Sam Sung මහතාගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ල කළේය. මේ සිදුවීම් නිසා 2013 දී Sam Sung මහතා retail වෙතින් ඉවත්ව Recruitment ක්ෂේත්‍රය වෙත පිවිසී තිබෙනවා.

2014 වසරේදී ඔහු ඉතා උදාර තීරණයක් ගත් අතර ඔහු තම Viral වූ ව්‍යාපාරික කාඩ්පත ඇතුළු ඇපල් නිල ඇඳුමේ කොටස් කිහිපයක් වෙන්දේසි කිරීමක් මඟින් විකුණා දැමීය. එමඟින් ඔහු ඩොලර් 2,500කට වැඩි මුදලක් රැස් කළ අතර, එය පුණ්‍ය කටයුත්තක් සඳහා ළමා සුභසාධනය සඳහා පරිත්‍යාග කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ වාසගම නිසා ඇති වූ අවධානය දිගින් දිගටම පැවතිණි.

Viral වීමෙන් වසර ගණනාවකට පසු වුවද, Sam Sung යන නම ඔහුට වෘත්තීය වශයෙන් මෙන්ම පෞද්ගලිකවද බාධාවක් විය. ඔහුට අවශ්‍ය වූයේ "internet joke" ලෙස පමණක් මතකයේ රැඳී සිටීමෙන් මිදී, තමන්ගේම වෘත්තීය අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමටය. තවද, Samsung යනු ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ නමක් බැවින්, ඔහුට අවශ්‍ය වූ සමාජ මාධ්‍ය Handles සහ Email ලිපින පවා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබුණි. අවසානයේදී, මේ සියලු කරුණු හේතුවෙන් ඔහු නීත්‍යානුකූලව තම වාසගම වෙනස් කිරීමට තීරණය කළේය.

ඔහු තෝරාගත් නව වාසගම වන්නේ Struan ය. ඔහු පැහැදිලි කළේ, මෙම නම ඔහු වඩාත්ම ප්‍රිය කරන ස්කොට්ලන්තයේ Isle of Skye හි පිහිටි ගම්මානයක නම බවයි. ඔහු දැන් Sam Struan ලෙස ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි ජීවත් වෙමින් උපදේශකයෙකු සහ ලේඛකයෙකු ලෙස සේවය කරවා. නම වෙනස් කිරීමෙන් පසු කිසිවෙකු ඔහුව හඳුනා නොගන්නා බවත්, එය ඔහු බලාපොරොත්තු වූ තත්වය බවත් ඔහු පවසා තිබේ.

Source: www.macrumors.com