Loading...
අවසරයි නැවත සඳ ගමනකට - Artemis II

මිනිසා අවසන් වරට සඳ මත පා තැබුවේ 1972 වසරේදී 'ඇපලෝ 17' (Apollo 17) මෙහෙයුමෙනි. එතැන් සිට දශක පහකට වැඩි කාලයක් ගත වී ඇති අතර, නාසා (NASA) ආයතනය සිය 'ආටෙමිස්' (Artemis) වැඩසටහන හරහා යළිත් මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වනවා. එහි තීරණාත්මක පියවරක් වන්නේ ආටෙමිස් 2 මෙහෙයුමයි.

​ආටෙමිස් 2 යනු මිනිසුන් සහිතව සිදු කරන පරීක්ෂණ චාරිකාවකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ නාසා හි නවතම Space Launch System (SLS) රොකට්ටුව සහ ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය මිනිසුන් රැගෙන යාමට තරම් ආරක්ෂිතද යන්න පරීක්ෂා කිරීමයි. මෙම මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර, සඳ වටා ගොස් නැවත පෘථිවියට පැමිණීම සිදු කරයි.

​නවතම වාර්තා වලට අනුව, ආටෙමිස් 2 මෙහෙයුම 2026 වසරේ අප්‍රේල් 1 වනදා දියත් කිරීමට නාසා ආයතනය සැලසුම් කර ඇත. ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Kennedy Space Center) පිහිටි 39B දියත් කිරීමේ අංගනයේ සිට මෙය සිදුවනු ඇත.

​මෙම මෙහෙයුම සඳහා තෝරාගෙන ඇති ගගනගාමීන් සිව්දෙනා ඉතිහාසයට එක්වන්නේ විශේෂිත හේතු කිහිපයක් නිසායි,

  • රීඩ් වයිස්මන් (Reid Wiseman): මෙහෙයුම් අණදෙන නිලධාරී.
  • වික්ටර් ග්ලෝවර් (Victor Glover): සඳ වෙත යන ප්‍රථම කළු ජාතික ගගනගාමියා.
  • ක්‍රිස්ටිනා කොක් (Christina Koch): සඳ වෙත යන ප්‍රථම කාන්තා ගගනගාමියා.
  • ජෙරමි හැන්සන් (Jeremy Hansen): සඳ වෙත යන ප්‍රථම ඇමරිකානු නොවන (කැනේඩියානු) ගගනගාමියා.


​මෙහෙයුම සිදුවන ආකාරය

  • ​දියත් කිරීම: SLS රොකට්ටුව මගින් ඔරායන් යානය අභ්‍යවකාශයට මුදා හරියි.
  • පෘථිවි කක්ෂය: පළමුව යානය පෘථිවිය වටා ගමන් කරමින් එහි පද්ධති නිසි පරිදි ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂා කරයි.
  • සඳ වෙත ගමන: ඉන්පසු යානය සඳ බලා ගමන් කරන අතර ඒ සඳහා දින කිහිපයක් ගත වේ.
  • සඳ වටා ගමන් කිරීම: ගගනගාමීන් සඳට පිටුපසින් සැතපුම් දහස් ගණනක් ඈතින් ගමන් කරමින් ඉතිහාසයේ මිනිසෙකු පෘථිවියේ සිට ගිය වැඩිම දුර වාර්තා කරනු ඇත.
  • යළි පැමිණීම: දින 10ක පමණ මෙහෙයුමකින් පසු යානය පැසිෆික් සාගරයට පතිත වීමට නියමිතය.


​ආටෙමිස් 2 සාර්ථක වුවහොත්, ඊළඟ පියවර වන්නේ ආටෙමිස් 3 මෙහෙයුම හරහා 2027 හෝ 2028 වසරේදී මිනිසුන් සැබෑ ලෙසම සඳ මත ගොඩබැස්වීමයි. මෙය අනාගතයේදී අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීමේ සැලසුමේ ආරම්භක පියවරක් ලෙස සැලකේ.

Source: www.nasa.gov